ඇමරිකානු NAVY SEALS

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,635
    6,816
    113
    ඇමරිකානු නෙවි Seals

    ලෝකයේ නිල වශයෙන් පිළිගැනෙන ප්‍රභලම ‍රටේ හමුදාවේ තිබෙන විශේෂිතවූ ඒකකයක් වන මෙය පිළිබදව අපි යම් පමණකට හෝ දැන කියාගන්න මෙය අවස්ථාවක් කරගමු යැයි මම ඔබට යෝජනා කිරීමට කැමැත්තෙමි.

    ලෝකයේ බලතුලනය වෙනස් වී එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ එක් අතිප්‍රභලතම සුපිරි බලවතෙකු බවට පත්වීමට ඇමරිකාවට ලැබුනේ දෙවන ලෝක යුද්දයෙන් පසුව යැයි මෙම ලිපිය ආරම්භයේදීම ඔබට කියන්නට සිතුවේ මෙම ලිපියට අදාල සීල් භටයන්ගේ බිහිවීමද එයට අදාල වන නිසයි‍. (ලෝකයේ බිහිවූ අනිත් ප්‍රභල සුපිරි රාජ්‍යය සෝවියට් දේශයයි. එය 90 දශකයේදී බිද වැටුනත් දැන් එය නැවතත් රුසියාව ලෙස ක්‍රමයෙන් නැගී සිටින බවක්ද තිබෙන බව කිය යුතුය).

    ඉතිහාසය
    1941 දී ජපානය විසින්, තමන්ගේ පාඩුවේ සිටි ඇමරිකාව දෙවන ලෝකය යුද්දය තුලට ඈදා ගත්තේ පර්ල් වරායට බෝම්බ හෙලා මහා විනාශයක් සිදුකිරීමෙන් පසුවයි. ඒ සමගම ඇමරිකාවට මෙම යුද්දයට අවතීර්ණ වීමට සිදුවූයේ එතෙක් අත්ලන්තික් හා පැසිපික් සාගරවලින් ඔබ්බේ සිදුවූ යුද්දය තමන්ටද වේදනාව ගෙන දෙන කාරණයකට මුලපිරූ නිසා බව කිව යුත‍ය. මේ නිසා ජපානයට පහරදීමට ඇමරිකානු ආරක්‍ෂක ප්‍රධානීන් පිඹුරුපත් සකසන්නට වූ අතර එයින් එක් සැලැස්මක් වූයේ මුහුදු මාර්ගිකව ජපාන ඉලක්කවලට පහරදීමයි. ඒ ජපානය විසින් සිය මූලෝපායික ඉලක්කයන් ආරක්‍ෂාකරගැන්මට වලදමා තිබෙන බිම් බෝම්බ අතිමහත් සංඛ්‍යාවෙන් සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට හා ගොඩබිමේ සිට කරන මෙහෙයුමකදී සැඟවී සිට පහරදීමෙන් ඇතිවිය හැකි හානිය වලක්වා ගැනීමේ අරමුනෙනි‍ එම අරමුණ සාක්‍ෂාත් කරගැනීම පිණිස මෙම උපද්‍රව මඟහැර සතුරු ඉලක්ක වනසා එම භූමිය හා සතුරා පිළිබදව බුද්ධි තොරතුරුද එක්රැස් කරගෙන නිරුපද්‍රිතව පැමිණිය හැකි කණ්ඩායමක් ගොඩනැංවීමට ඇමරිකානු ආරක්‍ෂක අංශවලට ඇවසි විය. මේ අනුව මුලින්ම සය දෙනෙකුගෙන් යුක්තවූ කණ්ඩායමක් මෙය සදහා ගොඩනැංවූ අතර එය හැදින්වූවේ Naval Combat Demolition Units යන නාමයෙනි.
    erNCDU.jpg


    මෙම ඒකකයට දැඩි මෙන්ම දුෂ්කර පුහුණුවක් ලැබිය යුතුවූ අතර එය සදහා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලමට්ටමක තිබිය යුතුවිය. එසේම ඔවුන්ට විශාල බරක් ඔසවාගෙන යාමටද සිදුවූ අතර පිහිණීම, වේගයෙන් දිවීමේ හැකියාව, කුඩා පරිමාණයේ බෝට්ටු උපක්‍රමික ලෙස හැසිරවීමේ හැකියාව, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමේ හැකියාව මෙන්ම ජලය තුල කිමිදී සටන් කිරීමේ හැකියාවෙන්ද යුක්තවීමට සිදුවිය. ඒ නිසා මෙම ඒකකය 1943 දී Underwater Demolition Teams (UDT) හෙවත් frogmen ලෙසද හැදින්වීය.

