අපි නොදන්න චීනය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න චීනය

    wkgvQZM.jpg

    ආසියාව න්‍යෂ්ඨික අවි වලින් සන්නද්ධ රාජ්‍ය හතරකින් සමන්විතය.ඒ ඊශ්‍රායලය,චීනය,ඉන්දියාව සහ පාකිස්ථානයයි.ඉන්දියාව සහ පාකිස්ථානය පසමිතුරන්ය.ආසියාව මහද්වීපයේ දී ඉන්දියාවට ඇති ප්‍රබලම අභියෝගය චීනයයි.යුද ශක්තිය අතින් මෙන්ම ආර්ථිකමය වශයෙන්ද චීනය ඉන්දියාව අභිබවා සිටියි.චීනයේ යුද ශක්තිය සහ අනෙකුත් කැපීපෙනෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ලියවෙන ලිපි පෙළක පළමුවැන්න මෙලෙස දිගහැරේ.පළමු ලිපියෙන් කතා කරන්නට සූදානම් වන්නේ ඊයේ දින(ජූනි 28 )චීනය විසින් දියත් කල දෙවන ලෝක යුද සමයෙන් පසුව ආසියාවේ නිපදවූ විශාලතම යුද නෞකාව සම්බන්ධවයි.


    ජූනි මස 28 වෙනිදා චීනය විසින් ටයිප් 055 නම් ඩිස්ට්‍රෝයර් වර්ගයේ පළමු යුද නෞකාව ෂැන්හයි නගරයේ චැන්ග්ෂින්ග් ජැන්ග්යන් නෞකා තටාකාංගනයෙන් දියත් කරන්නට යෙදිණි.නේටෝ සංවිධානය මෙම නෞකා පන්තිය "රෙන්හයි" යන නමින් හඳුන්වයි.මෙය බහුකාර්යය නියාමක මිසයිල වලින් සන්නද්ධ ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකාවකි.මීටර් 180 දිග මීටර් 20ක් පළල ටයිප් 055 නෞකාව සම්පුර්ණයෙන්ම සන්නද්ධ විට ටොන් 12,000-14,000 අතර ජල කඳක් විස්ථාපනය කරයි.විශාලත්වය අතින් මෙම චීන යුද නෞකාව 1937-38 සමයේ නිපදවූ ජපානයේ දැවැන්ත කෲසර් වර්ගයේ නෞකාවලට සමාන බව කියවේ.දැනට ටයිප් 055 වර්ගයේ යුද නෞකා 5 ක් චීන නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරමින් තිබේ.ඉදිකිරීම් කටයුතු චැන්ග්ෂින්ග් ජැන්ග්නන් සහ ඩාලියන් යන නෞකාතටාකාංගනවල සිදුකෙරේ.ටයිප් 055 ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකා සතුව ස්ටෙල්ත් ලක්ෂණ අන්තර්ගතය.ඒවා නම් ආවෘත නෞකා තට්ටුව,සංඝටනය කල කුඹ ගස සහ නෞකාවේ රේඩාර් සහ අධෝරක්ත මුද්‍රා සතුරන්ට පත්වීමේ හැකියාව අවම කිරීම අවශ්‍ය ස්ටෙල්ත් හැඩය ගත් ව්‍යුහය ආදියයි.

