මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අලි ඇතුන්ට ආරාධනා කිරීමේ චාරිත්‍රයක් සහ ක්‍රමවේදයක් අතීතයේ සිටන්ම පැවතගෙන එනවා. අතීතයේ පෙරහැරට සහභාගි වුනේ රජුගේ ඇත් පන්තියේ අලි ඇතුන්. ගජනායක නිලමේතුමාගේ මූලිකත්වයෙන් තමයි ඒ දේවල් සිද්ධ වුනේ. නමුත් දැන් සිදුවන්නේ දියවඩන නිලමේතුමාගේ නියමයෙන් එතුමාගේ නියෝජිතයෙක් අලි ඇතුන් හිමියන් වෙත බුළත් හුරුළු පිලිගන්වලා කල් ඇතිව පෙරහැරට ආරාධනා කිරීමයි. දළදා පෙරහැර පැවැත්වීමේ එක් අරමුණක් වන්නේ කලට වැසි ලබා ගැනීමයි. ඒ වගේම පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ගෙන් මහාමේඝය සංකේතවත් කෙරෙනවා. පෙරහැර අලි ඇතුන්ගේ අලි ඇඳුම් සහ පළඳනා නිර්මාණයත් සාම්ප්‍රදායිකව පැවතගෙන එන කලා නිර්මානයන්. ඇතුන්ගෙ ගාම්භීර බව තවත් වර්ධනය වෙලා පේන විදියටයි මේ ඇඳුම් ආයිත්තම් නිර්මාණය වෙන්නේ. ඇඳුමේ අංග කීපයක් තියෙනවා. නෙත්තිමාලය කියන්නේ හොඬවැල සැරසීමට යොදා ගන්නා කොටස. කන් පෙති සැරසීමට කන් වැසුම් භාවිතා කරනවා. ගත පුරා වැටෙන ආකාරයට විසිදුරු ඇඳුමකුත්, කරපටිය, බඳපටිය වගේ කොටස් වලින් මේ ඇඳුම නියමිතයි. රෙදි හැටියට භාවිතා වෙන්නේ වෙල්වට්. ඔය විදියට තමයි අලි ඇතුන් සාම්ප්‍රදායිකව පෙරහැරට සහභාගී කරවාගන්නේ.
අද මහනුවර ඇසල මංගල්‍යයේ තුන්වෙනි රන්දෝලී පෙරහැර දවස. සවස 6.58ට තමයි පෙරහැර විථී සංචාරය ආරම්භ වෙන්නේ. දළදා විදිය, ඊ. ඇල්. සේනානායක වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා විදිය, යටිනුවර වීදිය, ඩී.ඇස්. සේනානායක වීදිය, කුමාර වීදිය, රජ වීදිය ඔස්සේ පෙරහැර ගමන්කරන්නට නියමිතයි.අද පෙරහැරේ සධාතුක කරඬුව වැඩම වීම මෙවර ඇසළ මංගල්‍යයේ පස් වෙනි වතාවටත් ශ්‍රී රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා ඇතාට පැවරිලා තියෙනවා. මෙවර ඇසල මංගල්‍යයේ සෑම පෙරහැරකටම දෑල ඇතකු විදියට ගමන්කරපු මියන් රාජා අදත් දෑලේ ගමන් කරනවා. ඊයේ පෙරහැර කරඬුව වැඩමවූ සිංහරාජා අනෙක් දෑල ඇතා විදියට ගමන් ගනීවි. නැදුන්ගමුවේ විජය රාජා අද පළමු වතාවට මෙවර ඇසල මංගල්‍යයේ පෙරහැරකට සහභාගි වෙනවා. විජය රාජා අද කරඬුවට පෙරමුනෙන් ගමන් ගන්නට නියමිතයි.
පුළුවන් හැමෝම යන්න... ගිහින් බලන්න...පෙරහැර අසිරිය විඳගන්න...