    දෙවන ලෝක යුද්දය නිමාවත් සමග ඇරඹී කොරියන් යුද්දයේදී මෙම උභයජීව ඒකකය හෙවත් UDT කණ්ඩායමට වැඩ රාජකාරී බහුලවිය. ඒ ඇමරිකාවේ ජනරාල් ඩග්ලස් මැක් ආතර්ගේ අණදීම යට‍තේ දකුණු කොරියාව වෙනුවෙන් සටන් කල ඇමරිකානු හමුදාවේ මෙහෙයුම් වලදී පාලම් සහ උමං මාර්ග හා වෙනත් අවහිරතාවයන් වනසා දැමීමේ ප්‍රධානම බලඇනියක් බවට මෙම කණ්ඩායම පත්ව තිබීමයි.

    60 දශකය ශීතල යුද සමය ගිණියම්ව පැවති කාලයයි. සුපිරි බලවතුන් දෙදෙනා මුහුණට මුහුණලා සටනට එළඹුනේ නැතිවූවත් ඔවුන්ගේ පක්‍ෂපාතී රටවල් හරහා සිය යුදබලය මෙන්ම සිය මතවාදයන්ද ලෝකයේ ස්ථාපිත කිරීමට යත්න දැරූ කාලවකවානුවක් බවට මෙම කාලය සදහන් කල හැක. ඒ අනුව උතුරු වියට්නාමයට සෝවියට් දේශයේ ආශිර්වාදය හා අනුග්‍රහයත්, දකුණු වියට්නාමයට ඇමරිකාවේ පූර්ණ අනුග්‍රහය හා ආශිර්වාදය මෙන්ම හමුදා සහය ඍජුවම ලැබුන වසර ගණනාවක් ඇදී යන විනාශකාරී යුද්දය මේ කාලයේ සිදුවෙමින් පැවතින. මෙහිදී උතුරු වියට්නාමයේ වියට්කොන්වරුන්ට ප්‍රහාර එල්ල කිරීමට ඒ වන විට ගරිල්ලා මෙහෙයුම් සිදුකරමින් සිටි තවත් U.S. Special Operations Force එකක්වන Green Beret ඒකකයට අමතරව තවත් විශේෂිත වූ ඒකකයක අවශ්‍යතාව හිටපු නාවික ලුතිනන්වරයෙකුද වන එවකට ඇමරිකානු ජනපති John F. Kennedy විසින් වටහා ගත් අතර එම අවශ්‍යාතාවය සැපිරීම සදහා ඒ වන විටත් පැවති Underwater Demolition Teams (UDT) ඒකකයට තවදුරටත් පුහුණුව ලබා දී එය ගොඩබිම් හා මුහුදු ඒකකයක් පමණක් නොව ගුවනේදීද සිය ක්‍රියාන්විත දියත් කල හැකි අංශයක් බවට පත් කර එය the Navy SEALs (an acronym for Sea, Air, and Land) බවට නම් කලේය.
    8-18-2011+11-27-28+AM.jpg


    වියට්නාම් යුද්දය තුල ඉහල සාර්ථකත්වයක් ලැබූ ඒකකයක් බව කියන මෙම නාවික සීල් ඒකකය කලින් තිබූ UDT ඒකකය සිදුකල වෙරලාශ්‍රිත හා ගොඩබිම් යුද්දවලට අමතරව වියට්නාමයේ කැලෑ හා ගංඟාවලදීද සිය මෙහෙයුම් දියත් කොට වියට්කොන්වරුන්ගේ සැපයුම් මාර්ග විනාශ කිරීම, සතුරාගේ ආරක්‍ෂක වලල්ලට පිටුපසින් ගොස් සතුරු කදවුරු වලට පහර එල්ල කිරීම, සතුරන්ගේ සංනිවේදනය අඩාල කිරීම, අවි ගබඩා විනාශ කිරීම යනාදී සාර්ථක මෙහෙයුම් ගණනාවකට මුල්වූ බව මෙම ඒකකය ගැන සෙවීමෙදී දැනගන්නට ලැබේ.

