අපි අහපු වෑර්ලස් (පළමුවැනි කොටස) – Vintage Radio Sets (Part One)

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    අපි අහපු වෑර්ලස් (පළමුවැනි කොටස) – Vintage Radio Sets (Part One)

    අපි අහපු වෑර්ලස් (පළමුවැනි කොටස) – Vintage Radio Sets (Part One)

    images-2.jpeg


    ‘වෑර්ලස්’ කියන වචනය අපි කුඩා කාලයේ සමාජය තුළ නිතර භාවිත වුන වචනයක්.
    ඒ කාලේ වෑර්ලස් හෙවත් ගුවන්විදුලි යන්ත්‍ර ඉතා සීමිත සංඛ්‍යාවක් තමයි භාවිතයේ තිබුනේ.
    පැරණි ගමක නම්, ගමේ ආරච්චි මහතා, වෙල් විදානේ, ඉස්කෝලේ ලොකු මහත්තයා, ගමේ කඩේ මුදලාලි, වැනි අයගේ නිවෙස්වල තමයි ගුවන්විදුලි යන්ත්‍ර තිබුනේ.
    මගේ පියාත් ඉස්කෝලේ ලොකු මහත්තයෙක් නිසා මා කුඩා කාලයේ සිටම අපේ ගෙදරත් වෑර්ලස් එකක් තිබුනා.
    සමහරු ‘වෑර්ලස් සැට් එක’ කියලත් කිව්වා. වෑර්ලස් කෑල්ල නැතුව නිකම්ම ‘සැට් එක’ කිව්ව අයත් හිටියා.
    හැබෑට මොකද ගුවන්විදුලි යන්ත්‍රයට වෑර්ලස් කිව්වේ? ඒ කතාව දැනගන්න ටිකක් අතීතයට යා යුතුයි.
    ඒ අතීතය ඉතා රසවත්. සමහර තොරතුරු ඔබට හාස්‍යජනක වෙතැයි සිතනවා.
    ඉතින් මේ ලිපියෙන් මා ඔබ සමග කතාකරන්නේ පැරණි ගුවන්විදුලි යන්ත්‍ර සහ හඬ පටිගත කරන
    සහ වාදනය කරන යන්ත්‍ර පිළිබඳවයි.
    වෑර්ලස් කියන්න වචනය ඉංග්‍රීසි භාෂාවේ Wireless වය(ර්)ලස් කියන වචනය සිංහල අපේ කණට ඇසුන ආකාරය අනුව සකසාගත්තක්.
    ඔබ දන්නවාද අපේ රට යටත් විජිතයක්ව පැවතී අවදියේදී සුද්දන්ගේ වචන අපේ කනට ඇසෙන ආකාරය අනුව සකසාගත් වචන රාශියක් භාවිත වුනා.
    උදාහරණ වශයෙන්, Criminal යන වචනයට අපේ අය කිව්වේ ‘කිරිමේල්’ කියලයි. Government යන වචනය ‘ගෝරමේන්තුව’ කියලා භාවිත කළා.
    වයර්ලස් යන්ත්‍රය සොයාගන්නට කලින් තිබුනේ වයර් හෙවත් කම්බි මගින් සම්බන්ධ කර පණිවිඩ යවන දුරකථනය පමණයි.
    ඒ හැර මහජනතාවට යම් රසාස්වාදයක් ලබාගැනීම සඳහා තිබුනේ ග්‍රැමෆෝනය වැනි උපකරණ පමණයි.


    51Ftaxwt%2BkL.jpg


    ග්‍රැමෆෝනයට අපේ ගැමියා කිව්වේ ‘ගිරැංපෝං’ එක කියලයි. ග්‍රැමෆෝන් තිබුන කාලේ ගුවන්විදුලි යන්ත්‍ර තරම්වත් ඒවා සමාජයේ ප්‍රචලිතව තිබුනේ නැහැ.
    ‘ගිරැංපෝං’ එක ගැන මම මෙතැනදී දීර්ඝ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව කියනවානම් මෙහෙමයි.
    වයින් කරන දුන්නකින් බලය ලබාගෙන කරකැවෙන වෘත්තාකාර තට්ටුවක් මත, වයිනයිල් නමැති ද්‍රව්‍යයෙන් සකසන ලද තැටියක් රඳවනවා. එම තැටියේ, කලින් සකසන ලද,
    සියුම් සර්පිලාකාර කානුවක් තිබෙනවා. ඒ කාණුව දිගේ ඇදීයන ලෙස, ලෝහ ඉදිකටුවක් තබා තිබෙනවා. (අවශ්‍ය වෙලාවට තැබීමට සහ ඉවත් කිරීමට හැකියි)
    ඒ කාණුව, තැටි සකසන යන්ත්‍රය වෙත ලැබෙන, කිසියම් ශබ්ද මාලාවකින් ඇතිවන, කම්පන රටා අනුව, උස්පහත්වී සැකසුන කාණුවක්.
    එම කාණුව ඔස්සේ, අර ඉදිකටුව ඇදී යද්දී, කාණුවේ ගැටිති වල ස්වභාවය අනුව, අර ඉදිකටුව ඉහළ පහළ කම්පනය වෙනවා.
    ඒ කම්පනයෙන් උපදින හඬ, ලෝහ නලයක් මගින්, විශාල ලෝහ කේතුවකට යොමු කරනවා. එවිට, අර ශබ්ද වර්ධනයවී ඇසෙනවා.
    ඒ තමයි ග්‍රැමෆෝනයේ ඉතා සරල යාන්ත්‍රික විස්තරය.


