සූජීව ප්‍රසන්න ආරච්චී මේ කතා ලිව්වානම්???

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සූජීව ප්‍රසන්න ආරච්චී මේ කතා ලිව්වානම්???

    යුගයෙ ආදරණීයම නවකතාකරු සූජීව ප්‍රසන්න ආරච්චී ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සහ ශර්ලෝක් හෝම්ස් කතා ලීවා නම් මෙසේ වීමට තිබුනා....

    කියවන්න සම්පුර්ණ ලිපියම.............................

    සූජීව ප්‍රසන්න ආරච්චි ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කතාව ලිව්වා නම් මෙසේ වීමට තිබුනා !...
    ......................................................................................................................................................

    දයාබර සාහිත්‍යයක..
    වෙහෙසකර තාරුණ්‍යයේ.
    උණන කදුලු කැට පිහිදන..
    ආදරණීය ලොකු අයියා..

    සූජීව ප්‍රසන්න ආරච්චී ඔබට පුදන
    ආත්මීය නව කතාව..

    "කල්ප කාළයක් පුරා සංසාර චාරීකා"

    පිදුම !.. .

    සාහිත්‍යය නැමැති මාගේ කාර් රථයට
    නිබදව තෙල් ගසන..
    දයාබර තාරුණ්‍යයට !..

    "කල්ප කාළයක් පුරා සංචාර චාරීකා"

    1

    වේලාව පාන්දර හතට විතර ඇති. වටේටම කලු කරලා .. වැස්සක් එන්න වගෙ උනත් මියා ගේ හිත නම් තිබුනේ ආලොකයෙන් පිරිලා...
    පවුලෙන් උරුම උනු තමන්ගේ අවන්හලේ මුදලාලී අසුනට වෙලා ඇය දුර බලාගෙන හිටියෙ කෙනෙක් එනකම්..
    තමන්ගේ අතින්ම ඉගුරු දාලා හදන ප්ලේන්ටිය එක්ක බටර් සෑන්ඩ්වීච් කන්න ආස උනු එකම පුද්ගලයා ඔහූ..

    මියාට වයස දහසයි. අම්මත් අප්පච්චිත් නැති ජීවිතයේ ඇගෙ අප්පච්චි උනෙ අයියා.. අයියා ඩොමිනික්.. අප්පච්චි නැති වෙද්දි මියා ට වයස අවුරුදු තුනයි.. ඇයට යන්තම් මතකයි ඇගෙ පියාගේ නිසල දේහය පල්ලියෙ හරියටම මැද තියලා තිබුනු විදිය. අප්පච්චි නැති දුකට අනිත් හැමෝම අඩන අතරේ උනේ මොකක්ද කියලවත් තෙරෙන්නෙ නැති මියා පල්ලියෙදි ඇඩුවේ අම්මාගෙන් බුල්ටෝ ටොෆි ඉල්ලලා. ..

    දුප්පත්කම උරුම කරගෙන ඉපදුනු මියාට යාන්තම් අප්පච්චි මතකයි. අප්පච්චි කලේ රේස් පැදපු එක.. දුප්පත් උනත් ටොරේටො පරම්පරාවේ හොද ගතිගුණ පපුවෙ ගැඹුරු තැනක රදලා තිබුනු අප්පච්චි රේස් එකක් දිනපු දවසට මුලු ගමටම කන්න දෙනවා කියලා ඈට කිව්වෙ ඇගෙ අයියා.. ඩොම්.. අප්පච්චි නැති වෙද්දි ඩොම් ට වයස එකොලහක් විතර වෙන්න ඇති... ජීවිත කාළයක් පුරා තමන්ව ආදරෙන් බලා ගත්තු , ආත්මයම ස්පර්ශ කරපු එකම පිරිමියා තමාව දාලා ගියාට පස්සේ ජීවත් වෙන්න හිතක් තිබුනෙ නැති මියාලගෙ අම්මා ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ මියා ලව දාලා ගියා.. අම්මාව බලපු දොස්තර නම් කිව්වෙ අම්මා මැරුනේ ලොකු හිතෙ අමාරුවක් නිසා කියලා... ඒ හිතේ අමාරුව අප්පච්චි නැති උනු නිසා වෙන්න ඇති... මියාට හිතුනේ එහෙම !..

