අපේ ජනකවි

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජනකවිය හා සමාජ වර්ධනය-2

    කුඩා කාලයේ සිටම දරුවා සමාජයට යහපත් පුරවැසියෙකු ලෙස දායාද කිරීමට මවු දරන උත්සාහය සාර්ථක වීම තුළින් සිදුවන ප්‍රතිඵලය වනුයේ යහපත් සමාජයක්‌ බිහිවීමය. ආගමික හා කෘෂිකාර්මික ජීවන රටාවකින් පෝෂිතව සිටි අතීත ගැමියා ප්‍රායෝගික පුහුණුවකින් මිස න්‍යායාත්මකව සමාජ සාරධර්ම පිළිබඳව පුරුදු පුහුණු වූවක්‌ නොවීය. එබැවින් ඔවුන් සමාජ සාරධර්ම පිළිබඳ නිරතුරුවම සැලකිලිමත් විය.


    වර්තමානයේ සාරධර්ම පිළිබඳව මෙන්ම මානව ගරුත්වය සහ වැඩිහිටියන්ට සැලකීම පිළිබඳව නිරතුරුවම කතා කළ ද වැඩිහිටියන් නොසලකා හරින තත්ත්වයට වත්මන් සමාජය පත්ව ඇති සෙයක්‌ දැකිය හැකිය. එසේ වුවද එදා අතීත ජන කවියා


    පැල් රක්‌නා අපෙ වරිගේ හත් මුත්තෝ
    උන්දැල හතර පෝයට අටසිල් ගත්තෝ
    හේනෙ කුඹුරෙ වැඩ නිසි ලෙස දැන ගත්තෝ
    ජාතිත් වාසනාවන් ඒ මී මුත්තෝ


    යනුවෙන් පවසා ඇත්තේ ගරුත්වයකින් නොවේද? ස්‌වයංපෝෂිත වූ ආර්ථිකයක්‌ බිහි කිරීමට සමාජ සාරධර්ම ආරක්‌ෂා කිරීමට කැපවූ එම වැඩිහිටි පරම්පරාව පිළිබඳව ජන කවියා ගෞරව සම්පුයුක්‌තව බලා ඇති ආකාරය ඉතා මනරම්ය.
    මේ සමාජ සාරධර්ම බිඳී ගිය අවස්‌ථාවකි.


    බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
    මැනලා වී දෙකක්‌ දුන්නයි මල්ල කට
    ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
    මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට


    තම මවට පුතු සලකා ඇති ආකාරය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකිය. පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට උපදෙස්‌ දෙන්නේත් වරද වටහා දෙන්නේත් මේ ආකාරයෙනි.


    මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
    තියෙන දෙයක්‌ දෙන්නෙත් අපි දෙන්නාට
    දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට
    බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට


    එදා ගැමි ජනයා ද සමාජය සංවර්ධනයට නම් සාරධර්ම වැඩිහිටි ගරුත්වය හා සුරක්‌ෂිතභාවය ආරක්‌ෂා විය යුතු බව වටහාගෙන සිට ඇත. අහස සිඹින මැඳුරු, විශාල කම්හල් ආදී නවීන තාක්‌ෂණික දියුණුව තුළින් සමාජය සංවර්ධනය නොවන්නා සේ එදා ද ආර්ථිකය තුළ කාය බලය සහ ආශාවන් පොදි බැඳීම තුළින් සමාජ සංවර්ධනය හා මානව ගරුත්වය ආරක්‌ෂා නොවන බැව් ජන කවියා වටහා ගෙන තිබූ බවත් ඉතා සුක්‌ෂ්මව එකිනෙකාගෙන් අනපේක්‌ෂිතව ඉස්‌මතු වන නොහොබිනා සිතුම් හා හැඟීම් ක්‍රියාත්මක කිරීම වළක්‌වාලීමට ද උත්සාහ දරා ඇති බවක්‌ ද පෙනේ.

