මේ තියෙන්නෙ බයියො පූටින් දැක්කම වෙව්ලලා සුරතාන්තයට පත් වෙන හේතුව..

මේ වෙලාවේ මුළු ලෝකය පුරා ම රුසියාවේ යුක්රේන ආක්‍රමණයට විරුද්ධව ප්‍රබල මතයක් ගොඩනැගිලා තියෙනවා. ලෝකයේ හැම ප්‍රධාන නගරයකම වගේ පුටින්ට විරුද්ධව විරෝධතා සංවිධානය වෙනවා. රුසියාවට එරෙහිව පියවර ගන්නැයි කියලා මුළු ලෝකය පුරා ම මිනිසුන් එක එක විදියට තමන්ගේ ආණ්ඩුවලට බලකරනවා.
ඒත් ලංකාවේ මීට වඩා වෙනස් දෙයක් මම දකිනවා.
ලංකාවේ ඉන්න රුසියානු යුද විශේෂඥයන් ගේ ප්‍රමාණය දවසින් දවස ඉහළ යනවා. රුසියාවටත් වඩා රුසියානු යුධ විශ්ලේෂකයන් ලංකාවේ ඉන්නවාද කියලා වෙලාවකට හිතෙනවා. ඇමරිකානු අධිරාජ්‍යවාදය ගැන, නේටෝව ගැන, සෙලෙන්ස්කි ගේ මෝඩකම් ගැන, රුසියාවේ ඉතිහාසය ගැන, සෝවියට් දේශය බිඳ වැටීම් ගැන විවිධාකාරයේ පැහැදිලි කිරීම්, මතවාද, විචාරයන් ලංකාවේ ඉන්න රුසියානු විශේෂඥයන් දිනපතා අපට එක එක පැත්තට කරකවමින් ඉදිරිපත් කරනවා. දවසට පැය පහක් හයක් ලයිට් නැතුව කරුවලේ ඉන්න අපට ඒ හැම පැහැදිලි කිරීමක් ම හුගක් වටිනවා.
ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නය ලෝකය පුරාම ශිෂ්ටත්වය ගරු කරන මිනිසුන් පුටින්ගේ ආක්‍රමණයට විරුද්ධ වෙනකොට ලංකාවේ විතරක් පුටින්ට පක්ෂපාතී රැල්ලක් හැදෙන්නේ කොහොමද කියලයි. ඒක ටිකක් ගැඹුරට විමසා බලන්න ඕන දෙයක්.
සාමාන්‍ය විචාර බුද්ධියට අනුව බැලුවොත් නම් ඉන්දියාව වගේ විශාල, බලවත් රාජ්‍යයක් ලඟින් පිහිටලා තියෙන ලංකාව වගේ කුඩා දූපතක ජීවත්වන මිනිසුන් පුටින් ගේ ආක්‍රමණය නිසා කම්පනයට පත්වෙන්න ඕනෙ. ඒ කියන්නේ, පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කරන්න ඉදිරිපත් කරන සමහර හේතු ම භාවිතා කරලා අවශ්‍ය නම් ඉන්දියාවටත් ලංකාව ආක්‍රමණය කරන්න පුළුවන් නේද කියලා හිතෙන්න ඕනෙ. මේ තර්කය අනුව බැලුවොත් ඊළඟ වතාවේ චීන සබ්මැරීන් ලංකාවට ආපු ගමන් ඉන්දියාවටත් ලංකාව අල්ලන්න හමුදාවක් එවන්න පුළුවන් නේද කියලා හිතෙන්න ඕනෙ. මේ අනුව පුටින් ගේ ක්‍රියාකලාපය නිසා කවදාහරි තමන්ටත් වෙන්න පුළුවන් අනතුරක් ගැන හිතලා ලංකාවේ මිනිසුන් මේ වෙලාවේ යුක්රේනයේ ජීවත් වන මිනිසුන් ගේ දුක ගැන සංවේදී වෙයි කියලා සාමාන්‍යයෙන් අනුමාන කරන්න පුළුවන්.