    "මොනවද කල්පනා කරන්නේ ? ම්ම්ම්ම්"..

    මියා කලබලෙන් වගේ ඔලුව උස්සලා බැලුවා... ඇගෙ කල්පනාවට බදා කලෙ ඔහු. ඇය මේ තරම් වෙලා එනතුරු බලාගෙන සිටි කෙනා... කෙල්ල වමතින් ඇස් පිහ දා ගත්තා. ඒවා ඒ වෙනකොටත් තෙත් වෙලා තිබුනේ. ඒත් නාදුනන ඔහුට කදුලු පෙන්නන්න මියාට ලැජ්ජ හිතුනා...

    "මු..මු..මු..කුත් නෑ.... වාඩි වෙන්න...." කෙල්ලගෙ කටහඩ වෙවුලනවා...
    ඒ ලැජ්ජාව නිසාද ඉවසිල්ලක් නැතිකම නිසාද කියන්නවත් මියාට තෙරුමක් නෑ...

    "ඇයි ඇඩුවේ? මොනවාහරි මතක් උනාද?"

    මියාට පුදුම හිතුනා.. වෙන කෙනෙක් නම් කඩේට ඇවිත් ඇතුලට එන්නෙ නැතුව කවුද කඩේ කියලා කෑ ගහනවා. ඒත් මෙයා ලගටම ඇවිල්ලා බලාගෙනත් ඉදලා... මේ තරම් ආදරණීය විදියට අයියා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මියාට කතා කරලා නෑ...

    "මු..මු..මු..කුත් නෑ. ඔයා ඉදගන්න" කෙල්ලගෙ වචනෙට ඔහු කීකරූ උනෙ අත දරුවෙක් වගෙ..

    "තේ ද කෝෆී ද?" මියා ඇහුවෙ කඩේට එන අනිත් අයගෙන් අහන පුරුද්දට.

    කොල්ලා හැරිලා බැලුවා... "ඔයා දන්නවා මන් ආස දේ"..

    කෙල්ලට හීල්ලූනා. පිරිමියෙකුට මේ තරම් ආදරණීය වෙන්න පුලුවන්ද... සතියක ඉදලා උදේට කන්න එන නිල් ඇස් තියෙන මේ පිරිමියට මියා ආස ගොඩක් කලා. එයාගේ නම බ්‍රයන් කියලා එයා කඩේට ආපු මුල්ම දවසෙ කිව්වා කියලා මියාට මතකයි. පොඩි කාලෙ ඉදන් මන් දන්න පිරිමින්ට වඩා එයා වෙනස්... කෙල්ල හිතුවා.

    මියා කහට වැඩිපුර දාලා තේක හැදුවේ ඉගුරු කෑල්ලකුත් දාලා. සමන් බේකරීයෙන් උණු උණුවෙන්ම ගෙනාපූ පාන් රාත්තල කෙල්ල හීන් තීරූ වලට කැපුවා. සමන් බේකරියේ පාන් උණුවෙන් නිකන් උනත් කන්න පුලුවන් තරම් රහයි කියලා මියා දන්නවා. කෙල්ල පරිස්සමින් පාන් පෙතිවල බටර් ගාලා ගත්තා.

    "ඒයි පරයා තෝ අදත් ආවද ?".....

    ඒ සද්දෙට කෙල්ල උඩ ගිහින් බිම වැටුනා. පාන් පෙති වලට බටර් ගාගා ඉදපු කෙල්ල හැරිලා බැලුවේ ඒ කටහඩ හොදට අදුනන නිසා. ඒ වින්ස්.. මියාගෙ අයියා ඩොම් ගේ හොදම යාලූවා.. කෙල්ලට හිතන්නවත් වෙලාවක් තිබුනේ නෑ. වින්ස් අයියා එක්කම හැදුනු වැඩුනු නිසා වින්ස් ගොඩක් වෙලාවට හිටියේ මියාලා එක්ක මියා ගෙ ගෙදර මයි..

    වින්ස් කෙලින්ම ආවේ බ්‍රයන් ලගට.