    අල්ලා ගෙන නෙරිය අතකින් කිමද නගෝ
    වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
    හිමියෙක්‌ නැති ගමන් තනි මඟ කිමද නගෝ
    අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

    අල්ලාගෙ නෙරිය මඩ තැවරෙන හින්දා
    වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
    බාල මස්‌සිනා පස්‌සෙන් එන හින්දා
    යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා


    ඉහත සංවාද කවියෙන් සමාජ සාරධර්ම නොසලකා හැරීමට ඇතැමුන් උත්සාහ ගන්නා අවස්‌ථාවලදී එය ඉතා සූක්‌ෂ්මව වළක්‌වාලීමටද, තැනට සුදුසු ලෙස නුවණ මෙහෙයවා මුහුණදීමට වන කරදර මඟ හරවා ගැනීමට ද එකල ගැමියා උපන් හපන්කම් දක්‌වා ඇත්තේ මෙසේය.
    හේනේ කුඹුරේ වෙහෙස මහන්සිය දහදිය හෙළා තමා රක්‌ෂා කරන ගැමියා බිරිඳ හඳුන්වා ඇත්තේ රත්තරං කඳක්‌ ලෙසින්ය.


    බුලත් කඩාදෙමි කට රතු කරගන්ට
    සපුමල් නෙළාදෙමි වරලස ගවසන්ට
    දිවසළු ගෙනත්දෙමි බඳවට සරසන්ට
    එතොත් වරෙන් දිව සැපදෙමි වළඳන්ට

    බුලත් මොටද කස්‌තුරි කපුරු කන මට
    සපුමල් මොටද නාමල් පළඳනා මට
    දිවසළු මොටද පටසළු ගවසනා මට
    අන් හිමි මොටද මගෙ රන්කඳ ගෙදර කොට


    -දිවයින-
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජනකවිය හා සමාජ වර්ධනය-3

    මීට අමතරව එකිනෙකා පරයා නැඟී සිටීමේ ආශාවෙන් තුරන්ව ස්‌වභාවයෙන් යුක්‌තව කවුරුත් එකතුවෙන් කටයුතු කළ අතීත ගැමියාගේ එක්‌ ජීවනෝපාය මාර්ගයක්‌ වූයේ බඹර කැපීමය.

    බඹර කපා ගත් පසු එය ගමේ හැමටම එකසේ සාධාරණ ලෙස බෙදීම එකල ගැමියාගේ සිරිතය. එය ඔවුන්ගේ සමගිය, සමානාත්මතාවය පෙන්නුම් කරන්නක්‌ විය. මේ එවන් අවස්‌ථාවකි.

    මලේ හැමතැනම බඹරුන් අඬන්නේ
    බඹරු බැන්ද තැන අපි වද සොයන්නේ
    බඹර කපා පැණි හැමටම බෙදන්නේ
    බඹරුනි තොපිට පින් අත්වෙයි කියන්නේ


    සමාජය සංවර්ධනයට නම් පුද්ගල සංවර්ධනය ද සමතාවය, මානව ගරුත්වය හා සමාජ සාධාරණත්වය ආරක්‌ෂා වීම සිදුවිය යුතුය. ජන කවියා පුද්ගල සංවර්ධනයේ එක්‌ අංශයක්‌ වන අධ්‍යාපනයේ වටිනාකම මෙලෙස කවියට නඟා ඇත.

    දහසක්‌ දෙනා හිටිනා සබ මැද්දේ
    අකුරු උගත් අයමයි පර සිද්දේ
    අකුරු නොදත් අය ගොන් වැනි බැද්දේ
    උගත මනා දෙයමයි තම ලත්දේ


    සමාජය යහපතට යොමු කරනු වස්‌ උපදෙස්‌ දීම ජන කවියා විසින් සිදු කර ඇත. මෙම උපදෙස්‌ යහපත් සමාජයක්‌ බිහි කිරීමේ අරමුණින් යහපත් මිනිසුන් බිහි කිරීම අරබයා ලබාදී ඇති බැව් කවි පිරික්‌සීමේදී පෙනේ.
    මිතුරන් ඇසුරේදී වඩාත් ප්‍රවේශම් විය යුතුය. ඔවුන් විසින් පෙන්වන්නා වූ සුහද බව ඔවුන් තුළ නොතිබිය හැකිය.