ඒ වගේ ම, ලංකාවේ ජීවත් වෙන මිනිස්සු පොඩි කාලේ ඉඳන් ම උස් මහත් වෙන්නෙම විදේශ කුමන්ත්‍රණ ගැන, විදේශ ආක්‍රමණ ගැන conspiracy theories එක්කයි. ලෝකයේ හුඟක් බලවත් රටවල් ලංකාව අල්ලගන්න දවල් රෑ නැතුව කුමන්ත්‍රණය කරනවා කියලා ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නවා. ලංකාවේ ඈත පිටිසර ගම්වල ඉන්න ගැමියන්ට පවා මේ 'කුමන්ත්‍රණ බය' තියෙනවා. එතකොට ඇත්තට ම ලෝකයේ වෙනත් රටක මිනිසුන් මේ විදියට විදේශ ආක්‍රමණයකට මුහුණ දෙනකොට ලංකාවේ මිනිස්සුන්ටත් යම් බයක් දැනෙන එක ස්වාභාවිකයි නේද? යුක්‍රේනයේ මිනිස්සු අද තමන් ගේ රස්සා අතඇරලා දාලා තුවක්කු අතට අරන් ඒ රටේ නගර ආරක්ෂා කරන්න පාරට බහිනකොට, ගැහැනුන් සහ ළමයින් ඇඳිවත විතරක් එක්ක උමං මාර්ග ඇතුළේ රාත්‍රිය පහන් කරන වීඩියෝ දකිනකොට තමන් ගේ 'විදේශ ආක්‍රමණ බය' සාධාරණ බවත්, අද යුක්‍රේනයට වුණ දේ හෙට ලංකාවට වෙන්න පුළුවන් බවත් හිතෙන එක ස්වාභාවිකයි නේද?
ඒත් ලංකාවේ මේ මොහොතේ දකින්න ලැබෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි. මේ හැම හැඟීමක් ම යටපත් වෙලා මේ වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට පුටින් ගැන කිසියම් 'අනුරාගයක්' වගේ එකක් දැනෙන බව පෙනෙන්න තියෙනවා.
එහෙම වෙන්නේ කොහොමද?
මම හිතන විදිහට ලංකාවේ සැලකිය යුතු පිරිසක් පුටින්ට පක්ෂපාතී වෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය හින්දවත්, නේටෝව හින්දවත්, රුසියාවේ ඉතිහාසය හින්දවත් නෙවෙයි. ලංකාවේ මිනිස්සුන්ට පුටින් දිහා බැලුවම Daddy කෙනෙක් පෙනෙනවා.
ලංකාව කියලා කියන්නේ බරපතල Daddy issues වලින් පෙළෙන මිනිසුන් ඉන්න රටක්.
ලංකාවේ මිනිසුන් කැමති ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ට සම්පන්න, සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්න කැමති, ශීලාචාර දේශපාලන නායකයන්ට නෙවෙයි. ලංකාවේ මිනිසුන් කැමති තමන් ගේ අත්දෙක එකට තියලා ගැටගහලා, ඇස් දෙක රෙදි පටියකින් බැඳලා, කණට කරලා කුණුහරුප කියමින් පස්ස පැත්තට වේවැල් පහර දෙන 'ඩැඩී' ලාට.
1815 විතර ඉඳල ලංකාවේ මිනිසුන් ඩැඩී කෙනෙකු අහිමි වීමේ ශෝකයෙන් පීඩා විඳිනවා. කාලයත් සමග යටපත් වුණු මේ ශෝකය නැවත ඉස්මතු වෙන්න පටන් ගත්තේ අවුරුදු 30ක විතර යුද්ධයක රට පටලැවුණාට පස්සේ. කොටින්ට ගහලා විනාශ කරලා, රටට වින කරන සතුරන් බිමට සමතලා කරලා දාන යකාටවත් බය නැති වීර 'ඩැඩී කෙනෙක්' ලංකාවට අවශ්‍ය වුණා. 2015ට කලින් මහින්ද රාජපක්ෂ නිරූපණය කරපු භූමිකාව ඒකයි. ඒත් ඒකට අමතරව හොරකම, වංචාව, තක්කඩිකම, අසීමාන්තික ඥාති සංග්‍රහය, පවුල්වාදය වගේ හුඟක් දේවල් නිසා ලංකාවේ මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂ එපා වුණා. හැබැයි ඒ එපා වුණේ ඩැඩී චරිතය රඟපාපු 'මහින්ද රාජපක්ෂ' මිස 'ඩැඩී' කෙනෙකුගේ අවශ්‍යතාව නෙවෙයි.
