රජුන්, රැජිණියන් හෝ වෙනත් පාලකයන් සම්බන්ධයෙන් ඉතිහාසයේ සැඟවුණු හෝ සඟවණ ලද රහස් බොහෝ ය. අතීතයේ සැඟවුණ එම රහස් එදා සිට අද දක්වා පැවත එන්නේ, මුඛ පරම්පරාගතව එන ජනප්‍රවාදයන් ඔස්සේ ය. එම පුවත් ජනප්‍රවාද වූ පමණින්ම ඉවත නොදැමිය යුතු බව ප්‍රකාශ කළේ, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර ශූරීන් ය. එම කතා පුවත් අතර, සත්‍ය පුවත් මෙන්ම අසත්‍ය පුවත්ද නැත්තේම නොවේ.
සබරගමුවට පැමිණි ඇහැළේපොළ මහාදිකාරම හා සබැදුණ සැඟවුණු රසබර කතා පුවත් බොහෝමයක් ජනශ්‍රැතියෙන් මෙන්ම ඓතිහාසික ලේඛන ආශ්‍රයෙන්ද අසන්නට දකින්නට ලැබේ. මේ වනවිට එම තොරතුරු ද මතකයෙන් බැහැරව යමින් ඇත. එමෙන්ම ඇහැළේපොළ චරිතය හා සබැදුණු තවත් කතා කිහිපයක්ද රස විඳ සිටිමු.
ඇහැළේපොළ පරපුරේ ආරම්භය සහ අවසානය.........
බොහෝ දෙනෙකු එතුමන් හැඳින්වූයේ, ඇහැළේපොළ අපේ දෙවැනි රජ්ජුරුවෝ නමින් ය. අභිධානයන් සමග එතුමාගේ සම්පූර්ණ නාමය ඇහැළේපොළ වරදමුනි විජයසුන්දර වික්‍රමසිංහ චන්‍ද්‍රසේකර සෙනෙවිරත්න ඒකනායක අමරකෝන් වාසල රනමුක පණ්ඩිත මුදියන්සේ ය.
මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු මාතලේ උඩුගොඩ උඩුසිය පත්තුවට අයත්, කිනිගම, උරුලෑමුල්ල, කොහොන, කොහොලන්වල, වල්මෝරුව, දෙමදොය, දළුපොත, හෝමාපොල සහ ඇහැළේපොළ යන ග්‍රාමයන්, මහනුවර යුගයේ මුල් භාගයේ එකම ගම් වසමක් හෙවත් ගම් තුලාන කි. විශාල වර්ග සැතපුම් ප්‍රමාණයක් පුරා පැතිර ගිය මෙම ගම් වසමේ, ගමරාල හෙවත් ගම් ප්‍රධානියා නමින්, වරදමුනි ඒකනායක විජයසුන්දර (I වැනි ඇහැළේපොළ) වුවත්, ඔහු ප්‍රසිද්ධ වූයේ ඇහැළේපොළ ගමරාල නමින් ය. ඇහැළේපොළ ගමරාල, විශේෂයෙන්ම ඇස් වෙදකම, ජ්‍යොතිෂ්‍යය, වාස්තු විද්‍යාව ගැන පමණක් නොව, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන ද මනා දැනුමක් තිබුණු අයෙකි. අනෙකුත් ගම් වසම් තුළ ද ඔහුගේ හැකියාව ප්‍රචලිත වී තිබුණි. එම නිසා ඔහුට, නැකැත්ගෙදර නිලමේ යන අපර නාමය ද විය.
එක්තරා දිනයක මාතලේ, කොහොන ගමේ පිහිටි, “කොහොන වලව්වේ මහ නිලමේ”, සිය දියණියගේ සහ තවත් තරුණයකුගේ වේලාපත්කඩ රැගෙන, ඇහැළේපොළ, නැකැත්ගෙදර නිලමේ හමුවට ආවේ, ඒවායේ පොරොන්දම් ගැළපේදැයි පරීක්‍ෂාකර බැලීමටය. තරුණියගේ වේලාපත්කඩයෙන් පෙනී ගියේ, ඇය ඉතාමත් වාසනාවන්තියක බව ය. ඇය විවාහකර ගන්නා තැනැත්තා, කසකරුවන් පිරිවරා ගත් පෙරහැරක යාමට තරම් වාසනාවන්තයකු වන බව ඇගේ වේලා පත්කඩයෙන් පැහැදිලි විය. මේ වනවිට තරුණ වියේ පසුවන තම පුතාට මෙම තරුණිය විවාහකර දිය යුතු යයි කල්පනා කළ ගමරාල, පොරොන්දම් පරීක්‍ෂාකර ගැනීමට පැමිණි ඇයගේ පියාට කීවේ, ගෙන ආ තරුණයාගේ හඳහනට පොරොන්දම් නො ගැලපුනත්, තම පුතාගේ හඳහනට නම් මෙම තරුණියගේ හඳහන ඉතාමත් හොඳින් ගැලපෙන බව ය.