    කෙසේවෙතත් 1975 දී ජයග්‍රහණයද නොමැතිව සියළු දේ හකුලා ගෙන සිය රටට යාමට සිදුවූ ඇමරිකානු හමුදාවට සිය හමුදාවේ බොහෝ අංශ කප්පාදුවට ලක්කිරීමට සිදුවිය. ඒ ඉරණම නාවික සීල් ඒකකට බලපා ඇති අතර එම ඒකකයද යම් තාක් දුරකට කප්පාදුවකට ලක්වූ බව කියයි.

    Navy SEAL භටයෙකුවීමේ අවශ්‍යතා
    ඇමරිකානු නාවික සීල් භටයෙකු බවට කිසිවකු බලයෙන් බදවා ගැනීමක් සිදුනොවන අතර එහි භ‍ටයෙකු හෝ නිලධාරී තනතුරක් සදහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත්විය යුතුවේ. එයටද අවශ්‍යතා රැසක් සපුරාලිය යුතුවේ. එනම්:

    • ඇමරිකානු නාවික හමුදාවේ සක්‍රීය රාජකාරීවල යෙදෙන අයෙකු විය යුතුයි.
    • පිරිමි නාවික භ‍ටයන් පමණක් මෙම ඒකකට බදවා ගන්නා අතර කාන්තා නාවික භටයන්ට මෙම අවස්ථාව හමුනොවේ.
    • වයස අවුරුදු 28 හෝ ඊට අඩුවිය යුතුයි.
    • අක්‍ෂිවල දැකීම හොදවිය යුතු අතර එය එක් ඇසක අඩුම තරමින් 20/40 සහ අනෙක් ඇසේ 20/70 විය යුතු අතර දෘෂ්ඨිය යහපත් කර ගැනීම සදහා වූ සැත්කමක් කර තිබේ නම් එයද වලංගුලෙස සැලකේ.
    • ඇමරිකාවු පුරවැසියෙක් විය යුතුයි.
    • the Armed Services Vocational Aptitude Battery (ASVAB) පරීක්‍ෂනය සමත්විය යුතුයි.
    • ශාරීරික යෝග්‍යතාවය උචිත බව පිරික්සීම සදහා පහත දැක්වෙන ක්‍රියාකාරකම් සාර්ථකව නිම කල යුතුයි.


      1. යාර 500 ක් මිනිත්තු 12.5 කදී හෝ ඊට අඩුවෙන් පිහිණිය යුතු අතර ඉන්පසු මිනිත්තු 10 ක විවේකයක් ලැබේ.
      2. push-ups 42 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක ‍විවේකයක් ලැබේ.
      3. sit-ups 50 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක ‍විවේකයක් ලැබේ.
      4. pull-ups 6 ක් සිදුකල යුතු අතර මිනිත්තු දහයක ‍විවේකයක් ලැබේ.
      5. දිගු කලිසම් සමග බූට්ස් පැලද සැතපුම් 1.5 ක් දුරක් දිවිය යුතු අතර එය මිනිත්තු 11.5 කදී සම්පූර්ණ කල යුතුය.
    මෙම අවශ්‍යතා සපුරන නාවික භටයන්ට සීල් භටයෙකු වීමේ පුහුණුව ලැබීමේ අවස්ථාව ලැබේ.


    පුහුණුව
    මෙසේ දුෂ්කර මෙහෙයුම් වල නිරතවන සීල් භටයෙකු වීමද එයට උවමනා අවශ්‍යතා සපුරා තිබුනද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සීල් භටයෙකු ලෙස මාස 30 ක් පුහුණුව ලබන නාවික භටයන්ගෙන් අවසානයේ සීල් භටයෙකු වීමට වරම් ලබන්නේ 25% ක ප්‍රමාණයකට පමණක් බව පවසයි.


