මහන්සිවෙලා හිටපු වෙලාවක ඒ ලැබුණු තේ උගුර වටින්නේ මහන්සිය නිසාම නෙවෙයි ඒක ජිත්මි අතින් ලැබුණු තේකක් නිසා. ජිත්මි තේක මට දෙන වෙලාවේ ඒ ඇස්දෙක දිහා බැලුවේ අහම්බෙන්. ඒ ඇස් දෙක යොමුවෙලා තිබුනේ තේක දිහාවට.තේක ගන්නත් අමතක වුනා ඒ රත්තරන් ඇස්දෙක දිහා බලන් ඉන්න කොට. කවුරුහරි ඒ ඇස්දෙක දැක්කොත් සත්තයි උන්හිටි තැන් අමතක වෙනවා, ජිත්මිගේ ඒ ඇස්වල මොකක්දෝ බලයක් තිබුණා.
මම තේ එක අතට ගන්න පරක්කු වුන නිසාද කොහෙද ජිත්මි ඇස්දෙක උස්සලා මගේ මූණ දිහා බැලුවා. ඒ ඇස්දෙක මගේ ඇස්දෙකට මුණ ගැහුනේ තත්පර කීපයකට. මගේ උගුර කට වේලිලා ගියා ඒ ඇස්වල බැල්මට. අන්තිමට තත්පර කීපයකට පස්සේ මම තේ එක ගත්තම ජිත්මි මම හිටපු තැනින් ගියා.
“මේ දිස්නක අයියේ..මොකද...ගොඩදාන්න අමාරුද?“
හොඳම සිද්ධියේ අන්තිම හරියෙදි නෙත්මි ඇවිත් මම හිටපු හීන ලෝකෙන් මම අල්ලලා පොලවේ ගැහුවා වගේ කරා. මම පියවි ලෝකෙට ආවේ ඒ වෙලාවේ තමයි.
“හ්ම්ම්..බැරි වෙන එකක් නෑ..දැන් දාලා බලමු“
වයර් ටික හරියට හදලා ටී.වී එක දාලා බැලුවා. එතකොට ජිත්මි සාලේ ඈත කෙලවර පුටුවක වාඩිවෙලා පොතක් කියව කියව හිටියා. ටී.වී එක යන්තම් හරි වගේ. මම සේරම ඉවර කරලා නැගිට්ටා.
“ආ හරි වගේ නේද?..දිස්නක අයියා දස්සයා..මරු මරු..“
නෙත්මි හරි සන්තෝසෙන් අත්පුඩියක් එහෙම ගහලා කිව්වා. මම හීන් හිනාවක් දාලා ජිත්මි දිහා බැලුවා. එයානම් කිසිම ප්‍රතිචාරයක් පෙන්නුවේ නෑ.
“පොඩි ප්‍රශ්නයක් තිබුණේ නංගි“
“හරි හරි...කොහොමහරි ගොඩනේ වැඩේ..ඒක නෙවෙයි කොහොමද අපේ අක්කගේ තේ එක?“
එතකොට ඒ තේක ජිත්මි හදපු එකක්. පුදුම දවසක්නේ අද. ජිත්මි හදපු තේකක් බිව්වා කියලා දැනෙනකොට ආයෙත් ඒ තේක බොන්න තිබුණානම් කියලා හිතුනා.
“මරු නංගි..කියලා වැඩක් නෑ..මම එහෙම තේකක් බිව්වමයි“
“අපෝ ඔච්චර බටර් ගාන්න එපා...අරයා උඩින් යාවි“
එහෙම කියලා ජිත්මි හිනාවෙනකොට ජිත්මි යන්තම් ඔලුව උස්සලා බලලා නෙත්මිට එරෙව්වා.
“පුතේ ගොඩක් ස්තූතුයි අනේ..මහන්සිවෙලා ඉන්න වෙලාවේ මේ උදව්ව කලාට“
යන්න එලියට එද්දි ඇන්ටි ඇවිත් බොහොම ලෙංගතු විදියට කිව්වා.
