උත්පත්ති කථාව
ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිටි සේරමානම් නම් රජුගේ උයන පාළු කරමින් සිටි ගෝනෙකු මරා දමන ලෙසට අණ ලද හේවායන් ඌ පසුපස පන්නා යන විට ගෝනාගේ පය පැටලී අසල තිබූ රජුගේ පොකුණ තුළට වැටී මරණයට පත්විය. මේ වන විට ගෝනා ගැබ්බරව සිටි බැවින් රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්ව, එම පොකුණෙහිම මැඩියෙකුව උපන්නේය. දිනක් රජතුමා උයන් කෙළියෙන් පසු, පොකුණ අසළට විත් එම පොකුණෙහි පිපී තිබූ ඉතා ලස්සන මානෙල් මලක් කඩා සුවඳ ආඝ්‍රාහණය කරන විට මල යට සැඟව සිටි මැඩියා කෂණයකින් රජුගේ නාසය දිගේ මොළයට රිංගා ගත්තේය. (ඇතැම් කතා පුවතක මැඩියා රජුගේ මොළයට විෂක් යැවූ බව ද, රජතුමා මානෙල් මලෙහි ගෙඹි බිත්තර දැකීමෙන් තම මොළයට ගෙම්බෙකු ඇතුළු වුවාදැයි සැක කළ බව ද සඳහන් වේ.)
කෙසේ වෙතත් මේ හේතුවෙන් ඇති වූ හිසරදයට රජුට කොතරම් ප්‍රතිකාර කළ ද සුවයක් නොලැබුණි. මෙසේ කලක් ගත වත්ම දිනක් රජුට සිහිනයෙන් ඉතා රූමත් කාන්තාවක් දිස්විය. ඒ බව රජු පුරෝහිත බමුණාගෙන් විමසූ කල සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි දේවිය බවත්, ඇගේ සාපයක් රජුට ඇති නිසා නිර්මල බුද්ධ ශාසනයක් තිබෙන, සතර මහා දේවාල තිබෙන රටකට ගොස් දින 7 ක් දුගී මගී යාචකාදීන්ට දන් දී ඒ පිං පත්තිනි දේවියට පැමිණවිය යුතු බවත් කීය. මීට සුදුසුම රට ලංකාව බව තීරණය කළ රජු වත්තලින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පිං දී රුවන්වැල්ලේ දී දී ප්‍රථම දෙවොල් මඩුව කරවූහ. එදා පටන් රජුගේ හිසරදය දුරු වූවා සේම ලංකාවේ දෙවොල් මඩුව ආරම්භ වූ බව ද පුරාවෘත්තවල කියැවේ.
පුරාවෘත්තානුකූලව පැවැත්වූ ශාන්තිකර්මය, සත් දා ගී මඩුවක් ලෙස පැවැත්වූ අතර ගැමියන්ගේ කාලීන අවශ්‍යතා වන භවභෝග සම්පත් ආරකෂා කර ගැනීමත්, රෝග වසංගතවලින් ආරකෂාවීමත් හේතු කොටගෙන ගමක් මුල් කොට යාතුකර්මය පැවැත්වීම ආරම්භ වූ බව ඇදුරෝ පවසති. සේරමානම් රාජ කතා පුවත අනුව රෝග නිවාරණ ශාන්තිකර්මයක් වූ සත් දා ගී මඩුව, තවත් යාගාංග ඒකරාශී කරමින්, සශ්‍රීකත්ව අරමුණ ද එක් කරමින් ’ගම්මඩුව නම්න් සාමූහික ශාන්තිකර්මයක් ලෙස පැවැත්වීම ආරම්භ වුණි.
ගම්මඩුව වූ කලී කිසියම් අධිභෞතික දේව ගණයාගෙන් එදිනෙදා ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට තමන්ට පුළුවන් යැයි ගැමි ජනතාව තුළ තිබූ විශ්වාසයට අනුව සිදුවන්නකි. ’මඩු පුරය යයි ගම්මඩු උත්සවයේදී භාවිත වන පාඨය විමසා බලන විට එම කාරණය තවදුරටත් පැහැදිලි වේ. ‘මඩුව’ වූ කලී මණ්ඩපයකි. නැතහොත් දෙවියන්ගේ බල ප්රදේශයයි. ‘පුරය’ වූ කලී වාසය කරන නගරය යන අරුතින් දෙවියන්ගේ නුවර සේ සැලකිය හැකිය. ඒ අනුව ගම්මඩුව භූමිය මඩු පුරයක් හෙවත් දෙවියන්ගේ බලය පවත්නා නගරයකි. ඔබේසේකර දක්වන ආකාරයට ගම්මඩුව වූ කලී දෙවියන්ට පුද පූජා දැක්වීමට ගම සූදානම් කිරීමකි. මඩුව යන භෞතික සැකැස්ම වන අතර ඉන් පිටත දෙවියන්ට ස්තුති කිරීමට හා නැරඹීමට මිනිස්සු රොක් වී සිටිති (ඔබේසේකර 1984 : 50). එමෙන්ම ගම්මඩුව රංග මණ්ඩලයක් ලෙස ද සැලකිය හැකි බව ඔහු දක්වා සිටියි (එම : 51). රඟ මඩලෙහි දෙවියෝ නොපෙනෙන සේ වැඩහිඳිති. මන්ද යාතුකර්ම ඇදුරෝ දෙවියන්ට දිව්‍ය ලෝකයේ සිට රඟ මඩලට වඩින සේ ආරාධනා කරන බැවිනි. දෙවියෝ අදෘශ්‍යමානව වැඩ හිඳින බැවින් යාතුකර්ම ඇදුරෝ, යාතුකර්මය නරඹන ප්‍රේක්ෂක ආතුරයන්ට දෙවියන් දෘශ්‍යමාන කිරීමට දෙවියන් මෙන් සමාරෝපණ වෙති. උදාහරණ ලෙස පත්තිනි දෙවියන්, වාහල දෙවියන් ලෙස ඇදුරෝ සමාරෝපණය වී නර්තන ඉදිරිපත් කරති.