    එහිදී ඔවුන්ට කිමිදීම, පිහිණීම, දියුණු අවි ආයුද භාවිතය, පැරචුට් භාවිතා කර ගුවනේ සිට පොළවට පතිත වීම,නාවික යාත්‍රා පැදවීම ඇතුළු තවත් ක්‍රියාකාරකම් රැසක් පුහුණුවීමට ලැබෙන අතර එහිදී සිය ශාරීරික මෙන්ම මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීම වැදගත්බව පවසයි. එසේම ජලයේ කිමිදී කරනු ලබන සටන් නැතහොත් BUD/S (Basic Underwater Demolition/SEAL) පුහුණුවේදී ආතතිය දරා ගැනීමට හැකිවීම අත්‍යාවශයෙන්ම ප්‍රගුණ කල යුතුවේ.




    71584903236805310.gif

    මෙම Basic Underwater Demolition/SEAL පුහුණුව සිදුකරනු ලබන්නේ කැලිෆෝනියාවේ කෝනාර්ඩෝ හි the Naval Amphibious Base නාවික කදවුරේ වන අතර එය අධියර කිහිපයකින් යුතුවේ.

    එනම් :‍
    • Indoctrination
    • Basic Conditioning
    • SCUBA training
    • Land-warfare training
    දුෂ්කර පුහුණු සමයක් වන මෙය මාස හතක් පුරා සිදුවන්නකි. මෙහිදී මුල්ම පුහුණු අධියර වන Indoctrination සති පහක පුහුණුවක් වන අතර එහිදී Navy SEALS වරුන්ගේ අභිප්‍රායන් යනාදිය පිළිබදවද අවධානය යොමුකරන ලබයි. එසේම මානසික හා කායික යෝග්‍යතාවය නොසැලී පවත්වාගන්නා අයුරුද මෙහිදී ප්‍රගුණ කරනු ලබන තවත් සාධකයකි.

    seals_25.jpg



    මෙම Indoctrination පුහුණුවෙන් පසු සති අටක් Basic Conditioning පුහුණුව ලබා දීම සිදුකරයි. මෙහිදී දෛනිකව සැතපුමක් හෝ දෙකක මුහුදේ පිහිණිම දිවීම හා තවත් ක්‍රියාකාරකම් රැසක් සිදුකරනු ලබන BUD/S obstacle course කොටස සිදුකල යුතුවේ.

    seals_21.jpg

    seals_09.jpg

    navy-seal-10.jpg




    Basic Conditioning පුහුණුව තුලදී ජලය තුල සිදුකරන ප්‍රධාන තම පුහුණුවක් වන්නේ drown-proofing නම් අත් පා බැද ජලයේ කිමිදෙමින් සිදුකරන පුහුණුවයි. මෙහිදී මිනිත්තු ගණනාවක් විවිද ක්‍රියාකාරකම් අත්පා බැද සිටියදී ජලය තුල සිදුකිරීමට පුහුණුව ලබන්නාට සිදුකිරීමට සිදුවේ.


    seals_20.jpg

    seals_08.jpg

    මෙම අධියරේ තවත් අසීරු පුහුණුවක් වන්නේ surf torture නැතහොත් "cold water conditioning" ලෙස හදුන්වන පුහුණු සැසියයි. මෙහිදී ජලයේ උශ්නත්වය සෙල්සියස් අංශක 18 සහ 20 නොයික්මන උශ්නත්වයකදී ශාරිරික අභ්‍යාස හෝ සැතපුම් එකහමාරක් පමණ තෙතබරිත වූ ඇදුම් හා බූට්ස් සමග ධාවනයේ යෙදිය යුතුවේ. ඉන්පසු ඔවුන් නැවතත් ජලය මතට පැමිණිය යුතුය.