    22ZkWIt.jpg
    Type 055 DDG නෞකාව දියත් කිරීම​

    ටයිප් 055 යුද නෞකාව එක්සත් ජනපදයේ Arleigh Burke පන්තියේ නියාමක මිසයිල ඩිස්ට්‍රෝයර්ස් සහ ජපානයේ Atago පන්තියේ නියාමක මිසයිල ඩිස්ට්‍රෝයර්ස් මෙන්ම දැනට සේවයේ යොදවා තිබෙන ඕනෑම නියාමක මිසයිල ඩිස්ට්‍රෝයර්ස් වර්ගයේ යුද නෞකා සියල්ලට වඩා හැකියාව අතින් ඉදිරියෙන් සිටියි.ටයිප් 055 නෞකාවේ සැබෑ ප්‍රමාණයේ ආකෘතියක් ප්‍රථමවරට ප්‍රදර්ශනය කලේ 2014 වර්ෂයේදීය.එහි ඡායාරූප 2014 මාර්තු මාසයේදී නිකුත් කර තිබිණි. වුහාන් විද්‍යා සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයේදී නෞකාවේ ප්‍රමාණය සහ විස්ථාපනය කරන ජල ප්‍රමාණය සම්බන්ධව තොරතුරු අනාවරණය කෙරිණි.2016 නොවැම්බර් මාසයේදී නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළිවූයේ එක් නෞකාවක නෞකා කඳේ ඉදිකිරීම් සිදුවන බවත් දෙවන නෞකාවක ඉදිකිරීම්වල මුල් අධියරයන් ආරම්භ කර ඇතිබවත්ය.මෙම ඉදිකිරීම් ෂැන්හයි හි ජැන්ග්නන් නෞකා තටාකාංගනයේ සිදුකෙරෙමින් තිබිණි.පළමු නෞකාවේ ඉදිකිරීම් කටයුතු සඳහා වසර තුන හමාරක පමණ කාලයක් වැය වී තිබිණි.

    CVkiTBF.png
    destroyer වර්ගයේ Type 055 නෞකාවට ගැළපෙන්නේ cruiser නම් වර්ගීකරණ මට්ටමයි.එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුව නිකුත් කල වාර්තාවක Type 055 නෞකාව හඳුන්වා දී තිබෙන්නේ cruiser යන නමින්ය.​

    චීනය සතුව තිබෙන කුඩා ප්‍රමාණයේ ටයිප් 052 පන්තියේ නියාමක මිසයිල ඩිස්ට්‍රෝයර්ස් වර්ගයේ නෞකාවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් දකුණු සහ නැගෙනහිර චීන මුහුදු නාවික බල ඇණිවල සේවයට එක් කර තිබේ.අලුතින් එක්වන දැවැන්ත සහ ප්‍රහාරක හැකියාවෙන් කිසිවෙකුට නොදෙවෙනි යුද නෞකාවෙන් චීන නාවික හමුදාව පෙරට වඩා ඉහළ තැනකට ඔසවා තබයි.මෙය අනාගතයේදී බලඇණි අණදෙන නෞකාවක්,ගුවන් යානා ප්‍රවාහන ප්‍රහාරක කණ්ඩායම් ඇරලවීමේ කාර්යයට අවශ්‍ය බලවත් ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික/ප්‍රති-ගුවන් සංග්‍රාමික ප්ලැට්ෆෝම් එකක් වශයෙන් හෝ ප්‍රබල තනිව නැගී සිටිය හැකි යුද නෞකාවක් ලෙස භාවිතා කල හැකිය.

    bRGMmXJ.jpg
    Type 055 නෞකාවෙන් කෲස් මිසයිලයක් දියත් කිරීම චිත්‍ර ශිල්පියෙක් විසින් නිරූපණය කර තිබෙන අයුරු​

    ටයිප් 055 යනු Type 346X AESA රේඩාර් පද්ධති හතරකින් සහ ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික උපක්‍රම,ඔත්තු බැලීමේ උපාංග සහ වෙඩි පාලන රේඩාර් අඩංගු සංඝටනය කල කුඹ ගසකින් සමන්විත නූතන,බහුකාර්යය යුද නෞකාවකි.රේඩාර් පද්ධතිවලින් කි.මී. 500-600 දුරකට අංශක 360 ක පරාසයක් ආවරණය කරයි.ඒවාට බැලස්ටික් මිසයිල,කෲස් මිසයිල ,චන්ද්‍රිකා,ගුවන් යානා සහ නෞකා ආදී ඉලක්ක සිය ගණනක් ලුහුබැදීමට හැකියාව තිබේ.තව එය සතුව යම් මට්ටමක ස්ටෙල්ත් හැකියාවක්ද තිබේ.අනෙකුත් චීන නෞකා මෙන්ම ගුවන් යානා ඩ්‍රෝන් යානා ආදියෙන් ලබා ගන්නා දත්ත යොදාගෙන සංග්‍රාම භූමියේ චිත්‍රයක් නිර්මාණය කරගන්න අවශ්‍ය සංග්‍රාම කළමනාකරණ පද්ධති මෙම නෞකාව සතුවේ.