    මල් මල් කීවාට හැම මල් සුවඳ නැත
    මිතුරන් කීවාට හැමදෙන එකඟ නැත
    සමන් පිච්ච මල මුදුනේ රේණු නැත
    පිටතට පෙනෙන හිතවත්කම සුවඳ නැත


    එපමණ ද නොව කට මැත දොඩන පුද්ගලයන් තුළ කිසිදු හැකියාවක්‌ නොමැති බවත් ඔවුන් සමාජයට යහපතක්‌ නොව අවැඩක්‌ම සිදුවන බවත් ප්‍රකාශ කරන කවියක මේ මුල් හා අවසන් පද දෙකයි.

    බස්‌සා නිදි මරයි කිසි හොරකමක්‌ බැරි
    .
    .
    සිවලා සිංහ වෙස්‌ ගත්තත් නාද බැරි


    මෙලෙස ජන කවියා විවිධාකාරයෙන් කවි ගොතා කියා ඇති අතර එමගින් සිදුවී ඇත්තේ සමාජයට යහපතක්‌ම මිස අවැඩක්‌ නොවන්නාසේම ජන කවියා, ජන කවියා තුළින් සමාජ සංවර්ධන කාර්යයට මිනිසුන් පෙළඹවීමට බෙහෙවින් උත්සාහ දරා ඇතිවාක්‌ මෙන්ම උපදේශනයන් ද බොහෝ සෙයින් ලබාදී ඇත. එම උපදේශ බොහෝමයක්‌ම පුද්ගල ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම්වලින් යුක්‌ත අතර එතුළින් පුද්ගලයාගේ අදහස්‌, සිතුම් පැතුම්, ක්‍රියා කලාපය යහපත් මඟට යොමු කොට එතුළින් හික්‌මුණු හා සංවර්ධිත සමාජයක්‌ බිහි කිරීමට ජන කවියා උත්සාහ දරා ඇත.

    සුජීව සම්පත් බ්‍රාහ්මණනායක
    -දිවයින-
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තෙතඟු කවි

    තෙතඟු කවි

    ගොයම් කැපීමේදී තෙතඟු ගී ගායනා කරනු ලැබේ.

    පිහිල්ල ලග ගලේ සිටන් බලාන් සිටිනවාත් තෙතඟු
    අලංකාරයෙන් සුලගට මල කැරකෙනවාත් තෙතඟු
    බඹරැ ඇවිත් මල වටකර නාද කරනවාත් තෙතඟු
    මෙරන් මෙතට මල අඹරට උඩින් පෙනෙනවාත් තෙතඟු

    එමල් වනේ වන මුදුනේ වන මල් පිපිලාත් තෙත
    ඟු
    මල මුදුනේ බමරු ගනේ මල් පැණි බීලාත් තෙතඟු
    මද පවනේ සුවද ගෙනේ දස අත පතත් තෙතඟු
    වන සිහිනේ දුටු දනගේ මන නෙත් තුටුකලත් තෙතඟු

    සිංදු කියන අපි සැම දෙන කැලණිය වැදලාත් තෙත
    ඟු
    ධාතු සොදට පෙති පිළිමත් දෝතින් වැදලාත් තෙතඟු
    ස්වර්ණ හංස තිලකේ සිරිපාදය වැදලා ත් තෙතඟු
    එන මෙත්තේ බුදුන් දකිමු සිරි පා වැදලා ‍ තෙතඟු

    ****

    තෙතඟු කවි




    මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි‍‍යේදී පටිගත කරන ලදී .