    seals_17.jpg



    seals_18.jpg
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,635
    6,816
    113
    Basic Conditioning පුහුණුවේ සිව්වන සතිය Hell Week ලෙස හැදින්වේ. මෙම සතියේදී පුහුණුවන සීල් භටයා දහවල් පහක් හා රාත්‍රී පහක් පුහුණු සැසියකට සහභාගීවේ. මෙම සමස්ථ කාලසීමාව තුලදී ඔහුට නිදාගැනීමට ලැබෙන්නේ පැය හතරක් පමණ බවද කියයි. මෙම පුහුණුව ආරම්භවන්නේ තෙවන සතියේ ඉරු දින හිරු බැස ගිය පසු වන අතර අවසන් වන්නේ සිව්වන සතියේ සිකුරුදා දිනයේදීය. මෙම කාලයේදී නොනවත්වා පුහුණුවීම් වල යෙදෙන පුහුණුවන සීල් භටයන්ට දිනකට ආහාර වේල් හතරක් ලැබේ. මෙහිදී ඔවුන්ට බොහෝවිට MRE (meal ready to eat, a US military precooked ration pack) නැතහොත් කලින් සකස් කල ආහාරද ලැබෙන අතර ඒ සෑමවිටම උණුසුම් ආහාර සීමාවකින් තොරව ලබාදෙනු ලබයි‍. පුහුණු කාලයේදී නිරතුරුවම ශීතලට නිරාවරණය වන නිසා එසේ උණුසුම් ආහාර‍ වේලක් ලබාදීම තුලින් නැවතත් උණුසුම් බවක් සිරුරට ලබා ගැනීමට ඔවුන්ට හැකිවන අතර එය ඔවුන්ට මානසිකව උද්දීපනයක් ලබා ගැනීමටද හේතුවක් වේ. කෙසේවෙතත් මෙම පුහුණු කාලය කෙතරම් වෙහෙසකරද කියතොත් ඔවුන් වැඩි දෙනෙක් ආහාර ගන්නා වේලාවේදිත් නිදිකිරා වැටෙමින් සිටින බවද පැවසේ.

    seals_10.jpg
    seals_12.jpg
    seals_13.jpg


    මෙම Hell Week පුහුණු කාලයේදී ඒ ඒ පුහුණු කණ්ඩායම් වලට නිරතුරවම වාගේ ඔවුන්ගේ පුහුණුවීම් සදහා යොදා ගන්නා හුලං පුරවා භාවිතා කරන Zodiacs නම් රබර් බෝට්ටු හිසමත තබා ගෙන ඔසවා ගෙන යාමටද සිදුවන බව පවසයි. එසේම විවිද ශාරිරික අභ්‍යාස, දිවීම, මඩ සහිත භූමියේ දනගසා ගෙන ගමන් කිරීම ආදිය මෙම දින පහමාර තුල ඔවුන් සම්පූර්ණ කල යුතුය. මෙම Hell Week පුහුණු සමය අතිශයින් දුශ්කර නිසාම මෙම පුහුණුව ලබන බොහෝදෙනෙක් නාවික සීල් භටයෙකු වීමේ සිහිනය ඉවතලා පාඨමාලවෙන් ඉවත් වීමට සිදුවන බවද පැවසේ.


    Basic Conditioning පුහුණුවෙන් අනතුරුව සති අටක් SCUBA (self-contained underwater breathing apparatus) training සිදුකරනු ලබන අතර එය නිරතුරුවම ජලයේ කිමිදෙමින් සිදුකරන පුහුණු වීමකි.

