උඩු මහලේ දිනක් මම හිඳ සිටින විට
සැමියා ඇවිත් දින දෙකකට පස්සෙ ගෙට
පෙන්වා හඳුන්වා බිතු සිත්තරෙක් මට
කිවුවා මෙලෙස ඔහු හට මගෙ ඉදිරිපිට
මේ මගෙ බිරිඳ ඇගෙ රුව තේජස් ලීලේ
විමසා බලා අරගෙන හොඳ හැටි කාලේ
වෙන සිටුවරුන් කිසි දා නොදුටුව තාලේ
සැරසිය යුතුයි හොඳ සිතුවමකින් සාලේ
හිතුවේ නැහැ කියා සැලකිල්ලක් පෙරදී
බැලුවම අහෝ මම නොවැ ඇත්තේ පැරදී
අනෙ අම්මපා කොච්චර තිබ්බත් වැරදී
ඇඳ සිතුවමක් ලොකු යුතුකම ඇත කරදී
ආ දවසේ පටන් මේ නිවසට කැන්දා
මට ඇති වෙලා මේ සෝබන වැඩ හන්දා
මුවින් නොබැන හිටියත් සැමියා හින්දා
අපෙ මිනිහටත් ඇත්තට පිස්සුද මන්දා
මේ රැස්වීම, අර පාටිය, පොත් දීම
මුල් ගල්, මතක කණු, විරුවන් සැමරීම
යන යන තැනට සිදුවෙයි පස්සෙන් යාම
මහ කරුමයක් නොවැ සිටු බිරිඳක් වීම
ඔය හැම වැඩම මදිවට යන එන වාරේ
ආරාධනා ලැබෙනව එක එක ආරේ
දවසක් නිදහසේ ඉන්නට ඉඩ නෑරේ
සමහර වෙලාවට මුළු දවසෙම පාරේ
පිටරට නැව් ගමන්, හොඳ රෙදි පිළි සේද
ඇති පමණට මුදල්, අබරණ වැනි දේද
ලැබෙනා නිසා හිටියත් නැතිවම බේද
ඉන්නට මෙහෙම කාටද පුළුවන් නේද
මෙලෙසින් මගේ සිතුවිලි ගලනා අස්සේ
මගෙ රුව ඇඳෙනවා ලී පලුවක් ඔස්සේ
නැහැ වතුරවත් උදයේ කෑවට පස්සේ
දැන් ඉඳපන්කො ඉඳගෙන වරුවක් තිස්සේ
හෙල්ලෙන්නත් බෑලු ඇද වෙනු හොඳ නෑලු
දඟලන්නත් බෑලු රූපය කැත වේලු
හිනැහෙන්නත් ඕනෙ දත් පෙන්නනු බෑලු
දැන්නම් මගෙ ඇඟේ උඩ පනිනව මාලු
ඇන්දට පස්සෙ නම් "මගෙ පෙම්බර දේවී"
යනුවෙන් එන අයට ලොකුවට පවසාවී
චිත්‍රය දැකල උන් අත් පොළසන් දේවී
දන්නවනම් ඇත්ත දෙකොනින් හිනැහේවී
'ජියොකොන්ඩෝගෙ' තුන් වැනි සුන්දර බාරි
සිතුවමෙ තේමාව මොක මුත් නැත කාරි
මදහස වතේ, හදවත ඇති බව සීරී
මගෙ රුව දකින අය හට යනු ඇත තේරි
-mihir.rc.uom
thanx brother