    නෞකාව සතු අවි

    මි.මී. 130 H/PJ-38 ප්‍රධාන අවිය සහ Type 1130 CIWS අවි පද්ධතිය හැරුණු කොට ටයිප් 055 ඩිස්ට්‍රෝයර්ස් නෞකාව සතුව සිරස් දියත් කිරීමේ පද්ධතිය සතුව කුටි 112-128 අතර සංඛ්‍යාවක් තිබේ.මේ එක් කුටියක වැනි මධ්‍යම ප්‍රමාණයේ DK-10 සෑම් මිසයිල හතරක් හෝ විශාල ප්‍රමාණයේ තනි මිසයිලයක් රැදවිය හැකිය(උදා: දිගු දුර HHQ-9 සෑම් මිසයිල ,ගොඩබිම් ප්‍රහාරක CJ-10 කෲස් මිසයිල සහ නෞකා නාශක YJ-18 මිසයිල ).විශාල ප්‍රමාණයේ සිරස් දියත් කිරීමේ පද්ධතියක් මෙම නෞකාවට ඇතුලත් කිරීමේ අරමුණ අනාගතයේදී හඳුන්වාදීමට නියමිත අධිධ්වනික scramjet වැනි මිසයිල ,අධියර දෙකේ දිගු දුර සෑම් මිසයිල සහ HQ-19 චන්ද්‍රිකා නාශක/බැලස්ටික් මිසයිල නාශක මිසයිල වලින් නෞකාව සන්නද්ධ කිරීමයි.

    PGdy3Rh.png
    නෞකාව සතු මිසයිල මෙහි දක්වා තිබේ.වම්පස YJ-18 නෞකා නාශක මිසයිලයද,වම්පස සිට තුන්වැන්නෙන් දිගු දුර HQ-9 සෑම් මිසයිලයක්ද දකුණුපස සිට දෙවැන්නෙන් ගොඩබිම් ප්‍රහාරක CJ-1000 කෲස් මිසයිලයක්ද පෙන්වා ඇත.​

    මෙම නෞකාව සතු අනෙක් සුවිශේෂී අංගය වන්නේ Z-18 නම් ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික හෙලිකොප්ටර් යානා දෙකක් ගොඩබෑ හැකි විශාල වේදිකාවයි.වේදිකාවේ විශාලත්වය නිසා ටයිප් 055 නෞකාවට සිරස්ව ගුවන් ගත කල හැකි ඩ්‍රෝන් යානා හැසිරවීමේ හැකියාවද තිබේ.ඉදිරිපස සෝනාර් පද්ධතිය,ටෝර්පිඩෝ ප්‍රහාරක හැකියාව සහ පසුපස කොටසේ සෝනාර් පද්ධති නිසා එහි ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික හැකියාවද සාපේක්ෂව ඉහළ තත්ත්වයක පවතියි.ඊට අමතරව මුහුදු බෝම්බ හඳුනාගැනීම විනාශ කිරීම ,ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික සහ ඔත්තු බැලීම් කටයුතු සඳහා අවශ්‍ය මුහුද මතුපිට සහ අභ්‍යන්තරයේදී යොදාගත හැකි ඩ්‍රෝන් යානා වලින්ද ටයිප් 055 නෞකාව සන්නද්ධය.

    aMOFJMu.jpg



    චීනය විසින් ලෝකයට එළිකල මෙම දැවැන්ත යුද නෞකාව සංසන්දනය කල හැකි නෞකා මොනවාදැයි දැන් විමසා බලමු.


    නියාමක මිසයිලවලින් සන්නද්ධ ඇමෙරිකානු නාවික හමුදාවේ Arleigh Burke Flight IIA නෞකාව.
    -විස්ථාපනය කරන ජල ප්‍රමාණය ටොන් 9,800කි.
    -සිරස් දියත් කිරීමේ පද්ධතිය කුටි 96කින් සමන්විතය.


    jraq6rd.jpg





    ජපානයේ Kongo සහ Atago යන නියාමක මිසයිල රැගෙන යන නෞකා දෙක
    -ටොන් 9,500-10,000 අතර ජල කඳක් විස්ථාපනය කරයි.
    -සිරස් දියත් කිරීමේ පද්ධතිය සතුව කුටි 96ක් තිබේ.


    hIeSgeh.jpg



    නමුත් චීන දැවැන්තයාගේ විශාලත්වය සහ අවි පද්ධති සමග සංසන්දනය කල හැකි එක්සත් ජනපදය සතු යුද නෞකා තිබෙන්නේ ටිකොන්ඩ්‍රොගා නම් කෲසර් වර්ගය සතුවයි.ටිකොන්ඩ්‍රොගා කෲසර් නෞකා ටොන් 9,600 ජල කඳක් විස්ථාපනය කලද ඒවා සතු සිරස් දියත් කිරීමේ පද්ධතියේ කුටි 122ක් අඩංගුවේ.