    මෙම SCUBA පුහුණුවෙන් පසු සති නවයක් Land-warfare training සදහා යෙදවේ. මෙහිදී බුද්ධි තොරතුරු එක් රැස්කිරීම සහ ඒවා නිවැරදිව විශ්ලේෂනය කිරීම, දිඟදුර මෙහෙයුම් පිළිබද පුහුණුව හා මුරසංචාරයන් පිළිබද පුහුණුව, සමීප සටන් පිළිබදව අධ්‍යයනය, "edged" weapons නැතහොත් තියුණු අවිආයුද වන පිහි වැනි ආයුද භාවිතා කර සටන් කිරීම, සැඟවී පහර එල්ල කරන ස්නයිපර් ප්‍රහාරයන් වලට ප්‍රතිචාර දැක්වීම, ඕනෑම ගොඩබිම් වාහනයක් ධාවනය කිරීමේ පුහුණුව හා වේගයෙන් වාහන ධාවනය කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම හා වාහන ධානයේදී ප්‍රයෝග යොදාගනිමින් ධාවනයේ ප්‍රාගුණ්‍යද පුහුණු කරනු ලබයි. තවද ආයුධ රහිතව සටන් කරන ආකාරයද මෙම පුහුණු අධියරේ තවත් කොටසක් බව පැවසේ. මීට අමතරව පුපුරණ ද්‍රව්‍ය භාවිතය, සතුරු ආරක්‍ෂක වලලු හරහා ඇතුළුවීමේ පුහුණුව, සතුරාගෙන් ගැලවීමේ උපක්‍රම (recovery (snatch-and-grab) techniques) සහ සීල් භටයෙකු මෙහෙයුමකදී කෙසේහෝ තම පැවැත්ම ආරක්‍ෂාකරගත යුතු නිසා එවැනි අවස්ථාවක සිදුවන තුවාල ආදියට ප්‍රතිකාර කරගැනීමට අවශ්‍ය පුහුණුවද මෙහිදී ලබා දේ (field medicine).

    මෙම පුහුණුවට පසුව ජෝර්ජියාවේ Fort Benning හි Army Airborne School හිදී සති තුනක පැරචුට් පාඨමාලාවකින් අනතුරුව තවත් සති පහලොවක් EAL Qualification Training (SQT) පුහුණුව ලබයි. මෙහිදී සීල් භටයන්ට අදාල විවිද උපක්‍රම හා ක්‍රමවේදයන් තවදුරටත් පුහුණුකරනු ලැබේ. මෙම පුහුණුවෙන් අනතුරුව මෙම නාවික භටයන් Naval Enlisted Code යන කේතය හිමිවන අතර SEAL Trident pin ද පිදුම් ලබයි. දැන් ඔහු නිලවශයෙන් US Navy SEAL භටයෙකි.

    8-19-2011+3-30-45+PM.jpg


    මෙම පුහුණුවෙන් සීල් භට‍යෙකුගේ පුහුණුව අවසන් නොවේ.Hospital corpsmen යන තනතුරු දරන්නන් තවත් සති 30 ක් ඊට අදාල පුහුණුව ලැබිය යුතුය. තවද Special Reconnaissance සහ Direct Action යන මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍ය පුහුණුවද සීල් භට‍යෙකු ලබා ගත යුතුයේ. එයට අදාලව පහත පුහුණුවීම් ඔවුන් ලබන බව පැවසේ.

    • tactical ambushes
    • sniper assaults
    • close-quarters combat
    • underwater demolition
    • combat-swimming attacks
    • close air support
    • naval gunfire support
    • raids
    • hydrographic reconnaissance

    මෙම පුහුණුවට පසුව ඔහුට විවේක ලැබේ යයි ඔබ සිතනවාද? නැත. නව සීල් භටයන් වහාම සිය මෙහෙයුම් ඒකක වෙත වාර්තා කල යුතු අතර ඔහු නැවත මාස 12 සිට 18 දක්වා වූ පුහුණුවක් ලැබිය යුතුය. එහිදී තනි ව‍ශයෙන්, Platoon එකක් ලෙස හා squadron-level ලෙස පුහුණුවීම නැවත නැවත සිදුකරන අතර එමගින් සීල් භටයන්ගේ දක්‍ෂතාව නිරතුරු පවත්වා ගැනීම හා වැඩිදියුණු කර ගැනීම බලාපොරොත්තුවී ඇත.

