සැ.යු. මොවුන් අනාගතයේ බුදුවන බෝසත්වරුන් සේ පාලි ත්‍රිපිටකයේ කිසිදු ස්ථානයක සඳහන් ව නැත. දසබෝධිසත්තුප්පත්ති කථාවේ බෝසත්වරුන් සේ විස්තර වන ඔවුන් ගෞතම බුද්ධ කාලයේ ජීවත් වූ සාමාන්‍ය පුද්ගලයන් ය. පාලි සාහිත්‍යයෙන් පිළිබිඹු වන ඔවුන්ගේ චරිත පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ.
පසේනදි කොසොල් රජු
කෝසල රාජ්‍යයේ බුද්ධකාලීන පාලකයා වූ මොහුගේ පියා මහාකෝසල රජු ය. කෝසල රාජ්‍යයේ පාලකයා යන අර්ථයෙන් කෝසල යන නමින් හැඳින්වෙන මෙම රජුට ප්රත්යන්තයන් හා පරසේනාවන් දිනන ලද යන යන අර්ථයෙන් භාවිත විරුද නාමයක් ද වේ. එහෙයින් පාලි සූත්‍රවල පසේනදි කෝසල යන නාමයෙන් මොහු හඳුන්වා ඇත. කොසොල් රජු සිය රටේ උක්කට්ඨා, ඕපසාද වැනි ඇතැම් ජනපද රාජ දායාද සේ පොක්ඛරසාති, චංකී, පායාසිරාජඤ්ඤ ආදි පුද්ගලයන්ට ප්රදානය කර තිබිණ. එය ඔහුගේ පරිත්‍යාග මහාත්ම්යය ප්‍රකට කරන සාධකයකි. රටෙහි තැන තැන දන්හල් සැකසීමට මෙම රජු ක්‍රියා කළේ ය. බෞද්ධයෙකු වූ පසු ද බෞද්ධ නො වන ආගමිකයින් කෙරෙහි ද එම දන්හල් විවෘත ව තැබීමට තරම් මොහු පරිත්‍යාගශීලී විය. සංයුක්ත නිකායේ තෙවැනි සංයුත්තය මෙම රජුගේ නමින් ම කෝසල සංයුත්ත සේ නම් වී ඇත. කොසොල් රජු බුදුරජුන් හමු වූ මුල් ම අවස්ථාවඑහි දහර සූත්‍රයේ දැක්වේ. එවැනි ප්‍රවෘත්තීන් විසි පහක් පමණ කෝසල සංයුත්තයේ ඇතුළත් ව තිබේ. මහාසුපින, ලෝහකුම්භි යන ජාතක දෙකෙහි ද, සංයුත්ත නිකාය අටුවාවෙහි ද කොසොල් රජු විසින් දක්නා ලද සිහින පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්නට තිබේ. බුදුරදුන් හා කොසොල් රජු වයසින් සම තත්ත්වයෙහි වූ බව ධම්මචේතිය සූත්‍රයේ දැක්වේ. එමෙන් ම එතුමා බුදුරදුන්ගේ පා සිඹිමින් ඉතා ලෙන්ගතුව උන්වහන්සේ ව ආශ්‍රය කළ බව ද එහි දැක්වේ. මොහුගේ අග්‍ර මහේෂිකාව වූයේ මල්ලිකා දේවිය යි. කොසොල් රජු අසදිස මහා දානය පිරිනමන ලද්දේ ඇයගේ උපදෙස් අනුව ය.