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සී පද

    සී පද

    සිංදු සිවු පදයි තැන තැන ඉද කියනා
    බිංදු දහඩියයි නලලේ තොර නොවෙනා
    පෙර කල අකුසලෙන් ගල් කූරු උගුලනා
    ලන්දු සොඳ රුවයි හේනේ මදු නෙලනා

    ඉරු දෙවියන් ඉර මුදුනින් වඩින තුරා
    සද දෙවියන් සද මුදුනින් වඩින තුරා
    ගණ දෙවියන් ගණ අදුරෙන් වඩින තුරා
    සිවු පද කියමු අපි ඉරු ගල තිබෙන තුරා

    මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
    රලේ රලේ මුහුදෙන් දමන දිය රලේ
    බලේ බලේ රාසින් දෙවියන්ගෙ බලේ
    ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ

    දුම්බරේ කෙතේ වැට බැදලා රැකුම් බැලුම්
    මා වැලි ගගේ දිය බැදලා කෙතට ගිලුම්
    බොළද ලියන් කර ඔසවා බලන බැලුමි
    තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්

    රොත්තෙන් රොත්ත එන වලි කුකුළු පැටියනේ
    නිත්තෙන් ගොබලු දෙපතුල් රතු කොබෙයියනේ
    අසල ගසේ මල් අවුලන පරෙයියනේ
    බාල නගා නුදුටුද සියලු දෙවියනේ

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුරක්කන් කවි

    කුරක්කන් කවි

    ගොවින් කුරක්කන් කපන අවස්ථාවේදි ඔහුන්ගේ වෙහෙස නිවා ගැනීම සදහා කිව් කවි කුරක්කන් කවි ලෙස හැඳින්වේ.


    මුලදි කැලේ හැටි බැලුවම කුමක් වැනි
    පිහිය නුදුටු අපේ මාමගේ රැවුල වැනි
    හේන කොටා ගිණි තිබ්බම කුමක් වැනි
    බඳින දවසේ එළිකල මගේ මුහුණ වැනි

    කුරක්කනේ පොඩි පැල්පත කුමක් වැනි
    විසි වයසේ මගේ කම්මුලේ පෙනුම වැනි
    පීදිගෙන එන කුරහන් කුමක් වැනි
    අලුත් ළමිස්සියකගේ මල් හිනා වැනි

    බණ්ඩි කුරක්කන් පැද්දෙනු කුමක් වැනි
    පොඩි නෑනා දුර සිට අත වනන වැනි
    පැසී තිබෙන විට කුරහන් කුමක් වැනි
    පෝරුව උඩ මනමාළිගේ ඔළුව වැනි

    නැමි තිබෙන රතු කුරහන් කුමක් වැනි
    මගුල් ලගඳි නෑනා ඉස වනන වැනි
    කරල් කපා මලු පුරවනු කුමක් වැනි
    අතිරස උයා මගුලට එක් කරනු වැනි

    කැපූ කුරක්කන් ගෙන යනු කුමක් වැනි
    මනමාළිය කැන්ඳාගෙන යන්න වැනි
    වංඩුව බැද තැනු පිට්ටුව කුමක් වැනි
    මිරිසවැටිය අව්වට දිළිසෙනා වැනි

    ගම රාළගේ කට එතකොට කුමක් වැනි
    වළාකුලෙන් මතු වි එන සඳක් වැනි
    ඒක දැකපු කම්මැලි කට කුමක් වැනි
    කරත්තයට අසුවුණ කඡු ලෙල්ල වැනි