    "උබ අදත් ආවද පරයා".... වින්ස් බ්‍රයන් වාඩී වෙලා ඉදපු මේසෙට අත මිටි කරලා ගැහුවා...

    "ඔව් මන් කන්න ආවා" ... කෙල්ල මේ ඔක්කොම බලන් ඉන්න බව බ්‍රයන් දන්නවා.

    "කන්න ආවා ? යකෝ මේ මහවත්ත පාරේ කන්න මෙලො රහක් නැතිම කඩේ මේක. උබ මියා ගෙ පස්සෙන් එනවා මන් සතියක් තිස්සෙ ඉවසූවා" වින්ස් කේන්තියෙන් ගැහෙනවා.
    එයා ආවම වින්ස්ට මොකද ... කෙල්ල හිතුවෙ නම් එහෙමයි...

    "චටාස්...."
    හිතන්න වෙලාවක් තිබුනෙ නැ..
    වින්ස් කොල්ලගෙ ඇග උඩට පැන්නා...
    සුදානම් වෙලා හිටියෙ නැතත් කොල්ලත් අතැරියේ නැහැ... ........................................................................................................................................

    2

    උදේ පාන්දරින්ම අවදි උන ඩොම් හීනෙන් වගේ ඇදේ අතගාලා හෙව්වෙ ලෙටී ව. ලෙටී ඩොම් ගේ ආදරය විතරක් නෙවෙයි ජීවිතේම වෙලා තිබුනා. පිරිමියෙක්ට ඇත්ත ආදරේ හමු වෙන්නෙ ජීවීතේ එක පාරක් බව ඩොම් දැනන් හිටියා.

    ඩොම් බිම වැටිලා තිබුනු සරම ඇහිද ගෙන ඇදගත්තා.. රෑට සරම ඇදන් නිදා ගන්න ඩොම් ආස කලා. උදේම ලෙටී කුස්සියට වෙලා උයන බව ඩොම් දන්නවා. සිරියාවන්ත ගෑනූ එහෙමයි...
    සරම හද හද ඩොම් කුස්සියට ආවා. ලෙටී පොල් මිරිකනවා. වෙනදට නම් ලෙටී ට පොල් ගාලා දෙන්නෙ තමන් බව මතක් වෙලා ඩොම් ගේ පපුව දාලා ගියා...

    "ගුඩ් මෝර්නිං සුදු මහත්තයා".... තමන් දිහා ආදරෙන් බලන් ඉන්න ඩොම්ව ලෙටී දැකලා... දවස සුභ වෙන්න නම් තමන් ආදරේ කරන ගෑණීගේ හඩ උදෙන්ම ඇහෙන්න ඕනී කියලා ඩොම් දන්නවා..

    "සුදු නෝනා උයනවද ?"..

    "ම්.."

    "ඇයි මාව ඇහැරෙව්වෙ නැත්තෙ බබා?"

    "ඔයා නිදියගෙන ඉන්න විදිය දැක්කම මට ලෝභ හිතුනා.." පපුව පුච්චලා යන ආදරයක් කියන්නෙ මේකට බව ඩොම් දන්නවා..

    "මොනවද මැණික උයන්නෙ? එලවලු කපලා ඕනීද ම්ම්ම් ? "

    " සුදු කැකුලු බත් උයලා පොළොස් හදලා පොල් සම්බෝල එක්ක බල මාලූ ඇබුල් තියල් හදන්න හැදුවේ "...

    සුදු කැකුලු බතට පෝල් සම්බෝල එක්ක මාලු ඇඹුල් තියල් එකතු උනාම රජ බොජුන් පරාද බව ඩොම් දන්නවා... ඩොම් ට තාත්තා මතක් උනා...

    ඩෝම් ගේ තාත්තත් ඉස්සර මේ විදියටම සුදු කැකුලු බතට කිරි හොදි එක්ක පොල් සම්බෝල හදනවා..
    ඩොම් ගේ තාත්තා ඩොම් ලා හැදුවේ රේස් පැදලා.. ඉස්සර දවසක් තාත්තා "කෙල්ලයි කොල්ලයි මගේ ඇස් දෙක වගේ මැනිකේ" කියලා අම්මට කියනවා ඩොම් අහගෙන..