දීඝසොණ රාහු අසුරින්ද
දසබෝධිසත්තුප්පත්ති කථාව අනාගතයෙහි පහළ වන පස්වැනි බුදුරදුන් ලෙස දක්වා ඇත්තේ දීඝසොණ රාහු අසුරින්දයන් ය. එහෙත් පාලි සාහිත්‍යයේ වෙනත් තැනක දීඝසොණ යන නාමය දක්නට නැත. රාහු යනු අසුරේන්ද්රයෙකි. අංගුතර නිකාය අටුවාවට අනුව වේපචිත්ති, රාහු හා පහාරාද යන තිදෙනා අසුරයින් අතර ප්‍රධාන වේ. රාහු ලෝකයේ විශාලතම ශරීර ඇති පුද්ගලයන් අතර අග්‍රස්ථානයට වැටෙන බව අංගුත්තර නිකායේ චතුක්කනිපාතයේ දැක්වෙයි. මජ්ඣිම නිකාය අට්ඨකථාවට අනුව ඔහුගේ උස යොදුන් 4800 කි. බාහු අතර දුර යොදුන් 112 කි. අත් පාවල පෘථුලත්වය යොදුන් 300 කි. ඇඟිලි පුරුකක ප්‍රමාණය යොදුන් 50 කි. දෙබැම අතර දුර යොදුන් 50 කි. නළලෙහි පළල යොදුන් 300 කි. හිස යොදුන් 900 ක් විශාල ය. අටුවාවේ සඳහන් පරිදි මෙපමණ උස ඔහු තමා උස නිසා නැමී භාග්‍යවතුන් වහන්සේ දෙස බලන්නට නො හැකි යැයි සිතා උන්වහන්සේ බලන්නට නො යයි. හෙතෙම එක් දිනක් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අසා කෙසේ හෝ උන්වහන්සේ බලන්නෙමි යි සිතා බුදුරදුන් හමුවට පැමිණියේ ය. බුදුරදුන් ඔහුගේ පැමිණීම දැනගෙන ඉරියව් සතරින් කවර ඉරියව්වකින් තමන් ව දක්වන්නෙම් දැ යි සිතා මිටි පුද්ගලයා සිට ගෙන සිටින විට උසට පෙනෙන නිසා සැතපී තමන් ව දක්වනු පිණිස අනඳ හිමියන් ලවා ගඳකිළියෙන් පිටතට ඇඳක් ගෙන්වා ගෙන එහි සිංහසෙය්‍යාවෙන් සැතපී සිටියේ ය. රාහු අසුරයා පැමිණ සැතපී සිටි බුදුරදුන් දෙස ගෙළ නමා අහස මැද ඇති පූර්ණ චන්ද්‍රයා දෙස බලන්නාක් මෙන් බලා සිටියේ ය. එවිට බුදුරජාණන් වහන්සේ කරුණු විචාරා තමන් යට බැලූ මුහුණින් පාරමිතා නො පුරන ලද බවත් උඩ අග් ඇති ව දන් දුන් බවත් පෙන්වා දුන්හ. එම මොහොතෙහි රාහු අසුරේන්ද්රයා සරණයට එළැඹි බව ද මැදුම් සඟි අටුවාවේ දැක්වේ. රාහු අසුර සඳ හිරු දෙදෙනාටත් වැස්සටත් අනතුරු පමුණුවන්නෙකි. සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තයේ චන්දිම, සුරිය සූත්‍ර දෙකෙහි සඳ-හිරු දෙදෙනාට මොහුගෙන් එල්ල වන බාධා ප්‍රකාශ වේ. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ වර්ෂාවට එල්ල වන පඤ්චවිධ අනතුරු අතර තෙවැන්න සේ දැක්වෙන්නේ රාහු අසුරයා අතින් දිය ගෙන මහමුහුදෙහි හෙලීමෙන් වර්ෂාවට බාධා පැමිණෙන බව යි.
චංකී බ්‍රාහ්මණයා
චංකී යනු බුදුරජාණන් වහන්සේගේ සමකාලීන මහාසාල බ්‍රාහ්මණයෙකි. සමකාලීන බමුණන් අතර උගත්කමින් අතිසම්භාවිත ව ජීවත් වූවෙකි. මජ්ඣිම නිකායෙහි මොහුගේ නාමය තාරුක්ඛ, පොක්ඛරසාති, ජාණුස්සෝණි, තෝදෙය්‍ය වැනි කීර්තිමත් මහාසාල බ්‍රාහ්මණයන්ගේ නම් සමඟ යෙදී තිබේ. චංකී බ්‍රාහ්මණගේ වාසය පසේනදී කෝසල රජු විසින් ප්රදානය කරන ලද ඕපසාද ග්‍රාමයෙහි විය. එම තොරතුරු ඇතුළත් සූත්‍රය ඔහුගේ නමින් ම චංකී සුත්ත නමින් මජ්ඣිම නිකායෙහි ඇතුළත් ව ඇත. එහි සඳහන් පරිදි ඔහු බුදුරදුන්ගෙන් සච්චානුරක්ඛණ, සච්චානුබොධ, සච්චානුපත්ති යන කරුණු තුනත්, සච්චානුපත්තිය සඳහා බොහෝ සෙයින් උපකාරවත් වන ධර්මත් විමසන ලදුව බුදුරදුන් වෙතින් ඒවාට ප්රශස්ත පිළිතුරු ලබන ලදි. එහෙයින් ම හෙතෙම තිසරණ සරණ ගිය උපාසකයෙකු බවට ද පත්විය.