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇඹරුම් හීපද 1

    කුරක්කන් කවි ගොඩට ම දමා ලේබල් කළ
    නුවර කලාවියේ ඇඹරුම් හීපද


    පේ පාරම්පරික ජන කවිය උපත ලද්දේ ජනතාව විසින් යෙදෙන එක් එක් වෘත්තීන් පාදක කොටගෙන ය. කුරක්කන් කවි ගැල් කවි, පාරු කවි, පතල් කවි, නෙළුම් කවි ආදී කවි වර්ග ඒ ඒ වෘත්තීන්ට ආවේණික වූ ක්‍රියාකාරකම් තේමා කොටගත් ඒවා ය. යම් යම් කාර්යයන්හි නියැලීමේ දී ඒ සඳහා වන මහන්සිය විඩාව දුරුකර ගැනීමට කවි කීහ.
    පැල් රැකීම වැනි කටයුතුවලදී තනිය මකා ගැනීමට හා පාළුව කාන්සිය මඟහරවා ගැනීමට කවි කීහ. මේ හැර කය්ය මුත්තේට්ටුව වැනි අවස්ථාවලදී අව් රශ්මියේ විඩාබර බව අමතක කරලීමට සාමූහික ව කවි කීහ. මේ සෑම විට ම ඒ ඒ කාර්යයට උචිත අරුත් දෙන කවි ම තෝරා ගැනීමට අපේ ජනකවීන් උනන්දු වූහ.


    එහෙත් ජනකවි වර්ගීකරණයේ දී නුවරකලාවියේ ගමගෙදරින් අසුණු කුරක්කන් අඹරන විට ගායනා කරන ඇඹරුම් හීපදවලට අසාධාරණයක් සිදුවී තිබේ. දුර බැහැරින් ගම්වදින වියත්හු අපේ පාරම්පරික ඇඹරුම් හීපදය ද කුරහන් කපන විට ගයන කුරක්කන් කවි ගොඩට ම දමා ලේබල් කර තිබීම නිසා ඇඹරුම් කවිය අප අතරින් දුරස්වී ඇති බැව් සඳහන් කළ යුතු ය.

    කුරක්කන් තමා හේනේ පැහෙන්නේ
    නරක්කන් තමා උඹ මට කරන්නේ
    කොච්චර නරක්කන් කෙරුවත් බොලන්නේ
    කුරක්කන් හේන කපලයි ගමට යන්නේ

    මෙය කුරක්කන් කපන විට ගායනා කරන කුරක්කන් කවියක් බව පැහැදිලි ව ම පෙනීයයි. එහෙත්

    ගමේ ගෑනු ඔක්කොම නිදි බොලන්නේ
    මගෙ නෙත් දෙකට කවදද නින්ද යන්නේ
    ඇයිද ගලේ ඔය හොර දඟ කරන්නේ
    ඇටපොතු නැතිව පිටි ඇඹරී වැටෙන්නේ

    යනුවෙන් ගැයෙන මේ සිව්පදය කුරක්කන් අඹරමින් කියන කවියකි.
    සැමියා රාත්‍රි කාලයට පැලට යයි. දරුවන් සමඟ ගමේ පැලේ ගෙයි ඇතුළට වී දොර වසාගන්නා ගෙවිලිය පසුදින උදේ ආහාරය සඳහා කුරහන් අඹරා පිටි සකස් කර ගත යුතුය. ගෙයි මුල්ලේ ඇති කුරහන් ගල අසල හිඳ ගන්නා ඇය කුරහන් අඹරමින් කවි කියන්නේ පාලුව කාන්සිය හා වෙහෙස මඟහරවා ගැනීමට ය.
    අතට බර දෙන ගල නිසා දැනෙන වෙහෙස හා දුක ඇය පවසන්නේ කුරහන් ගලට ම ය. ගමේ ගෑනු ඔක්කොම නිදි. තමාගේ නෙත් දෙක නිදිබරවී ඇත. අනේ ගලේ හොර බොරු නැතු ව ඇට පොතු නැති ව පිටි ටික ඇඹරිලා වැටෙන්ඩ සලස්වාපන්. කියන ගෙවිලියගේ දුක්බර අඳෙීනාව මේ පද හතරෙහි අපූරුවට සටහන් ව ඇත.


