ලබන 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර පාකිස්තානු කණ්ඩායමට හිමි පළමු සහ එකම තුන්දින ක්‍රිකට් තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත් කර තිබේ.
ටෙස්ට් තරග 3 කට එක්දින තරග 5 කට සහ විස්සයි/20 තරග 2 කට සහභාගිවීම සඳහා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අද (09 දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද කණ්ඩායමට අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධනව ඇතුළත් කර තිබීම කැපි පෙනෙයි. අවසන් වුණු දේශීය තරග මාලාවේදී මිලින්ද තරග 10 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 67.29 ක් ලෙස රඳවා තබා ගනිමින් මුලු ලකුණු 1144 ක් රැස් කිරීමට සමත්විය. එයට ශතක 3 සහ අර්ධ ශතක 9 ක් ඇතුළත් වුණු අතර වැඩිම ලකුණු ලෙස ලකුණු 185 ක් සටහන් වී තිබේ. පළමු පෙළ තරග 89 කට ක්‍රීඩා කර ඇතිමිලින්ද එහිදී මුලූ ලකුණු 5019 ක් රැස් කරගෙන තිබෙන අතර ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙස 36.90 ක් සටහන් වේ.
අවසන් මාස කිහිපය තුළ ටෙස්ට් තරග නොපැවැත්වීම මත දිගු විවේකයක් ලද ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා මෙන්ම ඔහුගේ සහායකයා දිමුත් කරුණාරත්නද මෙම කණ්ඩායමට නම් කිරීම විශේෂත්වයක් වී තිබේ.
මේ ආකාරයේ තරගවලදී බොහෝ විට නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා අත්හදා බැලීම සාමාන්‍ය තත්ත්වයක් වී තිබෙන නමුත් මේ වන විට සිය 35 වැනි වියට පා තැබීමට නියමිතව සිටින මුබාරක්ව මෙම කණ්ඩායමට නම් කිරීමෙන් තේරීම් කමිටුව බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ඇපැහැදිළි කරුණක් බවට පත්ව තිබේ. ක්‍රීඩකයකු ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීම සඳහා හිටපු තේරීම් කමිටු විසින් මුබාරක්ට ඕනෑවටත් වඩා අවස්ථා ලබා දුන් නමුත්, ඒ කිසිවකින් ප්‍රයෝජන ගැනීමට මුබාරක් අපොහොසත් විය. එවන් තත්ත්වයක් මත ඔහුව දිගින් දිගටම ඒ තරග සඳහා යොදා ගැනීමෙන් නවක ක්‍රීඩකයකුගේ අවස්ථාවක් අහිමි වන බව මීට පෙරද මාධ්‍ය විසින් කරුණු වාර්තා කර සිටියේය.
නම් කරන ලද කණ්ඩායම / කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, උපුල් තරංග, ජෙහාන් මුබාරක්, දිනේෂ් දන්දිමාල් (නායක), මිලින්ද සිරිවර්ධන, නිරෝෂන් දික්වැල්ල, විශ්ව ප්‍රනාන්දු, නිසල් තාරක, කසුන් රජිත, ජෙෆ්රි වැන්ඩර්සි, ධනංජය ද සිල්වා, මාලින්ද පුෂ්පකුමාර, බිනුර ප්‍රනාන්දු.