    තාත්තා රස්සාවට රේස් පැද්දත් ලොකු වී එයිට් එංජීන් , කලු මාට මජං , පෙට්‍රල් සුවද ට යකඩ ගොඩවල් තාත්තාගෙ ජීවිතමයම උනු බව ඩොම් දන්නවා. ඒකයි මොන තරම් ඉලෙක්ට්‍රොනික් කාර් තිබුනත් ඩොම් ලොකු එංජීන් තියෙන මසල් කාර්ම පැද්දේ.. තාත්තගේ ලේ වලින් තමන්ට ලැබුනු කාර් පිස්සුවට ඩොම් ගොඩක් ආදරෙ කලා.
    තාත්තා මතක් උනු නිසාමද කොහෙද ඇස් මොකක්දෝ පටලයකින් බොද වෙලා යනවා කොල්ලට ට දැනුනා.....

    ඩොම් ගේ දැහැන බිදුනේ ගෙදර ඉස්සරහින් ඇහුනු සද්දෙ නිසා.. මොන තරම් සංවේදී උනත් ටොරේටෝ පරම්පරාවෙන් ආපූ දැඩි ගතිය ඒ විදියටම ඩොම් ට පිහිටලා තිබුනා. ඒ නිසාමයි කොල්ලා කුස්සියෙ තිබුනු ලොකු පොල්ලක් අරන් ඉස්සරහට දුවලා ගියේ. අතේ තිබුනු පොල් කටු හැන්දත් අරන් ලෙටීත් ඩොම් ගේ පස්සෙ දිව්වා
    ......................................................................................................................................................

    3

    "නවත්තපියව් තොපි දෙන්නම"..

    මෙච්චර වෙලාවක් එකට වෙලිලා ඇන කොටා ගත්තු දෙන්නම දෙපැත්තට උනා... මියා කඩේ ඉදන් ගැහි ගැහි බලන් ඉන්නවා... ලෙටී කෙල්ල ලගට ගිහින් කෙල්ලව බදා ගත්තා. ලෙටී නෑනා කෙනෙක්ටත් වඩා සහෝදරියෙක් වගෙ තමන්ට ආදරේ බව මියා දන්නවා.. අක්කලා එහෙමයි...

    "ඒත් ඒත් ඩොම්..." වින්ස් අමාරුවෙන් වගෙ කතා කලා... වින්ස් ගේ කට කැඩිලා ලේ එනවා.

    "ඇයි උබ ගැහුවේ මේ කොල්ලට"..

    "මූ මියාගේ පස්සෙන් එනවා..." වින්ස් අතකින් කටේ ලේ පිහදාන ගමන් කිව්වා..

    ඩොම් කෙලින්ම බැලුවේ ඔහු දිහා..

    "ඇත්තද මේ කියන්නේ?"

    ඔහු මුකුත් කිව්වේ නෑ....

    "මොකක්ද උබේ නම? "

    "බ්‍රයන් ස්පිල්නර්"...

    "මොකද උබ මෙහෙ කරන්නෙ?"

    "හංදියේ අලුතෙන් දාපු ටයර් කඩේ අපේ මාමාගේ. "

    ටයර් කඩේක වැඩ කරනවා කිව්වම ඩොම් ගේ තරහා නිවුනා. ක්ල්ච් එකටයි ඇක්ස්ලේටරේටයි බ්‍රේක් එකටයි ඇරෙන්න ඩොම් ට කකුල් ඕන උනෙ නැහැ. කොල්ලා ඊට වඩා ආදරේ කලේ ටයර් වලට...

    "කාර් වැඩ්ඩෙක් වගේ..."

    "ඔව් මගේ ස්කයිලයින් එක තමයි ටවුන් එකෙ වේගෙන්ම යන්නෙ" බ්‍රයන් ගේ කතාවට ඩොම් සමච්චලේට හිනා උනා. අම්මට වගේම තමන් ආදරේ කරපු ස්කයිලයින් කාර් එකට කෙනෙක් හිනා වෙනවා ඇහුනම බ්‍රයන් ගේ පපුව පිච්චිලා ගියා. ...