මහින්ද රාජපක්ෂටත් වඩා වෙනස් මොඩල් එකක 'ඩැඩී' කෙනෙක් 2019 නොවැම්බර්වල තමන්ට හම්බ වුණා කියලා ලංකාවේ මිනිසුන් හිතුවා. ඔවුන්ට ඕනැ වුණේ සැරට ඉන්න, නීතියට තිතට වැඩ කරන, හමුදාවේ වගේ විනය හදන, කාටවත් ඕනැවට වඩා නටන්න ඉඩදෙන්නේ නැති ඩැඩී කෙනෙක්. ඒත් ඒ 'ඩැඩී' හොයන ප්‍රොජෙක්ට් එකත් මේ වෙද්දී බරපතළ විදියට අසාර්ථක වෙලා තියෙනවා. තමන් ඩැඩී චරිතය රඟපාන්න තෝරගත්ත පුද්ගලයාට ඒ වැඩේ කරන්න බැරි බව මේ වෙද්දී ලංකාවේ මිනිසුන්ට තේරිලා තියෙනවා. හැබැයි තාමත් ඔවුන්ට තේරෙන්නේ පුද්ගලයා ගේ ප්‍රශ්නය විතරයි - ඔවුන්ට තියෙන ප්‍රශ්නය තමන් තෝරාගත් පුද්ගලයාට ඩැඩී ගේ චරිතය රඟපාන්නට බැරි එක පමණයි.
තාමත් ලංකාවේ මිනිසුන් හොඳ ඩැඩී කෙනෙක් ඉන්නවා නම් ආසයි. හොඳ ඩැඩී කෙනෙකු ලව්වා අත පය ගැටගහගෙන පස්ස රත්වෙන්න වේවැල් පාරක් කන්න ආසයි.
පුටින් දකිනකොට ලංකාවේ මිනිසුන්ට අමුතු අනුරාගයක් දැනෙන්නේ ඩැඩී කෙනෙකුගෙන් වේවැල් පාරක් කන්න තියෙන මේ ආසාව ඉස්මතු වෙන නිසා මිස ඇමෙරිකානු අධිරාජ්‍යවාදය නිසාවත්, නේටෝ නිසාවත්, යුක්‍රේනයේ බටහිර ගැතිකම නිසාවත් නෙවෙයි.
මේ ඩැඩී අනුරාගය නිසා ලංකාවේ මිනිසුන්ට බලවත් රටක් තමන්ට වඩා දුර්වල ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් ආක්‍රමණය කිරීමේ අවුල තේරෙන්නේ නැහැ. ඒ වගේ ම ආර්ථික වශයෙන් නන්නත්තාර වෙලා ඉන්න, තෙල් ටික ගහගන්න පෝලිමේ ඉන්න, දවසේ පැය හය හතක් විදුලි බලය පවා නැතුව ඉන්න දූපත් වාසීන් ටිකකට ඒක තේරුණා කියලා ඒකෙන් ලෝකයට ලොකු බලපෑමක් වෙන්නෙත් නැහැ.
ඒ නිසා මේ වෙලාවේ ලංකාවේ ඉඳන් අපට කරන්න පුළුවන් ඒ අනුරාගයේ ලස්සන සහ ඒක එළියට ප්‍රකාශ වෙන විවිධ ස්වරූපයන් බල බල ඉන්න එක විතරයි.
-
රසික ජයකොඩි
27 - 02 - 2022
#lka #SriLanka #life