අත්තාහි අත්තනෝ නාථෝ
කෝ හි නාථො පරෝ සියා
අත්තනා’ ව සුදන්තේන
නාථං ලභති දුල්ලභං
තමාට පිහිට තමාමය. වෙන කවරකු තමාට පිහිට වේද? තමා මනාව දැමුණූ කල්හි දුර්ලභ වූ පිහිටක් ලබන්නේය.
බුදුරජාණන්වහන්සේ වදාළ මේ ගාථා පාඨය කෙතරම් සත්‍යයද යන්න වැටහෙන්නේ එදිනෙදා ජීවත්වන විටය. අට ලෝ දහමින් අකම්පිතව, නිහතමානීව සදාකාලීක නිවීම සොයා යන ගමනේදී මුහුණපෑමට සිදුවන බධා අපමණය. ඇති වී බිඳෙන සබඳතා අපමණය. මේ සියල්ල පසුතැවීම සහ බිය ජනිත කිරීමට සමත්වෙයි. ඒ සෑම විටම අප කරන්නේ නොපෙනෙන දෙවියකුට හෝ දෛවයට එය බාර දීමය. නැත්නම් ලඟ සිටින්නකුට දොස් තැබීමය. ඒ තැනැත්තා මව, පියා, දරුවා, යාළුවා, බිරිඳ, ස්වාමිපුරුෂයා ක්යා වෙනසක් නැත. අවම වශයෙන් රාජ්‍යය නයකයා හෝ දෝෂාරෝපණයට ලක් වෙයි.
සමහරු දෙමාපියන්ට, දරුවන්ට, කලත්‍රයාට බැඳෙන්නේ තමාට ඇති හොඳම වස්තුව, සැනසීම එයයි සිතමිනි. නමුත් ඒ සියල්ල තාවකාලික බව වැටහෙන්නේ කුමක් හෝ අවුලක් මතු වූ විටය. අවුල කුමක් හෝ න්සා විසඳුන විට නැවතත් පෙර පුරුදු චක්රයටම යොමු වෙයි.
බොහෝවිට අපි හිතන්නේ අපේ ප්‍රශ්නවලට, ආරවුල්වලට විසඳුම් ඇත්තේ තවකකු ලඟ කියායි. නමුත් එය සම්පූර්ණ මිත්‍යාවකි. ප්‍රධාන කරුණු කීපයක් නිසා අපේ ජීවිතයට ප්‍රශ්න ඇති වෙයි. එයින් 80% කටත් වඩා ප්‍රශ්ණ ඇති වන්නේ අපි තුලින්මය. තවත් 20% ක් පමණ ප්‍රශ්න අප වසන පරිසරය නිසා ඇති වේ. බුදුරජාණන්වහන්සේ ඒ දැක, සුදුසු පරිසරයක වාසය කිරීම මංගල කරුණක් ලෙසින් දක්වන්නට යෙදුන සේක. අප තුලින් ප්‍රශ්න ඇති වෙනවා කියා පිලිගැනීමට අප අකමැතිය. එය මානය සහ අවිද්‍යාව නිසා ඇතිවන මානසික තත්ත්වයකි. එහෙත් සිතන්න, යමකු විසින් නිරපරාදේ ඔබට චෝදනා කරනවිට ඔබට තරහ ඇති වන්නේ බනින්නා නිසාද කියා. නැත. ඔබට තරහ ඇති වන්නේ මේ මිනිසා මට නිරපරාදේ බනිනවා යන සිතුවිල්ල නිසාවෙනි. එය මානය සහ අවිද්‍යාව නිසා ඇති වන්නකි. එවිට වරද බනින්නාගේ නොව ඔබේය. සාධාරණ හේතුවකට දොස් නගද්දී ඇති වන කෝපය ද එසේමැයි. අවිද්‍යාව සහ ද්වේශයත්, මානයත් එක්ව එය හට ගනී. මෙකී තත්ත්වයෙන් අත්විඳීමට නම් ඉවසීමත්, උපේක්ෂාවත්, මෛත්‍රියත් ඔබ තුල තිබිය යුතුය. බුදුරජාණන්වහන්සේ විසින් මේ ගුණාංග ඔබ තුල වර්ධනය කර ගන්නා ලෙසින් උපදෙස් දෙන්නේ එහෙයිනි. ඉතින් ඇත්තටම වරද ඇත්තේ කා තුලදැයි මේ ආකාරයට ඔබට හඳුනා ගත හැක.
මේ තත්ත්වයන්ගෙන් මිදිය හැක්කේ තමන්ටම පමණි. එහෙයින් පෙර කී ගාථා පාඨය බුදුරජාණන්වහන්සේ වදාළේ. නිවන් දැකීමට නැත්නම් සදාකාලික සතුට සොයන්නා මැනවින් ප්‍රගුණ කළ යුතු ගාථා පාඨයකි ඒ. ඔබත් ඔබේ දිවිය සරු කර ගැනීමට කැමැතිනම් තමන්ට තමා පහනක්කර ගනිමින් ජීවත්වන්න. අන් අයට වරද පැටවීමෙන් වලකින්න.
ඔබේ උරුමය, ඔබේ දෙමාපියන්, ඔබේ ඥාතියෝ වන්නේ ඔබේම කර්මයම මිස අන් ුයගේ කර්මය නොවේ.