    u2ulyt.jpg


    හොඳයි ඉතින් කෝ වයර්ලස් කතාව? ඒ කතාවට යන්න කලින් තව එක කාරණයක් තියනවා. මම කිව්වනේ වයර්ලස් (වයර් රහිත) වුනේ වයර් සහිත තත්වයෙන් තිබුණ පණිවිඩ යැවීම නව වෙනසකට භාජනයවීම නිසා කියලා. ඉතින් මිනිස්සු වයර් දිගේ එන සංගීතය, ප්‍රවෘත්ති එහෙමත් ඇහුවද? අපොයි ඔව්. ඉස්සර අපේ රටෙත් තිබුනා. හැබැයි කොළඹ විතරයි. ඒ මෙන්න මෙහෙමයි. වයර් සහිත දුරකථන මාර්ග සකසන ආකාරයටම කණු සිටුවා කම්බි යොදවා නිවෙස්වලට හෝ ඉල්ලාසිටින වෙනත් ස්ථිර ගොඩනැගිලි වෙත මේ සේවය ලබාදුන්නා. මාසික ගාස්තුවක් ගෙවිය යුතුයි. එහිදී සිදුවන්නේ ස්පීකරයක් සහිත පෙට්ටියක් වැනි උපකරණයක් සවිකිරීමයි. පෙට්ටියේ තියනවා හඬ අඩුවැඩි කරගැනීමට පාලකයක් සහ අපි බිත්ති විදුලිපංකාවක වේගය අඩුවැඩි කරන ආකාරයට කරකවියහැකි තවත් පාලකයක්. එයින් කෙරෙන්නේ නාලිකා තේරීමයි. ප්‍රධාන මධ්‍යස්ථානයේ සිට තැටි/පටි මගින් වාදනය කරන සංගීතය කම්බිදෙක දිගේ නිවසට එනවා. (නාලිකා කිව්වට දැන් වගේ නෙවෙයි. සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා තුන පමණයි) ලංකාවේ මේ ක්‍රමය පවත්වාගෙන ගියේ ‘රෙඩිෆියුෂන් Rediffusion’ නමැති පෞද්ගලික සමාගමක් විසින්. 1970 දශකයේත් මේ සේවය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තිබුනා. ඒ කියන්නේ, ලංකා ගුවන්විදුලි සේවය ආරම්භ කලාට පස්සෙත් රෙඩිෆියුෂන් අහපු අය හිටියා. ඒකට එක හේතුවක් වුනේ, ගුවන්විදුලියේ ප්‍රචාරය නොවෙන ‘නැගලා යන සින්දු’ රෙඩිෆියුෂන් එකේ අහන්න ලැබුන නිසයි.