“ඒකට කමක් නෑ ඇන්ටි..මම ගිහින් එන්නම්...යන්නම් නංගි...“
කට්ටියටම යන්නම් කියලා ගෙදර ආවේ හිතේ දාහක් දේවල් පුරවගෙන. ඇත්තමයි අදනම් මරු දවසක්.
* * * * * * * *
ඊට පස්සේ දවසේ හිතේ තිබුණ සතුටට මමයි, සමීරයි, ධනුෂ්කයි වැඩ ඇරිලා හවස මයුර එක පැත්තේ ගියේ සුපුරුදු සුප් එකකට වගකියන්න. හවස පහට විතර මූදු හුලඟ වැදි වැදි සුප් එකක් බොනකොට හරිම සැහැල්ලුවක් හිතට දැනුනා. යාළුවෝ දෙන්නට මම වෙච්ච දේවල් සැකෙවින් කියලා අදහස් බැලුවා.
“අස්පට උඩු...උඹ එහෙනම් තැනට වෙලාවට නියම ක්‍රමේට වැඩේට බැස්සා...මගේ සුබ පැතුම් මස්සිනා“
ධනුෂ්ක මට අතට අත දීලා හිනාවුනා. සමීරයා කින්ඩි හිනාවක් දාගෙන මගේ දිහා බලාගෙන සුප් එකේ මස් කට්ටක් හොයනවා.
“තැන්ක්ස් මචං..සමීර උඹත් මොනවාහරි කියපන්“
“මම ඉතින් මොනවා කියන්නද..ඔහොම ගිහින් තව ටික දවසකින් උඹ ඒ උත්තමාවිය දාගනීවි...තනිකඩ මට යන කල මොකක්ද බං...මට වෙන්නේ කෑල්ලක් නැති මට ලෑල්ලත් සැපයි කියලා මාළු ලෑල්ලක නිදාගන්න තමයි“
සමීරයගේ කතාවට අපි දෙන්නටම සුප් හරිවුනා.
“මචං...මම ගොඩ ගියොත් එහෙම සිරාවට මම නෙත්මිට වචනයක් දාලා බලන්නම්..හැබැයි ඉතිං උඹ ඇස්ගහලා කාඩ් කුඩු කරගෙන තියෙන්නේ..කොහොමද කටක් ඇරලා ඒ ගැන කතා කරන්නේ“
“ඒකත් ඇත්ත තමයි...කෝක වෙතත් උඹ ඔට්ටුව ගොඩ දාගනින්..මම මේ දවස්වල දිලූප උඹට හොයලා දෙන්න විදියක් හොයනවා..මගෙනුත් හෙල්ප් එකක් තියෙන්න එපායැ“
“ඒකනම් එල වැඩක් මචං..දිගටම හොයලා බලපන්“
* * * * * * *
ඔට්ටුවට මාසයක්ම පිරුණා. ඒ හරියටම පෝය දවසේ. නිවාඩු ලැබුන හින්දා ගෙදරට වෙලා පොතක් කියවන්න ගත්තා. නවයට හරියට අරලිය ගහ මන්දිරේ බණ. නැන්දා ජනාධිපති තුමා වාඩිවෙන්නත් කලින් බණට වාඩිවෙනවා. ඒ වගේම සද්දෙට සාධුකාර දීලා බණත් අහනවා. මේ පෝයට සිල් ගන්න බැරිවුනාට නැන්දා නිතර සිල් ගන්නවා. මමත් පොත කියවන ගමන් බණ අහගෙන හිටියේ.
“කොහෙද දරුවෝ මේ පෝය දවසේ යන්න හදන්නේ“
“අනේ අම්මේ මම අම්මට ගිය සතියෙත් කිව්වේ..අද ක්ලාස් එකේ බණක් කියනවා...අපි සේරම යනවා “
එහා ගෙදර ඇන්ටියි ජිත්මියි අතර සිද්ධවෙන කතාව හොඳට මට ඇහුනා. ජිත්මි පෝයට පින් කරගන්න යන්න වගේ.
