ඇසළ පෝය v. දුක
අද ඇසළ පෝය. අනෙක් පෝයවල් වගේම වැදගත් පෝයක්. අද තමයි බුදුරජාණන්වහන්සේ පළමු ධර්ම දේශනාව පවත්වලා තියෙන්නේ. ඉසිපතනයේ මිගදායේ. පස්වග මහණුන්ට. සංයුක්ත නිකායේ සඳහන් වෙලා තියෙන මේ දේශනාව හඳුන්වන්නේ ‘ධම්මචක්කපවත්ත සූත්‍රය‘ කියලා. මේ සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තමන් විසින් අවබෝධ කරගත් ධර්මය. ඒ අනුව චතුරාර්ය සත්‍යය අවබෝධ කළ බව දේශනා කරනවා. චතුරාර්ය සත්‍යය තමයි දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පතිපදා සත්‍යය.
මේ අතරින් දුක්ඛ සත්‍යය බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මෙහෙම.
ඉපදීම දුකය, ජරාවද දුකය, රෝගයද දුකය, මරණයද දුකය, අප්‍රියයන් හා එක්වීම දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, කැමති යමක් නොලැබේද, එයද දුකය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය.
ඉතින් දුක මේයැයි කියලා බුදුරජාණන්වහන්සේ මේ විදියට පෙන්වලා දෙනවා. අපි දැන් දන්නවා මේ කියන දේවල් දුක තමයි කියලා. හැබැයි අපි තවමත් දුක මොකක්ද කියලා හොයනවා. දෙයක් දැන ගත්තම අපි කරන්න ඕනා ඒක අවබෝධ කරන එකනෙ. නමුත් ඒක නෙමෙයි වෙන්නෙ. පේන්න තියෙන දේ අන්ධයො වගේ හොයන එක.
දුක්ඛ සමුදය සත්‍යයත් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඒ මෙහෙම.
නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා එක්වූ ඒ ඒ ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, ඒ කවරේද යත්. කාම තෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභව තෘෂ්ණාවයි යන මොව්හුයි
මෙතැනදි තණ්හාව ගැන කියන බුදුරජාණන්වහන්සේ තණ්හාවේ අංග 3 ක් පෙන්වලා දෙනවා. දැන් මේකත් දන්නවා. ඔය ඕනතරම් කියන්නෙ තණ්හාව නිසා තමයි මේ දුක කියලා. තණ්හාය නිසා දුක හට ගන්නවා කියලා අපි දන්නවා. අහලා තියෙනවා.
දුක්ඛ නිරොධ සත්‍යය බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මෙහෙම.
යම් ඒ තෘෂ්ණාවගේ ඉතිරි නොකොට නිරුද්ධ කිරීමක් වේද, දුරු කිරීමක් වේද, නැති කිරීමක් වේද, මිදීමක් වේද, ආලය අත්හැරීමක් වේද එයයි
බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තණ්හාව අතාරින එක තමයි නැත්නම් තණ්හාව නැති කිරීම තමයි දුක නැති කිරීමේ මාර්ගය කියලා. දැන් මේකත් දන්නවා.
ඊළඟට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා දුක්ඛ නිරෝධ ගාමිණී පතිපදා සත්‍යය. ඒ මෙහෙමයි.
එනම් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගමැයි. හේ කවරේද යත්? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි
දැන් මේකත් දන්නවා. දුකත් දන්නවා, දුක ඇතිවෙන හේතුවත් දන්නවා. දුක නැති කරන හැටිත් දන්නවා. ඒකට කරන්න ඕනා දේත් දන්නවා. මේ සේරම දේවල් අපිට බුදුරජාණන්වහන්සේ දේශනා කරන්න අරඹන්නෙ අද වගේ දවසක.
අද වෙද්දි මේ දේශනාව කරපු ඇසළ පෝය පහුවෙලා අවුරුදු 2500 ටත් වැඩියි. දේශනාව අදටත් අදාළයි. හැබැයි ඒක යොදා ගන්න අපියි එදා හිටි අපේ මුතුන් මිත්තොයි අතරෙ කොයිතරම් නම් වෙනසක් තියෙනවා ද?