    Guglielmo%20Marconi.jpg


    ගුවන්විදුලි යන්ත්‍රය සොයාගැනීම නිසා ලෝක ඉතිහාසයේ මහත් විප්ලවයක් වුනා. මුළු ලෝකයම ගුවන්විදුලි තරංග වලින් එකට සම්බන්ධවුනා. එක රටක සිදුවන දෙයක් සජීවීව හෝ ඉතා සුළු වෙලාවක් තුළ ලෝකයටම දැනගන්න පුළුවන් වුනා. මගේ ජීවිතකාලය තුළ, මෙතෙක් මා අසා ඇති, වැදගත්ම සජීවී ගුවන්විදුලි ප්‍රචාරය ලෙස මා සලකන්නේ, මිනිසා හඳට ගොඩබට මොහොත අසන්නට ලැබීමයි. එවකට පාසල් සිසුවකු වූ මා, සහ අපේ පවුලේ සියළු දෙනා, මේ විශ්මයජනක ප්‍රචාරය අසා සිටියේ ප්‍රාතිහාර්යයක් අත්විඳිනවා හා සමානවයි. ඇමරිකාවේ සිට කරන සජීවී විකාශය ඒ මොහොතේම සිංහලට පරිවර්තනය කර විකාශනය කෙරුණා. අදනම් අපේ ජංගම දුරකතනයෙත් ගුවන්විදුලි පහසුකම තිබෙනවා. පහසුකම වැඩි නිසාදෝ අද ගුවන්විදුලිය මහජන අප්‍රසාදයට ලක්වන අවස්ථා බහුලයි. ගුවන්විදුලි යන්ත්‍රය සොයාගැනීමේ ගෞරවය එක් අයකුට හිමි දෙයක් නොවෙයි. ඒ බව විකිපීඩියාවේ.මේ ලිපියෙන් බලන්න පුළුවන්. නමුත් වැඩි ගෞරවය දිනාගත්තේ මාර්කෝනි නමැති විද්‍යාඥයා. නමුත් මේ ලිපියෙන් මම ඒ ගැන කතාකරන්න යන්නේ නැහැ.
    මා පාසල් සිසුවකුව සිටියදී, කාලයක්, විනෝදාංශයක් ලෙස, ගුවන්විදුලි කාර්මික විද්‍යාව සහ රූපවාහිනී කාර්මික විද්‍යාව ඉගෙනගත් අතර, තරුණ වියේදී, මගේ අතින්ම කොටස් සවිකර, විවිධ ආකාරයේ ගුවන්විදුලි යන්ත්‍ර කීපයක් නිපදවා තිබෙනවා. මා මුලින්ම ගුවන්විදුලි කාර්මික විද්‍යාව ඉගෙන ගනිද්දී, ලෝකයේම බහුලව තිබුනේ රික්ත නළ Vacuum Tube හෙවත් එදිනෙදා ව්‍යවහාරයේදී වැල්ව් (මේ වචනයත් සමහරු කියන්නේ ‘වෑල්’ කියලයි. සමහරු වයර් වලට ‘වෑර්’ කියනවා වගේ) යනුවෙන් හැඳින්වෙන ක්‍රියාකාරිත්වය සහිත, ගුවන්විදුලි යන්ත්‍ර. මෙහිදී ඩයෝඩ්, ට්‍රයෝඩ්, ටෙට්‍රෝඩ්, පෙන්ටෝඩ්, ආදී වශයෙන් ක්‍රියාකාරී මූල දෙකක්, තුනක්, හතරක්, පහක්, ඇති වෑල්ව් ගැන ඉගෙනීම අති සංකීර්ණ බව මතකයි. මා අටවැනි පන්තියේ සිසුවකුව සිටියදී, තනිවම සෑදු ගුවන්විදුලි යන්ත්‍රයේ පරිපථ සටහන, ඔබට පෙන්නුවොත් ඔබට ඇතිවන්නේ හාස්‍යයක් බව හොඳටම විශ්වාසයි. පළමුව බලන්නකෝ ඒ පරිපථය.


    2f0030611184e6043ac03147b64190f0.gif


    කොහොමද ඔබට ඇතිවෙන සිනාව? හැබැයි මතකතබාගන්න මේ ගුවන්විදුලි යන්ත්‍රයෙන් විදේශීය ප්‍රචාර පවා අහන්න පුළුවන්. හැබැයි එක්කෙනෙකුට පමණයි. මොකද මෙහි තිබෙන්නේ ඉයර්ෆෝනයක්. විදුලිබලය හෝ බැටරි බලය අවශ්‍ය නැහැ. මේ පරිපථය වෙත ලැබෙන ගුවන්විදුලි තරංග වල බලයෙන්ම තමයි ක්‍රියාකරන්නේ. මෙහි හඬ අඩුවැඩි කරන පාලකයක් නැහැ. එවැන්නක් අවශ්‍ය නැති නිසා. මෙහි තිබෙන්නේ අඟල් දෙකක පමණ විෂ්කම්බයෙන් යුත් අඟල් හතරක් පමණ දිග කාඩ්බෝඩ් නලයක්. එහි තඹ කම්බියක් පොටවල් 40ක් ලෙස ඔතා තිබෙනවා. ඒ එතුමේ පොටවල් පහකට එකක් පමණ වන පරිදි සම්බන්ධක සකසා තිබෙනවා. Antenna කියන තැනට කම්බියක් (අඩි 10ක් පමණ උසට) යොදවන අතර Ground කියන තැනට තවත් කම්බියක් සවිකර එය ඉතා හොඳින් භූගත Earth කලයුතුයි. ඉන්පසු ඉයර්ෆෝනය කනේ රඳවාගෙන Alligator Clip යනුවෙන් දක්වා ඇති ක්ලිප් එක අර නලයේ ඔතා ඇති කොයිල් එකේ එක් එක් සම්බන්ධක ස්ථාන වලට සවි කරාම විවිධ ගුවන්විදුලි ප්‍රචාර අහන්න පුළුවන්. හැබැයි ඝෝෂාකාරී ශබ්දත් එනවා. නමුත් ලොකු විනෝදයක් ලැබෙනවා. මෙහි තවත් ක්‍රමයක් තිබුනා. මෙහි Diode නමැති ස්ථානයේ තිබෙන්නේ ක්‍රිස්ටල් නමැති ගලක්. අඟල් කාලක පමණ, කිසිදු සම්මත හැඩයක් නැති රිදී/රන් පැහැය මිශ්‍ර ගලක්. (ලෝහ/ඛනිජ) උල් කරන ලද කම්බි කැබැල්ලක් ඒ ගලේ එක එක ස්ථානවලට තැබුවිටත් හඬ පැහැදිලි කරගන්න පුළුවන්. මා දන්නේ නැහැ දැන් පාසල් සිසුන් විනෝදය සඳහා මෙවැනිදේ කරනවාද කියා. (විකාරද? නෙට් එක තියනවනේ. මොකටද ආය කම්බි කෑලි?) මා ඉගෙනගත් පොතේ තිබුනේ මෙන්න මෙහෙමයි.