    "හාහාහාහා... හොදටම විස්වාසද..."

    "ම්". කොල්ලා බිම බලන් උත්තර දුන්න....

    "අද රෑ හරියටම අටට. අපි රේස් එකක් යනවා සල්ලි ඔට්ටුවට . ඔච්චර වැඩ්ඩෙක් නම් එනවා... ". ඩොම් කිව්වෙ සමච්චලයට හිනා වෙවි...

    "ඒත් මන් ලග ඔට්ටු දාන්න සල්ලි නෑ. ඔයා දින්නොත් ඔයා මගෙ කාර් එක ගන්න.. ඒත් මන් දින්නොත්..." කොල්ලා කතාව නතර කලා....

    "උබ දින්නොත්?".. ඩොම් කතාවට හූමීටි තිව්වා...

    "මන් දින්නොත් මට සල්ලියි. ගෞරවයයි ඕන...." කොල්ලා අමාරුවෙන් කිව්ව.

    "ගෞරවය ?" ඩොම් ඒ කතාවට හිනා උනත් ඊටත් වඩා පුදුම උනා..

    "ම්ම් ගෞරවය.. මොකද සමහර අයට ඒක සල්ලි වලට වඩා වටිනවා..."

    ඩොම් ගේ පපුව හිර උනා... ඒ වගෙ කතාවක් ඩොම් අහලා තිබුනේ තාත්තාගෙන් විතරයි.
    ගෞරවයට ආදරය කරන මිනිස්සු හොද මිනිස්සු බව ඩොම් දන්නවා. එහෙම මිනිස්සු ඉන්නෙ හරි කලාතුරකින්... එක බඩවැල කඩන් නාවත් ආත්ම ගානක ඉදන් එන සහෝදරකමක් මේ නාදුනන කොල්ලා එක්ක දැනිච්ච හේතූව ඩොම්ටම තෙරෙන්නෙ නෑ...............................................................................................................................................

    යුගයේ ආදරණීයම නවකතාකරු සූජීව ප්‍රසන්න ආරච්චී ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් පලමු කතා මාලාවේ පලමු කොටස් කිහිපය ලීවා නම් එසේ වීමට තිබුනා....

    ......................................................................................................................................................

    ශර්ලොක් හෝම්ස් කතා මාලාව සූජීව ප්‍රසන්න ආරච්චි ලිව්වා නම් මෙසේ වීමට තිබුනා........................................................................................................................................

    හදවතින් නීරීක්ෂණය කර
    පපුවෙන් නිගමනය කොට
    ලේ නහර වලට බැස තිබෙන
    ගැඹුරු ආදරණීය ගැටලු පිවිතුරු
    ප්‍රේමයෙන් විසදන දයාබර තාරූණ්‍යයට

    සූජීව ප්‍රසන්න ආරච්චී තිළිණ කරන

    "නිම් හිම් හෙව්වා මා සසරේ - පැටලි ගැටලූ අතරේ....

    .................................. 1 ..............................
    බේකර් වීදීයට තද වැස්ස... හෝම්ස් ජනේලයේ තිර රෙද්ද ඈත් කරලා පාර බැලුවා.. පාර හොදටම මඩ වෙලා, බොර වෙලා.. විසදන්නට ගැටලුවක් නැතිව ගෙවන මේ ජීවීතේත් හොදටම මඩ වෙලා නේද කියලා හෝම්ස් ට හිතුනා...

    හෝම්ස් වෙලාව බැලුවා.. වේලාව තාම උදේ පහයි... එක බඩ වැල කඩන් නාවත් අවුරුදු ගානක ඉදලා තමන් එක්ක දුක සැප බෙදා ගන්න සහෝදරයෙක් වගෙ තමන්ට ඉන්න වොට්සන් සෝෆාවට වෙලා නිදි ..
    වාර ගානක්ම තමන්ගේ ජීවිතේ බේරපූ , තමන් වෙනුවෙන් ජීවීතේ පරදුවට තියපු වොට්සන් වගේ යාලුවෙක් ලන්ඩනයේ ඉන්නෙ එහෙමත් කෙනෙකුට බව හෝම්ස් දන්නවා.

