දුක කියන දේ පුදුම දෙයක්. දුක ඇති වෙන්න ප්‍රධාන හේතුව ආශාව. ආශාව තණ්හාවේ එක් ස්වභාවයක්. බුදුරජාණන්වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනාවේදී දේශනා කරනවා දුකට හේතුව තණ්හාව කියලා. ඉතින් තණ්හාව දුකට හේතුව වෙද්දි ආශාවත් එතැනට එනවා. මේක හරි ලස්සන තත්ත්වයක් හරිද. ඔන්න නිකමට හිතන්න ගැහැණියකුයි පිරිමියෙකුයි ඉන්නවා. මේ දෙන්න හිතනවා දරුවෙක් හදන්න. දරුවෙක් හදන්න හිතන්නෙ ඇයි ආශාව නිසා. අනෙක් අතට හිතන්න දරුවෙක් හදන්න හිතන්නෙ නැතත් අනාරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වනවා. ඒකෙන් ප්‍රතිඵලයක් විදියට දරුවෙක් උපදිනවා. ඒකට හේතුව මොකක් ද? ඒකත් ආශාවනෙ. තව හිතන්න පිරිමියෙක් ගැහැණියක්ව දූෂණය කරනවා, ඒකෙ ප්‍රතිඵලයක් විදියට ගැහැණියට දරුවෙක් උපදිනවා. ඒක මොකක් ද? ඒකත් ආශාව. දරුවා මොන විදියට ඉපැදුනත් ඉපැදීම කියන්නේ මොකක් ද බුදුරජාණන්වහන්සේගේ දේශනා ව අනුව? ඉපැදීම දුකයි. බලන්න හුඟක් මිනිස්සු සතුටු වෙනවා දරුවෙක් ඉපැදුනාම. හැබැයි ඇත්ත තත්ත්වය මොකක් ද? ඒක දුකක ඇරඹුම. අවිද්‍යාවේ තරම කියන්නෙ එහෙම එකක් මිනිස්සුන්ට පේන්නෙ නැහැ. ඒක සතුටක්. නිතරම අවිද්‍යාව සිද්ධ කරන්නෙ ඇත්ත තත්ත්වය යටපත් කිරීම. මෙනිසා තමයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ දුක නැති කරන්න නම් අවිද්‍යාව නැත්නම් මෝහය නැති කරන්න කියලා.