    කණ්ඩායම් හැගීම ප්‍රගුණ කිරිම සමස්ථ පුහුණුවීම් තුල අනිවාර්ය‍යෙන්ම සිදු‍කරන අතර සීල් භටයෙකු කිසිවිටක සිය සඟයා මෙහෙයුම් තුලදී දමා නොපැමිණීම අනිවාර්යයෙන්ම සිදුකරන දෙයකි. මෙවැනි දේ සම්පූර්ණ කරන නාවික සීල භටයෙකුට අවසානයේ සිය ඒකකයේ යුද ‍ඝෝශාව වන Hooyah! යන්න ආඩම්රයෙන් කෑගසා කීමට හැකිය යන්න නොසඟවා කිවහැකිය.


    Navy SEAL හි ව්‍යුවහය
    මෙම විශේෂ හමුදා කණ්ඩයේ මෙහෙයුම් සිදුකරන්නේ ඉතා කුඩා ඒකක වශයෙනි. බොහෝවිට එය සීල් භටයන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් සම්බන්ධවන මෙහෙයුම් වේ. එහෙත් සමහර අවස්ථාවල මෙහි එක් platoon ක් භටයන් 16 කින් පවා සමන්විත වන අවස්ථා තිබේ. මෙම භටයන් පුහුණුකර තිබෙන්නේ විශේෂිත වූ කාර්යයක් ඕනෑම පරිසරයක, ඕනෑම තත්වයක ඉෂ්ඨ කර ගැනීම පිණිස වන අතර එය කාන්තාරයක, කැලෑවක වීමට හෝ උෂ්න මෙන්ම ශීත කාලගුණික තත්වය යටතේ මෙන්ම අධික නාගරික පෙදෙසක වුවත් විය හැකිය.

    SEAL භටයන් සම්බන්ධවන මෙහෙයුමකදී ඔවුන් පළමුව පුළුල්ව මෙන්ම සවිස්තරාත්මකව සැලැස්මක් ගොඩනගන අතර එය ක්‍රියාත්මක කිරීමටද මැනවින් සංවිධානය වන බව පැවසේ. එසේම ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රධාන වශයෙන් ප්‍රභේද පහකට බෙදා වෙන්කර ඇත. එනම්:


    1. Unconventional Warfare (UW) - මෙහිදී ගරිල්ලා යුද උපක්‍රම ‍භාවිතා කරනු ලබයි. මෙහිදී කුඩා ජංගම ඒකක යොද ගනිමින් "unorthodox" නැතහොත් සාම්ප්‍රධායික නොවන යුද ක්‍රමයන් යොදා ගනිමින් සතුරු සැපයුම් විනාශ කිරීම, කුඩා සතුරු කණ්ඩායම් වෙත සැඟවී සිට පහර දීම සහ "hit and run" නැතහොත් පහර දී පලායාම වැනි මෙහෙයුම් වල නිරතවේ.
    2. Foreign Internal Defense (FID) - විදේශීය සතුරු යුද භූමි තුලදී maritime infiltration techniques නැතහොත් සමුද්‍රාසන්න කඩා වැදීමේ උපක්‍රම යනාදිය යොදාගෙන එම ප්‍රදේශවල සිටින සිය හිතවාදීන් සමග සබදතා ගොඩනගා ගැනීමද මෙම විශේෂ සංග්‍රාමික ඒකකට පැවරී ඇති තවත් රාජකාරියකි.
    3. Direct Action (DA) - සතුරු ඉලක්ක වලට පහර දීම මෙහිදී සිදුකරන අතර එය ගොඩබිමේ හෝ ජලාශ්‍රිතව තිබෙන ඉලක්කයකට විය හැකිය. එසේම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම හා සැගවී සිට පහර දීම්ද මෙයට ඇතුලත්ය.
    4. Counterterrorism (CT) - මෙහිදී ත්‍රස්තවාදී ප්‍රහාරකයන් සදහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සිවිල් වැසියන් හා සහෝදර හමුදාමය ඒකක ආරක්‍ෂා කිරීමත් ඇතුලත්ය.
    5. Special Reconnaissance (SR) - බුද්ධි තොරතුරු එක්රැස් කිරීම තවත් එක් ප්‍රධාන කර්තව්‍යයකි. එහිදී සතුරු මර්මස්ථාන, සතුරු කදවුරු ආදිය මෙන්ම අනෙකුත් වැදගත් සියළු දේ පිළිබද තොරතුරු එක්රැස් කිරීම සිදුකරන අතර ඒවා විවෘත කරුණු මෙන්ම රහස්‍ය කරුණුද විය හැකිය.
    මෙම ඒකකයේ සුවිශේෂ කරුණක් වන්නේ කිසිවිටක ප්‍රතිවාදින් සිරභාරයට ගැනීම වැනි මෙහෙයුම්වල නිරත නොවේ. මේ වන විට සක්‍රීය සීල් භටයන් ලෙස සේවයේ නිරතව ඇත්තේ 2,290 පමණ සංඛ්‍යාවක් බවද දල වශයෙන් කියවේ.