ශුභ බ්‍රාහ්මණයා
ශුභ බ්‍රාහ්මණ නමින් හැඳින්වෙන පුද්ගලයෙක් ත්‍රිපිටක පාලියෙන් සොයාගත නො හැකි වේ. එහෙත් සුභ බ්‍රාහ්මණ සහ චුල්ලකම්මවිභංග සූත්‍රවල ප්‍රශ්නකරු සේ පෙනී සිටින සුභ මානවකයා ත්‍රිපිටකයෙහි ප්‍රකට චරිතයකි. ඔහු ධර්මය පිළිබඳ උනන්දුවකින් හා විමැසීමකින් ක්‍රියා කළ පණ්ඩිතයෙකු බව බුදුරදුන්ගේ අසන ලද ප්‍රශ්නවලින් පැහැදිලි වේ. චුල්ලකම්මවිභංග සූත්‍රයේ දී මිනිසුන්ගේ උස් පහත් බව, දීර්ඝායුෂ්ක හා අල්පායුෂ්ක බව ආදිය කවර හේතුවකින් ඇති වේ ද යන්න සුභ මානවකයා විසින් බුදුරදුන් වෙත ඉදිරිපත් කරන ලදි. මජ්ඣිම නිකාය සුභ සූත්‍රයේ දී ගෘහස්ථ ප්රවෘජිතයන්ගේ ආපේක්ෂිත මහත්වය පිළිබඳ ප්‍රශ්න විමසා ඇත. සුභ මානවකයා බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරදුන්ගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් තම නිවසට වැඩමවා ගෙන බුදුරදුන් විසින් කවර කරුණු වර්ණනා කරන ලද්දේ ද යනුවෙන් අනඳ තෙරුන්ට ඉදිරිපත් කළ ප්රශ්නය දීඝ නිකායේ සුභ සූත්‍රයේ ඇතුළත් වෙයි. සුභ මානවක තෙමේ තරුවන් සරණ ගිය උපාසකයෙකු වේ. ඒ බව ඔහු විසින් ම පිළිණ කළ ආකාරය උක්ත සූත්‍රයන්හි අවසාන වැකිවලින් දැකගත හැකි ය.
තොදෙය්‍ය බ්‍රාහ්මණයා
තොදෙය්‍ය බ්‍රාහ්මණ හා තොදෙය්‍ය මානව නමින් දෙදෙනෙකු පිළිබඳ ව සූත්‍රයන්හි සඳහන් වේ. එයින් තොදෙය්‍ය බමුණා බුදුරජාණන් වහන්සේගේ සමකාලීන කෝසල දේශවාසී මහාසාල බ්‍රාහ්මණයෙකි. ඔහු පෙර සඳහන් කළ සුභ මානවකගේ පියා ය. තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ සුභ මානවකයාට දේශනා කරන ලද සූත්‍ර කීපයක් පෙර සඳහන් කෙරිණ. එහෙත් තොදෙය්‍ය බ්‍රාහ්මණයා පිළිබඳ ව ඒවායේ විස්තර වී නොමැත. චුල්ලකම්මවිභංග සූත්‍ර අටුවා වර්ණනාවෙහි තෝදෙය්‍ය බ්‍රාහ්මණයා පසේනදි කෝසොල් රජුගේ පුරෝහිත බමුණා බවත්, සැවැත් නුවරට නුදුරු තුදි ගමෙහි අධිපතියා ව අසූහත් කෝටියක් ධනය තිබූ පරම මසුරෙක් බවත් සඳහන් වේ. පරිත්‍යාග කරන්නහුගේ භෝගයන් ක්ෂය වෙතැ යි සිතා කැඳ හැන්දක් පමණකුදු නො දී මරණයට පත් වූ හෙතෙම තම ගෙදර ම සුනඛයෙකු වී උපන් ආකාරය ද එහි විස්තර වී තිබේ. දීඝනිකායට්ඨකථාව අනුව තුදි යන නම් ඇති ගමෙහි වාසය කළ නිසා මෙම බමුණා තොදෙය්‍ය නමින් හැඳින්වේ. අංගුත්තර නිකායේ චතුත්ක නිපාතයෙහි එන වස්සකාර සූත්‍රයේ මොහු සිය පිරිස හැසිර වූ ආකාරය විස්තර වී ඇත.