යාතුකර්ම ඇදුරෝ දක්වන ආකාරයට ප්‍රථම ගම්මඩුව ශ්‍රී ලංකාවේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී පවත්වා ඇත. එතැනින් ආරම්භ වූ ශාන්තිකර්ම සම්ප්රදාය සඳහා නර්තන, පද, කවි ගායනා එක් වී ඇඳුම් පැළඳුම් විචිත්‍ර වී මූලාකෘතිය සිහිගන්වමින් අද වන තුරු ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ගම්මඩුව ශාන්තිකර්මය පවත්වනු ලබයි.
පූජා විධි රටාව
ගම්මඩුව ශාන්තිකර්මය සාමාන්‍යයෙන් පවත්වන්නේ සෙනසුරාදා දිනයක දී ය. කෙම්මුර දිනයක් වන බැවින් ද, මිනිසුන්ට විවේකී දිනයක් වන බැවින් ද එය යොදා ගන්නා බව යාතුකර්ම ඇදුරෝ පවසති. ප්‍රධාන ශාන්තිකර්මය පැවැත්වීමට පෙර සිදුකරන අංග රැසක් වේ. සුභාසිරි පතා කරන සෑම කාර්යයකටම සිංහල චාරිත්‍රය අනුව කප් සිටුවීම සිදු කරන බැවින් ශාන්තිකර්මයට මාස 3 කට පෙර කප් සිටුවීම සිදුකරයි. මෙසේ එම කාලය ගත වී යාමට පෙර ශාන්තිකර්මය පවත්වන බවයි. මෙහිදී 7 රියන් කිරි ගහක් තෝරාගෙන, එහි යට සිට උඩට ගොක් කොළ බැඳ, මැද පෙදෙසට පුවක් හා පොල් මලක් ද, ලෙලි සහිත පොල් ගෙඩි 2 ක් ද බැඳ, මුදුනත කළයක් මුනින් නමා, බුලත් 7 ක් හා පඬුරු 7 ක් කණුවේ පහත තබා, කණුව සිටුවා එහි පඬුරක් ගැට ගැසීමෙන් භාරවීමක් සිදුකරනු ලබයි. කප් සිටුවීමෙන් ඇරඹෙන ශාන්තිකර්මය නවද ගිරි, හත්දා ගිරි, පස්දා ගිරි, තුන්දා ගිරි යනුවෙන් එය පවත්වන දින ගණන අනුව නම් කරයි. නවදා ගිරි දින 9 ක් ද, හත්දා ගිරි දින 7 ක් ද, පස්දා ගිරි දින 5 ක් ද, තුන්දා ගිරි මඩුව දින 3 ක් ද පැවැත්වෙන බව ගම්මඩු යාග ඉතිහාසයේ සඳහන් වේ.
‘රජ කුලයට රන් තොරණින් නව දවසක් යාග කළයි
බමුණු කුලට මිණි තොරණින් සත් දවසක් යාග කළයි
වෙළඳ කුලට පිළි තොරණින් පස් දවසක් යාග කළයි
ගොවි කුලට රඹ තොරණින් තුන් දවසක් යාග කළයි’
මේ අනුව ගොවි කුලයට තුන් දවසක් යාග පවත්වා ඇත. ඒ අර්ථයෙන්ම අදත් ප්‍රධාන ශාන්තිකර්මය පැවැත්වීමට පෙර දිනයේ දී මඩු පේ කිරීම සිදු කරනු ලබයි. එහිදී ශාන්තිකර්මය පවත්වන ස්ථානයට දේවාභරණ වඩමවා, රඟමඩල ශාන්තිකර්මය පැවැත්වීමට සූදානම් කරනු ලබයි. නමුත් ශාන්තිකර්මය පවත්වන ස්ථානයට ආසන්නයේ දේවාලය පිහිටා ඇත්නම් මඩු පේ වන අවස්ථාවේ දේවාභරණ වැඩම කරවීම සිදු නොකරයි. කපු මහතා සහ සහායකයකු පිරුවට හා සුදු පිරුවට හා සුදු බැනියමක් ඇඳ, ඛෙර වාදන ශිල්පීන් කිහිප දෙනෙකු සමඟ ශාන්තිකර්මය පවත්වන ස්ථානයේ කහ දියර ඉස, සුවඳ දුම් අල්ලා දේව ගණයනට ආරාධනා කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කරනු ලබයි. රාත්‍රී පහන් දල්වා, සක් පිඹ, දෙවියන්ට කවි ගායනා කර, ආතුරයන්ට දේවාශිර්වාද කර මධ්‍යම රාත්රියේදී පමණ එදින කටයුතු නිම කරයි.