    හෝම්ස් ඕලන්ද දුම්කොළ වලින් පයිපය පිරෙව්වා. ඕලන්ද දුම්කොල අව්වට වැස්සට සීතට ඕන වෙලාවක ඇගට ප්‍රබෝදයක් ගේනවා. හෝම්ස් දුම්කොල ගන්නෙත් ලන්ඩනයේ හොදම ඕලන්ද දුම්කොල විකුණන හාර්ඩී මුදලාලි ලගින්..

    වැස්ස ටික ටික ලොකු උනා. ජනේලෙන් ඇවිල්ලා ඇගෙ වදින හිරිකඩ නිසා හෝම්ස්ගේ රෝම කූම පවා කෙලින් වෙනවා ... පහුගිය කාලේ අනුග්‍රාහකයො තමන්ගේ ජීවීතේට ගෙනාපු ප්‍රශ්න මොන තරම් ලොකුද කියලා හෝම්ස් හිතුවා. ඒත් ඒ හැම ප්‍රශ්නයක්ම විසදන්න හෝම්ස්ට පුලුවන් උනා. ඒ හෝම්ස් ගේ හැටි...

    දුම්වලාවක් අතරේ තනි වෙලා ඉදපූ හෝම්ස් ගෙ දැහැන බිදුනෙ දොර ලගින් ආපු සද්දෙකට.. හෝම්ස් හැරිලා දොර දිහා බැලුවා..

    "හෝම්ස් පුතා තේ හදන්නද?" ඒ හඩ්සන් මහත්මිය... නිවසේ හිමිකාරිය... හෝම්ස් යාලූවා වොට්සන් එක්ක ගෙදර සදලුතලය කුලියට අරන් ඉන්නේ.. අනුන්ගේ ප්‍රශ්න විසදුවට ගෙයක් ගන්නවත් හෝම්ස් උණන්දු උනේ නෑ. හිත හොද මිනිස්සු එහෙමයි...

    "හදමුකෝ හඩ්සන් නැන්දේ .. මටත් තිබහයි...

    හෝම්ස්ට ඇති තේ තිබහක් නෑ... ඒත් හඩ්සන් නැන්දාගෙ තේ එකක් බොන්න ආසයි... තමන්ගේ අම්මගෙ වයසෙ වගෙ හිටපු හඩ්සන් නැන්දාට හෝම්ස් අම්මට වගේ ගෞරව කලා..

    බේකර් වීදීයේ මේ නිවසට ආපු දවසේ ඉදන් හෝම්ස්ටයි වොට්සන්ටයි බත් උයපු බත් අම්මා උනෙත් හඩ්සන් නැන්දා.... සමහර දවසට හෝම්ස්ටයි වොට්සන්ටයි කන්න දීලා හඩ්සන් නැන්දා බඩගින්නෙ හිටපු බව හෝම්ස් දන්නවා. ඒකයි හෝම්ස් අම්මට තරම්ම හඩ්සන් නැන්දට ගරු කලේ...

    "මොනවද හෝම්ස් කල්පනා කරන්නේ...."

    වොට්සන් නැගිටලා. හෝම්ස් වෙලාව බැලුවා. හයයි විස්සත් වෙලා.. දැනෙන්නෙම නැතුව එලි වෙලා... හෝම්ස් හිතුවා.....

    "ගුඩ් මෝර්නිං වොට්සන්"..

    "මෝර්නිං හෝම්ස්.. වැස්ස නේද? "

    "ම්" වැස්සත් හරියට අපේ ජීවිතේ වගෙ කියලා හිතුවත් හෝම්ස් එහෙම කිව්වෙ නෑ...

    සීතල නිසාම වොට්සන් අත් ගුලි කරන්. සිවු රහස් සලකුණ පරීක්ෂණයේදී ඔහුට හමු උන ප්‍රීය බිරිද මේරීට වොට්සන් පණ ඇරලා ආදරේ කරලා. සංසාර ගත බැදීම අත් හැරලා ඈ මියගිය දවසෙ ඉදන් වොට්සන් ඉන්නෙ දුකෙන් බව හෝම්ස් දන්නවා..
    මේරීගෙයි වොට්සන්ගෙයි ආදරය හරි පුදුම එකක්... මේරී බඩගින්නෙ ඉද්දි වොට්සන්ට කෑම උගුරෙ හිර උනා... වොට්සන්ට කරදරයක් වෙලාවට ඒක මුලින්ම දැනෙන්නෙ මේරී ට. ආදරෙ මොන තරම් බලගතුද ... හෝම්ස් හිතුවා.....