ධනපාලක හෙවත් නාලාගිරි හස්තියා
නාලාගිරි හස්ති රාජයා රජගහ නුවර බිම්බිසාර රජුගේ ඇත් සේනාවට අයත් වූ සැඩ පරුෂ සතෙකි. දේවදත්ත හිමියන් අජාතසත් කුමරුන්ගේ සහාය ඇති ව බුදුරදුන් ඝාතනය කිරීමට මෙම හස්තියාට රා පොවා කුලප්පු කරවා බුදුරදුන්ගේ අභිමුඛයට එවන ලද ප්‍රවෘත්තිය බෞද්ධ සාහිත්‍යයෙහි ඉතා ප්‍රකට ය. ජාතකට්ඨකථාවෙහි චුල්ලහංස ජාතකයේ සඳහන් පරිදි බුදුරදුන් ඔහු වෙත ම යොමු කරන ලද මහා මෛත්‍රියෙන් මෙල්ල වූ නාලාගිරි හස්තියා දෙසට දෙව් බඹු මිනිසුන් නොයෙක් රන් රුවන් පුෂ්ප විසි කළහ. ඒවායින් හස්තියාගේ ශරීරය වැසී ගියේ ය. එහෙයින් ම ඔහුට ධනපාලක යන නම ද පටබැඳිණි. තිරිසන්ගත සතෙක් නො වුණේ නම් නාලාගිරි හස්තියාට සෝතාපන්න වීමට අවකාශ තිබිණ. අවසන පඤ්චසීලයේ පමණක් පිහිටීමට හැකිවිය. මෙම ප්‍රවෘත්තිය අපදාන අට්ඨකථාවේ ද මඳක් වෙනස් ව දැක්වේ.
පාරලෙය්‍ය හස්තියා
පාරලෙය්‍ය යනු කොසඹෑ නුවරට සමීප ගමකි. මහාවග්ගපාලියේ කොසම්බක්ඛන්ධකයෙහි එන පරිදි කොසඹෑ නුවර භික්ෂූන්ගේ අසංවරත්වය නිසා බුදුරදුන් බාලලොණකාරකග්රාමය හා පාචීනවංස මිගදාය පසුකරමින් පාරලෙය්‍ය ගමට ගොස් එහි රක්ඛිත වන ලැහැබෙහි සොඳුරු සල් සෙවණෙහි නවාතැන් ගත්හ. එම වනයෙහි හුදෙකලාව විසූ එක් හස්ති රාජයෙක් බුදුරදුන්ට උවටැන් කළේය. මෙම හස්තියා පාරලෙය්‍ය හස්ති හෝ පාරලෙය්‍ය ඇතා නමින් ප්‍රකට වුවත් පෙළ අටුවා දෙකෙහි ම ඒ බව සඳහන් ව නැත. ඒවායේ ඇත්තේ හත්ථිනාග යන වචනය යි. (අඤ්ඤතරොපි ඛො හත්ථිනාගො....) ආනන්ද හිමියන් පසු ව පැමිණ බුදුරදුන් වැඩමවා ගෙන සැවැත් නුවරට යාමේ දී මෙම ඇතා වන කෙළවර දී ළය පැලී මරණයට පත් ව තාවතිංස දෙව්ලො පාරලෙය්යක දෙව්පුත් ලෙස උපන්නේ ය.