“හා කමක් නෑ..යාළුවත් ආව එකේ ගිහින් එන්නකෝ“
“හා අම්මේ“
ජිත්මි ටවුන් යන්න. ඒ එක්කම හදිසියේ හිතට ආවේ මාත් ගියානම් හොඳයි කියලා.ඒත් කෝ ලේස්ති වෙන්න වෙලාවක්. දඩි බිඩි ගාලා ඩෙනිමක් දාගෙන ටී ෂර්ට් එකකුත් දාගත්තා..කොණ්ඩේ අතින් හදාගෙන පර්ස් එකත් අතට අරගෙන සාලේ මැදින් ආවා.
“චූටි පුතා මේ පෝය දවසේ කොහේ යන්නද“
නැන්දා වැඳගෙනම මගෙන් ඇහුවා. මම හිනාවක් දාලා ඇත්තම කිව්වා.
“මම ටවුන් එකට යනවා නැන්දේ“
එතනින් එහාට නැන්දා කිසිදෙයක් ඇහුවේ නෑ. මම දුවගෙන පාරට යද්දි ජිත්මි යාළුවෙක් එක්ක බස් හෝල්ට් එක පැත්තට යනවා. මම පුබුදු මාවත දිගේ ඉක්මණ් ගමනින් ඒ දෙන්න පස්සෙන් ගියා.
බස් එකට නගිද්දි ජිත්මි මාව දැක්කා. හීන් හිනාවක් මූණට ආවත් ඒක පෙන්නුවේ නෑ. බස් එකේදී ජිත්මි මට පේන දුරින් හිටියා. එයා යාළුවා එක්ක ලොකු කතාවක හිටියේ. මම ඉතින් ඒ කතාවට බාධාවක් නොවන විදියට බලාගෙන හිටියා.
බස් එකත් හිමින් හිමින් ස්ටෑන්ඩ් එකට ආවා. ජිත්මි යාළුවත් එක්ක බැහැලා බීච් රෝඩ් එක පැත්තෙන් ක්ලාස් එකට යනවා. දැන් තමයි මතක් වුනේ දුවගෙන ආවට දැන් ඉතින් මේ බණ ඉවරවෙනකං කොහේද ඉන්නේ. යන්න තැනකුත් නෑ. ඒ මදිවට කීයට බණ ඉවරවෙනවද කියලා දන්නෙත් නෑ.
කමක් නෑ බණක් උපරිම පැයක් දෙකක් යාවිනේ බීච් එකට වෙලා ටිකක් චාටර් කනවා. වපුරන තරමටනේ ඉතින් අස්වැන්න ලැබෙන්නේ. මම එහෙම හිතලා බීච් එකට වෙලා මුහුද දිහා බලාගෙන හිටියා. එහෙම ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නේ නෑ. හිතේ තිබුණ ගොඩක් දේවල් ඒ හුලගේ පාකරලා යවන්න පුළුවන්. මම පැයක් එකහමාරක් විතර එහෙම ඉන්න ඇති, විටින් විට හැරිලා ඇලෙක්සැන්ඩ්රා ක්ලාස් එක දිහා බැලුවේ බණ ඉවරවෙලා ළමයි යනකන්. පැය එකහමාරකට පස්සේ ලමයි එක්කෙනා දෙන්නා සුඳු ඇඳගෙන ක්ලාස් එකෙන් බැහැලා යන්න පිටත් වුනා. එහෙනම් ජිත්මිත් දැන් ඒවි කියලා හිතලා මම එයාට නොපෙනෙන් දුරින් ඉස්සරහට ගියා.