    Navy SEAL භාවිතා කරන වාහන සහ අවි ආයුද
    ඔවුන්ගේ මෙහෙයුම් වලදී මුහුදු මාර්ගිකව සිදුකිරීමේදී ජලය මතුපිට යාත්‍රාකරන යාත්‍රා ලෙස MK V Special Operations Craft (SOC), NSW Rigid-hull Inflatable Boat (RHIB),Special Operations Craft-Riverine (SOC-R), Combat Rubber Raiding Craft (CRRC) යනාදිය භාවිතා කරයි.

    Stallone+in+1983.jpg

    MK V Special Operations Craft (SOC)

    එසේම ජලයේ කිමිදී කරනා මෙහෙයුම් සදහා Open-circuit System, Closed-circuit Oxygen Systems සහ Closed-circuit Mixed Gas System පද්දති භාවිතා වේ.

    oceanic_data_mask_soldier_navy_scuba_gear-240x300.jpg

    Closed-circuit Mixed Gas System




    අවි ආයුද ලෙස සැහැල්ලු ගිනි අවි, මැෂින් තුවක්කු මෙන්ම ස්නයිපර් අවි හා ග්‍රෙනෙඩ් විදිනයන් හා යුද ටැංකි නාශක අවිද භාවිතා කරනු ලබයි.

    8-19-2011+3-48-54+PM.jpg


    මෙම Navy SEAL ඒකකය වියට්නාමයේ හා තවත් බොහෝ රටවල ඇමරිකාව මැදිහත් වූ මෙහෙයුම් සදහා සහභාගී විය. සෝමාලියාවේ සාම සාධක මෙහෙයුම් සදහාද ඔවුන් ඇතැම් අවස්ථාවල සහභාගී වී ඇති අතර මෑත කාලයේ සිදුවී ගල්‍ෆ් යුද්දයන් වලදීද ඔවුන්ගේ දායකත්වය බෙහෙවින් සිදුවී ඇත.

    mission.jpg


    දැන් එසේ නම් මෙම ලිපිය අවසන් කරන අතර ඇමරිකානු නාවික සීල් භටයන් පිළිබදව ඔබ නොදන්නා බොහෝ කරුණු මෙයින් දැන ගන්නට ඇතැයි සිතනමි.

    උපුටා ගැනීමකි.......
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    අඩෝ මරු ත්‍රෙඩ් එක. මුන් ඉතින් මාරයො වගේ තමයි ආයෙ. කියවනවට වඩා කොච්චර අමාරු ඇද්ද ඇත්ත ට්‍රේනිං එක..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,017
    1
    28,406
    113
    Good post. තව පොඩි දෙයක් එකතු කරන්න කැමතියි. Navy Seals Teams (units) වලින් ඉහළම එක තමයි SEAL Team Six (DEVGRU) කියන්නේ. Best of the best among the seals and it is the only SEALS Unit representing the Navy in Tier 1 US Armed forces. They are deployed for high risk, clandestine operations (black ops). Hunting down Bin Laden, captain Phillips rescue were some of the famous declassified operations conducted by SEAL Team Six.

    Their Tier 1 army counterpart is the First Special Forces Operations Detachment aka Delta Force. When USA engaged in operations in Afghanistan and Iraq, SEAL Team Six was leading the black ops in Afghanistan like hunting down top Taliban and Al Queda commanders while the Delta Force was spearheading the Black Ops in Iraq like capturing Sadaam and hunting down Iraqi Al Queda leader Al Sarqavi.