    img011.jpg


    ඉහත දක්වා තිබෙන්නේ, මා, පාසල් සිසුවකු ලෙස ගුවන්විදුලි කාර්මික ශිල්පය ඉගෙනගත් අවධියේ, පරිහරණය කල පොතකින් පිටුවක්. ඒ පොත අදත් මා සතුව තිබෙනවා. මේ පොත මට කළින් මගේ පියාත්, මගේ අයියාත්, පරිහරණය කර තිබෙනවා. මේ පොත 1950 දශකයේ අග භාගයේදී හෝ 1960 දශකයේ මුල භාගයේදී මුද්‍රණය කරන්නට ඇති බවයි සිතන්නේ. පිට කවරය නැති නිසා හරියටම කියන්නට බැහැ.

    img010.jpg


    මුල්ම කාලයේ නිපදවුණ ගුවන්විදුලි යන්ත්‍ර පෙනුමෙන් නම් එච්චර ලස්සනවුනේ නැහැ. ඒ කාලයේ ගුවන්විදුලි යන්ත්‍ර කීපයක් පහත දක්වනවා.

    EARLY-1920s-MIRACLE-CRYSTAL-RADIO-RECEIVER-made-by.jpg


    6e3ea3ca0f8c0957e02182765881b164--radio-vintage-antique-radio.jpg


    4c608280095786dece86ad407d80c5aa--juke-box-turntable.jpg


    ලස්සනයිද? හැබැයි එකක් මතකතබාගන්න. මේවා අද මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ. මේවා ළඟ තියන කිසි කෙනෙක්, කීයටවත්, ඒවා විකුණන්නේ නැහැ.
    මා ඔබට කිව්වා මුල් යුගයේ මේ ගුවන්විදුලි යන්ත්‍ර රික්ත නළ හෙවත් වෑල්ව් මගින් ක්‍රියා කලේ කියලා.
    නරකද වෑල්ව් ගැනත් සරල දැනුමක් ලබාගත්තොත්? මේ බලන්න මෙන්න මේවට තමයි වෑල්ව් කියන්නේ.


    TUBEASSORT.JPG


    මේවාගේ පිටත ආවරණය නිපදවා තිබෙන්නේ වීදුරු වලින්. (ඒ කාලේ මා අතින් මේවා කීපයන්ම බිඳිලා තියනවා නොසැළකිල්ලෙන් බිම වට්ටවා ගැනීමෙන්)
    ගුවන්විදුලි යන්ත්‍ර පරිපථයක එක් එක් ස්ථානය සහ ස්වභාවය අනුව විවිධ වර්ගවල, විවිධ හැඩයේ, විවිධ ප්‍රමාණයේ, වෑල්ව් නිපදවෙනවා.
    නමුත් ඒ සියල්ල බොහෝදුරට සිලින්ඩරාකාර හැඩයෙන් යුක්ත වන අතර ක්‍රියාකරන්නේ එකම න්‍යායක් අනුවයි.
    ඔබ දැකලා නැතිව ඇති කොහොමද ගුවන්විදුලි යන්ත්‍රයක මේවා සවිකර තිබෙන්නේ කියා. මෙන්න බලන්න.


    nordmendeturnadotinside.jpg


    අපි අහපු වෑර්ලස් (දෙවැනි කොටස)

    උපුටා ගැනීම jangun.wordpress.com
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මචං... අර කැපිටල් රේඩියෝ පොත ස්කෑන් කරපන්. සෑහෙන්න වටිනවා. ඉස්සර මට ඕක ගන්න බැරි උනා බං...