නාඳුනන සෙබලාගේ පිලිමේ ගාව නවත්තලා තිබුණ ඩීමෝ බට්ටා එකකට මුවාවෙලා මම හොරා පොලිස් කරනවා වගේ වැල්ල පාර දිහා බලන් හිටියේ ජිත්මි එනකං..ටික වෙලාවටක පස්සේ ජිත්මි එනවා තව යාළුවෝ දෙන්නෙක් එක්ක.එක්කෙනෙක් පුරුදු යාළුවා, උදේ ගෙදර ඉඳන් ආවෙත් එයත් එක්ක.අනිත් කෙනා දැකලා පුරුදු නෑ. ඒ යාළුවා ටිකක්දුර ඇවිත් මාකට් පාරෙන් හැරිලා ගියා. ජිත්මි යාළුවා එක්ක හිමින් හිමින් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා. මාකට් එක ගාව රේස් බුකිය ගාවට ජිත්මිලා එද්දිම කොහේද ඉඳලා ආපු බයික් එකක් ජිත්මියි යාළුවයි ගාව බ්රේක් කරලා නතර කරා. ජිත්මි එකපාරටම ඒ පැත්ත හැරිලා බැලුවා, හෙල්මට් එක ගැලෙව්වා...ඒ හිටියේ දිලූප.. දිලූප දැක්කම ජිත්මිගේ මූණ කලබල ස්වරූපයක් පෙනුනා. ජිත්මිගේ යාළුවනම් දිලූප දැකලා උඩපැනලා කෑ ගැහුවේ නැතුව විතරයි. දිලූප බයික් එකේ ඉඳගෙනම දෙන්නා එක්කම කතා කලා.ජිත්මිත් වචනයකින් දෙකකින් උත්තර දුන්නා. ටිකකින් ජිත්මි යාළුවත් එක්ක දිලූපත් ස්ටෑන්ඩ් එක පැත්තට යන්න ගත්තා. තුන්දෙනාම කධිර කැෆේ එක ඉස්සරහ නතරවුනා. දිලූප බයික් එක නතර කරලා ගෑණු ළමයි දෙන්නා එක්ක කැෆේ එක ඇතුලට ගියා.
වෙන්නේ මොකක්ද කරන්න පුළුවන් මොනවද කියලා මට හිතාගන්න බැරිවුනා. එතනටම වෙලා ගල්ගැහිලා වගේ වෙන දේවල් බලාගෙන හිටියා. කධිර කැෆේ එකේ වීදුරුවෙන් සිද්ධවෙන හැමදේම මට පෙනුනා. ඒ හැමදේම හදවත පසාරු කරගෙන යන දේවල් වුනත් අමාරුවෙන් බලං හිටියා. ජිත්මියි යාළුවයි දිලූපයි තුන්දෙනාම එකම ටේබල් එකක වාඩිවෙලා කූල් ඩ්‍රින්ක්ස් ගෙන්න ගත්තා. තුන්දෙනාම ලොකු කතාවකට බැහැලා හිටියා. ජිත්මිත් හොඳට හිනාවෙලා දිලූප එක්ක කතා කලා. දිලූපගේ ඇස් තිබුනේ ජිත්මි දිහාවටමයි.
ටිකකින් ජිත්මිගේ යාළුවා ජංගම දුරකතනෙත් අරන් නැගිටලා ටිකක් එහාට ගියා. හරියට ජිත්මිටයි දිලූපටයි ටිකක් නිදහසේ තනිවෙන්න ඉඩදෙන්න වගේ..දිලූප බොහොම ලංවෙලා ජිත්මි එක්ක කතාකලා.ජිත්මිත් හොඳට දිලූප එක්ක කතාකර කර හිටියා...දෙයියනේ මම මේ දකින්නේ හීනයක්ද..මගේ හිත කියාගන්න බැරි තරම් අසරණ වුනා..ඒ දෙන්නා මැදට ගිහින් ජිත්මිව අතින් ඇදගෙන එක්කගෙන එන්න හිතුනා..ඒත් හිත කියන හැමදේම කරන්න බෑ කියලා මට තේරුනා..ඒ දෙන්නා බොහොම ලංවෙලා කතාකරන විදිය තවදුරටත් බලන් ඉන්න මගේ හිත ඉඩදුන්නේ නෑ..ඒත් ජිත්මි මෙහෙම හිටිද්දි යන්න කකුල් දෙක සූදානම් නෑ වගේ..ඒත් තවදුරටත් බලාගෙන ඉන්න බැරි නිසා මම කිසිම දෙයක් නොහිතා ස්ටෑන්ඩ් එක පැත්තට යන්න ගියා.