    "හෝම්ස් උදේට කාලාද ?"... හෝම්ස් ගේ දැහැනට ආයෙත් වොට්සන් බාධා කලා...

    "නැහැ වොට්සන්.. හඩ්සන් නැන්දා තේ හදන් ඒවී බිත්තර ඔම්ලට් සැන්ඩ්වීච් එක්ක"..

    "කොහොමද හෝම්ස් හරියටම දන්නේ?"

    "වොට්සන් නිදි අතරේ හඩ්සන් නැන්දා ආවා තේ ඕනද කියලා අහන්න.. මන් ඕන කිව්වා. වොට්සන්ට දැනෙන්නෙ නැත්ද පහල බිත්‍තර බදින සුවද .. බිත්තර ඔම්ලට් තේ එක්ක නිකන් කන්න බෑ නේ... මන් දැක්කා ඊයේ හඩ්සන් නැන්දා චූන් පාන් කාරයාගෙන් පාන් රාත්තලක් ගන්නවා. මේ ඔක්කොම ගැලපුවම සරල නිගමනයක් වොට්සන්"

    හෝම්ස් ගෙ පැහැදිලි කිරීමට වොට්සන් පුදුම උනෙ නෑ. හෝම්ස් එක්කම ජීවත් වෙලා වොට්සන්ට දැන් මේ දේවල් හුරුයි.

    එතකොටමයි වොට්සන්ට ඇහුනේ ත‍රප්පු පෙල නැගගෙන හඩ්සන් නැන්දා එන සද්දේ... ඇය කතා කරගෙනම කාමරයට ඇතුල් උනා..

    "පුතාලා මන් තේ හදලා ඔම්ලට් සැන්ඩ්වික් ගෙනාවා.. කාලා ඉන්න..."

    "ම්ම්ම් සුවදට ඕන තරමක් කාලා තේ බොන්න පුලුවන් නැන්දේ... " වොට්සන් කීවේ හදවතින්මයි..

    "නැන්දා කාලද ?" ඒ හෝම්ස්..

    හඩ්සන් මහත්මියගේ පපුවා දාලා ගියා.. බෝඩිංකාරයො විදියට හිටියත් තමන්ගේ ළමයි වගේම තමන්ගේ ගැන හිතන හෝම්ස් ලා දිහා බලලා ඇගෙ ඇස් තෙත් උනා...

    "ඔව් පුතේ මන් කාලා ගෙනාවේ ඔයාලට" හඩ්සන් මහත්මිය කිව්වෙ උගුරෙන්..

    එහෙමම ඇය හැරිලා ගියා... ඇය හෝම්ස් දිහා වත් වොට්සන් දිහාවත් ආයේ බැලුවේ නැහැ...

    ඇය ගියාත් එක්කම දෙදෙනාම උනූ තේ කහට කෝප්පය අතට ගත්තා... වැට් බද්ද නිසා කිරිපිටි කිලෝවක් රුපියල් සීයකින් වැඩි වෙලා තියන නිසා කිරිපිටී හීනයක්ම වෙලා තිබුනත් හෝම්ස් තේ කහට වලට ආස කලා. තේ එකකින් ලැබෙන ගතිය කිරිපිටි කෝප්ප සීයකින්වත් ලැබෙන්නෙ නැති බව හෝම්ස් දන්නවා...

    හෝම්ස් එක ඔම්ලට් සැන්ඩ්විච් එකක් අතට ගත්තා...

    "අපි දෙන්නා මේ එක ඔම්ලට් සැන්ඩ්විච් එකක් දෙකට කඩන් කමු වොට්සන්..."

    ඔහු කිව්වෙ සැන්ඩ්විච් එකක් දෙකට කඩන ගමන්...