    හඳ පායාගන එනකොට ඉඳගත්තා
    ඉර පායාගන එනකොට පිටි පිස්සා
    ඇට කොරලා පොතු කරලා අරගත්තා
    ඒ කොරලාවත් මයෙ බඩ කොස්පොත්තා

    මළපතේ අකුරක් නොදත් ගැමි ගැහැනියකගේ කාව්‍යමය ප්‍රතිභාව මොනවට පිළිබිඹු වන ඇඹරුම් කවියකි. ඇය රාත්‍රියේ සඳ පායාගෙන එනවිට කුරහන් ඇඹරීම අරඹයි. පසුදින ඉර පායන තුරු ම කුරහන් අඹරයි.
    කුරහන් ඇට පිටින් ම පොතු පිටින්ම වැඩේ නිම කළත් ගෙදර සිටින අය (විශාල පවුලක්) කෑම කෑ පසුව ගැහැනියට ඉතිරි වන්නේ නැත. සිද්ධිය එය වුවද ඒ සඳහා ඇය යොදාගත් උපමාරූපක විමසා බැලීමේදී ඇගේ කුසලතාව මොනවට පැහැදිලි වෙයි.
    හැන්දෑවේ සිට පහුවදා එළිවෙන තුරු මහන්සි වූ බව ඇය පවසන්නේ හඳ පායන වෙලාවේ සිට ඉර පායන වෙලාව සඳහන් කරමිනි. මේ හැර ඒ කොරලාවත් මගෙ බඩ කොස්පොත්තා යනුවෙන් හිස් බඩට උපමා කරන්නේ ඉවත ලන කොස්පොත්තයි.
    කැකිරි පොත්තක් ලබු පොත්තක් උපමා නොකර ඇය කොස්පොත්ත ම තෝරා ගත්තේ ඉන් දනවන අරුත පුළුල් නිසා ය. හිස්බඩ පොත්තක් සේ තිබීම පමණක් නොව කුසගින්න නිසා ඇතිවන කටුක වේදනාව කොස්පොත්තේ කටුවලින් දැනවීමට ගැමි කිවිඳිය සමත් ව ඇති බව පෙනේ.





     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇඹරුම් හීපද 2

    කුරක්කන් කවි ගොඩට ම දමා ලේබල් කළ
    නුවර කලාවියේ ඇඹරුම් හීපද - 2

    අඹර කුරක්කන් කලුවේ
    ගලවට පිටි කොයි කලුවේ
    රොටී හතක් උය කලුවේ
    මටත් එකක් දිය කලුවේ

    ආදී වූ මේ සියල්ල ඇඹරුම් කවියි. එහෙත් අපේ ජනකවි වර්ග කරන බුද්ධිමතුන්ට ඇඹරුම් කවි ගැන කිසිදු අවධානයක් තිබී නැති බව පෙනේ. එය අවධානයක් ද අවබෝධයක් ද අනවබෝධයක් ද යන්න වෙන ම කතා කළ යුතු මාතෘකාවකි.


    අඹරාලා පිටි පෙට්ටිය ඉසේයා
    තම්බාලා සුදු පුස්කොල කනේයා
    අන්දාලා සුදු සේලේ ඉනේයා
    රටක් වටින රම්මැනිකා කැළේයා

    පිටි ඇඹරීමේදීත් ගැමිලිය අත්තමට හෝ කය්යට කටයුතු කර ඇත. අවිවාහක තරුණ යෙහෙළියන් තනියට කැඳවා ගන්නා අවස්ථාවල දෑලේ පිටි ඇඹරීම කරති.
    දෙදෙනා එක් ව ගල්කණුව අල්ලාගෙන ගල කැරකවීමේදී අතට දැනෙන බර බෙදීයයි. ඒ ක්‍රමයට දෙදෙනාගේ ම පවුලේ ආහාරය සඳහා එක් ව පිටි ඇඹරීම කරයි. එබඳු සමීප යෙහෙළියක් පිටගමකට දීග ගියපු අවස්ථාවක තනිවූ අනෙක් යෙහෙළිය කී කවියක් ලෙස මෙය සඳහන් කරයි.
    එහෙත් එවකට තරුණ රූමතියන් පැහැරගෙන යන සැඩොල් තරුණයින් විසින් මේ කියන රංමැණිකා පැහැරගෙන ගිය පසු ව මේ කවිය කී බව ජන කතාවක සඳහන් වෙයි. “රටක් වටින රම්මැණිකා කැලේයා” යන පදයෙන් ඒ බව අනුමාන කළ හැකිය.