පාලි සූත්‍රවල නම් සඳහන් නො වන බෝසත්වරු තිදෙනා
අනු අංක 01
● බෝසතුන්ගේ නම : සංඛ චක්කවත්ති රාජ
● විවරණය දුන් බුදුරදුන් : සිරිමත
● බුදුවීමේ දී ගන්නා නාමය : මෙත්තෙය්‍ය (පළමුවැනි)
අනු අංක 02
● බෝසතුන්ගේ නම : නාරද මානව
● විවරණය දුන් බුදුරදුන් : කස්සප
● බුදුවීමේ දී ගන්නා නාමය : රාමරාජ (දෙවැනි)
අනු අංක 03
● බෝසතුන්ගේ නම : අභිභු දේවරාජ
● විවරණය දුන් බුදුරදුන් : කස්සප
● බුදුවීමේ දී ගන්නා නාමය : ධම්මස්සාමි (සිව්වැනි)
අනාගතයෙහි බුද්ධත්වයට පත්වන පළමු බුදුරදුන් වන මෙත්තෙය්‍ය බුදුරදුන් සංඛ නම් සක්විති රජ ව සිරිමත නම් බුදුරදුන්ගේ විවරණ ලද බව දසබෝධිසත්තුප්පත්ති කථාවෙහි සඳහන් වුවත් දීඝනිකායාගත චක්කවත්තිසීහනාද සූත්‍රයට අනුව සංඛ නම් සක්විති රජ අනාගතයෙහි මිනිසුන්ගේ වයස අවුරුදු අසූ දහසක් ව පවත්නා විට දඹදිව කේතුමතී නම් රාජධානියෙහි පහල වන සක්විති රජු සංඛ නම් වේ. ඔහු එකල පහළ වන මෙත්තෙය්‍ය බුදුරදුන් හමුවෙහි පැවිදි ව රහත් බවට පත් වන බව ද එහි විස්තර වී තිබේ. අංගුත්තර අටුවාව අනුව ඔහු මෙත්තෙය්‍ය බුදුරදුන්ගේ අග්‍ර උපස්ථායක වෙයි. මෙයින් පැහැදිලි වන්නේ පෙළෙහි එන සංඛ සක්විති රජු පිළිබඳ සංකල්පය දසබෝධිසත්තුප්පත්ති කථාවේ දී තරමක් අවුල් සහගත ව ඉදිරිපත් වන බව යි.
දසබෝධිසත්තුප්පත්තිකථාවෙහි ඇතුළත් බෝධිසත්ත/බුද්ධ සංකල්පයේ විශේෂත්වය
මෙම මහා භද්‍ර කල්පයෙහි ම සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රේය බුදුරදුන් පාලි වංසකථාකරුවන්ගේ මෙන් ම සිංහල සාහිත්‍යකරුවන්ගේ ද උත්කර්ෂ වර්ණනාවලට බඳුන් වී තිබේ. එහෙයින් ම සිංහල බෞද්ධ සමාජය තුළ මෛත්‍රේය බුදුරදුන්ගෙන් පසු බුද්ධත්වයට පත්වන බුදුවරුන් පිළිබඳ ප්‍රබල අදහසක් ව්‍යාප්ත වී නොමැති තරම් ය. ඒ අතින් මහායාන සම්ප්රදාය ඉතා පොහොසත් ය. ථෙරවාදී සම්ප්රදාය තුළ දක්නට ඇති ඌනතාව මග හරවාලන එක ම පාලි නිර්මාණය මෙම දසබෝධිසත්තුප්පත්තිකථාව යි. මෛත්‍රේය බුදුරදුන්ට පසු ව සම්බුද්ධත්වයට පත්වන තවත් බුදුවරු නව දෙනෙකු පිළිබඳ විස්තර මෙයින් ඉදිරිපත් වන්නේ එහෙයිනි.
ඉහත දක්වන ලද ග්රන්ථ සාරාංශයෙන් පැහැදිලි වන වැදගත් ම කරුණ වන්නේ බෝධිසත්ත්ව සංකල්පය දෙව්, මිනිස්, අසුර, තීර්යක් (තිරිසන්) යන සමස්ත සත්ත්ව ප්‍රජාවට ම සාධාරණ වූවක් බව යි. ඒ බව සමාජගත කරන්නට මහායාන සම්ප්රදාය අභිබවමින් ථෙරවාදී සම්ප්රදාය ක්‍රියා කළ ආකාරයට ඉදිරිපත් කළ හැකි උත්කෘෂ්ට නිදර්ශනය දසබෝධිසත්තුප්පත්තිකථාව යි.