    "ඒ ඇයි හෝම්ස්" සහෝදරයා වගේ ඉන්න හෝම්ස් එක්ක එක ප්ලේන්ටිය දෙකට බෙදන් බීලා එක ආප්පය දෙකට කඩන් කාලා පුරුදු උනත් වොට්සන් ඇහුවේ ට්‍රේ ඒකෙ ඔම්ලට් සැන්ඩ්වීච් දෙකක් තිබුනු නිසා...

    "ගෙදර හරියටම තිබුනු බිත්තර දෙකෙන් හඩ්සන් නැන්දා ඔම්ලට් සැන්ඩ්විච් දෙකක් හදලා එයා උදේට නොකා බඩගින්නෙ ඉන්න හදන්නේ වොට්සන්"...

    " මොනවා ? ඔයා කොහොමද ඒක දන්නෙ හෝම්ස් ? "..

    "හ්ම්ම්ම්.." හෝම්ස් සුසුමක් හෙලුවා..

    "අපිට ආදරෙ මිනිස්සු ගැන නිගමන වලට එන්න නීරීක්ෂණ කරන්න ඕනෙ නෑ වොට්සන්.."..

    වොට්සන් ඒ කතාව ඇත්ත බව දන්නවා. අම්මලාගේ ආදරෙ පුදුමාකරයි.

    "වොට්සන් ඒ කතාව හරියටම දැන ගන්න විදියක් මන් කියන්නද ? "..

    " ම්ම්"..

    "මේ ට්‍රේ එක තියන්න යද්දි කුස්සියේ ගෑස් ලිප ලග ඩස්ට් බින් එකෙ බලන්න වොට්සන් ... ඩස්ට් බින් එකෙ තියෙන්නෙ බිත්තර කටු දෙකයි නම් හඩ්සන් නැන්දා අපිට කන්න දීලා බඩගින්නෙ ඉන්නවා...

    වොට්සන් ට හීල්ලූනා.. වොට්සන් ගේ අම්මත් එහෙමයි.. ඉස්සර පාන් පිටි දෙසීය පනහෙන් පොල් රොටි හැදුවම අනිත් අයට දුන්නම අම්මට ඉතුරු වෙන්නෙ නැ.. අම්මා ගෙදර හැමෝගෙම බඩ පුරවලා බඩගින්නෙ ඉන්න බව වොට්සන් දැන ගත්තේ පස්සෙ...

    දෙන්නා එක්ක එකම සැන්ඩ්වීච් එක කඩාගෙන කාලා තේ බීලා ඉතුරු සැන්ඩ්වීච් එකත් ට්‍රේ එකෙ තියන් වොට්සන් පහල මාලයේ කුස්සියට ගියා.

    ට්‍රේ එක පැන්ට්‍රී එකක් උඩ තියපු වොට්සන් බැලුවේ ගෑස් ලිප ලග ඩස්ට් බින් එක දිහා...

    දෙයියනේ...
    වොට්සන්ගේ පපුව පිච්චිලා ගියා...

    හෝම්ස් කිව්වා වගේම ඩස්ට්බින් එකෙ තිබුනේ බිත්තර කටු දෙකයි.. වොට්සන් ට හීල්ලූනා.. අම්මලාගෙ ආදරේ මොනතරම් පරාර්ථකාමීද කියලා වොට්සන් ට හිතුනා.....

    ......................................................................................................................................................
    මේ දිනවල රාජපක්ෂලා ගේ වංචා ගැන පරීක්ෂණ පවත්වමින් සිටින නමුත් දේශපාලනයෙන් හෙම්බත් වී සිටින ඔබට "වෙනසක්" කිරීමට අදහස් කර ශ්‍රී ලංකාවේ යුගයේ ආදරණීයම නවකථාකරු සූජීව ප්‍රසන්න ආරච්චි මහතා ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් හා ශර්ලොක් හෝම්ස් කතා ලීවා නම් කෙසේ විය හැකි දැයි සිතා ලියන ලද්දකි

    බොදුනුවාගෙන් උස්සන ලදී
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,503
    113
    ෂර්ලොක් කතාව දිගටම ලියන්න.සුපිරි ෆන් එකක් තියෙනවා.