    කෙසේ වතුදු සිංහල ජනකවි සොයා නුවරකලාවිය කොටු ගම්මාන කරා පිවිසෙන බොහෝ ජනශ්‍රැති පර්යේෂකයින් අත්තප්පාගේ බුලත් කොක්කනමට සීයේ කොලයක් ඔබා කොළඹ පැලැන්තියේ කතාලතාවෙන් රැස්කර ඇති ජනකවි අතර ඇඹරුම් හීපදය ගොලුවී ඇත.
    ඇඹරුම් හීපද ද කුරහන් කවි ගොඩට දමා ලේබල් කර ඇති වාර බොහෝ ය. ගමේ ගැමි ගෙදර ගෙයිමුල්ලේ කුරහන් ගල තැබීමට ද මූලික හේතුව වී ඇත්තේ එදා ගැමිලියගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම නිසා ය.


    කුරහන් අඹරන විට ගැයෙන ඇඹරුම් කවියේ ඇත්තේ ද අපූරු තාල රටාවකි. කුරහන් ඇඹරීමේදී ගැමිලිය ඉදිරියට හා පසුපසට පැද්දෙන තාලය අනුව කවිපදයේ අවසානයට ආන්..ආන්..ආ... යනුවෙන් අපූරු ගායන විලාසයක් මතුකරයි. එය නිදිමත හා මුසු ව ඇති වෙහෙසකර බව දනවන නාද රටාවකි.

    කරේ බලාපන් කලුවේ
    කරවට තැලි කොයි කලුවේ
    ගලේ බලාපන් කලුවේ
    ගලවට පිටි කොයි කලුවේ

    මෙවැනි කවි වෙනත් තාලයකින් ගායනා කරනු ලැබේ.

    කුරක්කන් ඇඹරීමේ ක්‍රියාවලිය ජනකවි අතර එන තේරවිලි කවියකට එක්වූ අයුරු මෙසේ ය.

    රෙද්ද උහාලා කෙටි වැටි කරලා
    දණබිම ගහලා ඉඳගත්තේ
    පලයන් කියලා තල්ලු කරාලා
    ආයෙත් ළඟට ම ඇද ගත්තේ
    උඩින් දමන කොට යටින් බහිනවා
    යනකොට පිහගනමයි යන්නේ
    මෙතුන් පදේ තෝරාලා කීවොත්
    කලියුගයට පණ්ඩිත වන්නේ

    කුරක්කන් ඇඹරීම සඳහා වාඩිවී කුරක්කන් ගල කරකැවෙන විට අඹරන තැනැත්තියගේ ශරීරය ක්‍රියාකරන ආකාරය මතුගලේ ඇති සිදුරට කුරක්කන් ඇට දැමීම වැනි සියලු ක්‍රියාකාරකම් අපූරුවට පෙළගස්වමින් ගැයෙන මේ තේරවිලි කවිය ද කුරහන් අඹරන විට ගායනා කරති.

    කෙසේවතුදු ජනකවි වර්ග රාශියක් අතුරින් නුවරකලාවියේ ඇඹරුම් හීපද ප්‍රධාන කවි වර්ගයකි. එහෙත් ඒ කවි කුරක්කන් කවි ගොඩට ම වැටී ලේබල් ඇලවී තිබීම කනගාටුවට කරුණකි. හතර අතට හරවමින් හෙළ ජන කවිය අගය කරන වියතුන් ඇඹරුම් කවිය ද අපේ ජනකවි අතර ප්‍රමුඛ කවි වර්ගයක් බව අමතක නොකළ යුතුය.

    කට්ටඹුවාගම
    විජයපාල කුමාරසිංහ

    -සිළුමිණ-