    TRm12Iq.jpg




    දකුණු කොරියාව සතු සීජොන්ග් ද ග්‍රේට් නම් පන්තියේ නියාමක මිසයිල වලින් සන්නද්ධ ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකා ටොන් 11,000 ජල කඳක් විස්ථාපනය කරන අතර ඒවාහි සිරස් දියත් කිරීමේ පද්ධතියේ කුටි 128ක් තිබේ.ඇමෙරිකානු ඊජෙස් බැලස්ටික් මිසයිල ආරක්ෂක පද්ධතියේ චීන පිටපත ටයිප් 055 නෞකාව සතුය.

    ijLVZ8O.png
    දකුණු කොරියාවේ Sejong the Great destroyer නෞකාව වෙඩි බලයෙන් සහ විශාලත්වය අතින් චීනයේ Type 055 නෞකාව තරමක් සමීපය.​

    චීන රජය 21 සියවසේ සිය ප්‍රධාන යුද නෞකාව ලෙස යොදාගැනීමට නියමිතව සිටින්නේ ටයිප් 055 නෞකාය.දැනට මෙවැනි නෞකා 5ක් නිපදවීමට සැලසුම් කර තිබේ.මෙම සියවස මැද වන විට නෞකා 30 දක්වා සංඛ්‍යාවක් චීන නාවික හමුදාවට ලබාගැනීමට නියමිතය. දැනට තිබෙන පහසුකම් අනුව චීනයට වසරකට මෙවැනි නෞකා එකක් හෝ දෙකක් නිෂ්පාදනය කල හැකිය.මෙම පන්තියේ ඊළඟ මොඩලය වන්නේ ටයිප් 055ඒ නෞකාය.ඒවා මීටත් වඩා විශාල සහ වඩාත් හොඳින් සන්නද්ධ නෞකාය.තවද අනාගත නෞකා විද්‍යුත් ප්‍රචාලන පද්ධතියකින් සමන්විත වේවි.ඉන් නිපදවන ශක්තිය ලේසර්,රේල්ගන් සහ අධි බලැති ක්ෂුද්‍ර තරංග පද්ධති ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් වේවි.

    HvVbkAa.png
    Type 055 හි දෙවන කාණ්ඩය 2020-2025 යන කාල සමය තුල නිර්මාණය කිරීම ඇරඹේවි.ඒවා රේල්ගන් වැනි නවීන අවිවලින් සන්නද්ධව පැමිණේවි.​

    සමහර විශේෂඥයින්ට අනුව මෙම නෞකාවේ දෝෂ කිහිපයක් තිබේ.පහළින් ස්ථානගත කිරීම නිසා නෞකාවේ රේඩාර් පද්ධතියේ අනාවරණ පරාසයට බලපෑමක් සිදුවේ.සැහැල්ලු ඇලුමිනියම් මිශ්‍ර ලෝහයක් ඉහළ තට්ටුව සඳහා යොදාගැනීමෙන් හානි සිදුවීමට අවස්ථාවක් නිර්මාණය වී තිබේ.දෝෂවලට එක් හේතුවක් වන්නේ සංග්‍රාමික අවස්ථා සම්බන්ධව චීන හමුදාවේ අවම අත්දැකීම්ය.

    මෙතැන් පටන් ටයිප් 055 නෞකාව එහි අත්හදාබැලීම් ගමන් වාර ආරම්භ කරයි.නෞකාව සේවයේ පිහිටුවීම සිදුවන්නේ 2018 වසරේදීය.




    Source:popsci.com

    -HarshaLulzSec-
     
    Last edited:
    • Like
    Reactions: gayanmax00