කොහොන වලව්වේ තරුණ කුමාරිහාමිගේ ඉරණම විසඳුනේ ඒ ආකාරයට හෙවත් බඹා කෙටූ හැටියට ය. ඇය විවාහ වූයේ, ඇහැළේපොළ වලව්වේ “විජයසුන්දර නිලමේ” සමග ය. මේ වනවිට ද ඔහු සෙනරත් (ක්‍රි:ව:1604-1634) රජතුමාගේ රාජසභාවේ සේවය කළ අතර, ඔහු ප්‍රසිද්ධ වූයේ, ඇහැළේපොළ හළුවඩන නිලමේ (II වැනි ඇහැළේපොළ) නමින් ය. මේ දෙපළට පුතකු උපන් අතර, ඔහුට ඇහැළේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්‍ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ (III වැනි ඇහැළේපොළ) යනුවෙන් නම තැබුවේ ය. ඔහු ද II වැනි රාජසිංහ රජතුමා යටතේ රාජ්‍ය සේවයට එක් විය. II වැනි රාජසිංහ (ක්‍රි:ව: 1634-1684), II වැනි විමලධර්මසූරිය (ක්‍රි:ව:1684-1706) සහ වීර පරක්‍රම නරේන්‍ද්‍රසිංහ (ක්‍රි:ව: 1706-1739) යන රජවරුන් තිදෙනකුටම සේවය කළ මෙතුමා, ක්‍රි:ව: 1717 දී මියගියේ මහාදිකාරම් ධුරය හොබවමින් සිටිය දී ම ය. මෙතුමන් මියගියේ හකු පිළිකාවකින් නිසා, ඔහු හැඳින්වූයේ හකු පිළිකාවෙන් නැතිවෙච්චි මහ නිලමේ (III වැනි ඇහැළේපොළ) කියා ය.
හකු පිළිකාවෙන් නැතිවෙච්චි මහනිලමේගේ පුතා, ඇහැළේපොළ විජයසුන්දර චන්‍ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ (IV වැනි ඇහැළේපොළ) ය. මොහු ක්‍රි:ව:1745 දී ඕලන්ද නෞකාවකින්, මධුරාපුරයට ගොස්, ශ්‍රී විජය රාජසිංහ රජතුමාට බිසවක් ගෙන ආ කණ්ඩායම නියෝජනය කළේ ය. එයට කෘතගුණ සැලකීම් වස්, රජතුමා ඔහුට මාතලේ, හාරිස්පත්තුව සහ හේවාහැට ප්‍රදේශවලින් ගම්වර කිහිපයක්ම නින්දගම් වශයෙන් ප්‍රදානය කළේය.
IV වැනි ඇහැළේපොළ විවාහ වූයේ, කොස්සින්නේ කුමාරිහාමි සමග ය. ඇය සතර කෝරළයට අයත් පරණකුරු කෝරළේ, කොස්සින්න වලව්වේ, “කොස්සින්න රටේ කෝරාළ” නිලමේගේ දියණිය යි. “කොස්සින්න කෝරාළ” යනු ඇයගේ සොහොයුරා ය. කොස්සින්න වලව්ව පිහිටියේ, කෑගල්ල, දික්කොහුපිටියේ ය. මෙම දෙපළට පිරිමි දරුවන් දෙදෙනෙකි. වැඩිමලා, ඇහැළේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්‍ද්‍රසේකර සේනානායක ජයතිලක ඒකනායක අමරකෝන් පණ්ඩිත මුදියන්සේ (V වැනි ඇහැළේපොළ) වන අතර, ඔහු විවාහ වූයේ, “පොල්ගොල්ලේ මැණිකේ” සමගින් ය. මොහු සත් කෝරළයේ මහ ලේකම් හෙවත් දිසාව වශයෙන් 1810 සැප්තැම්බර් 22 දී පත්ව ගිය බව, ඩොයිලි සිය දින පොතෙහි සඳහන් කරයි. දෙවැනි පුතා, ඇහැළේපොළ (පුංචිරාල) නිලමේ හෙවත් ඇහැළේපොළ වරදමුනි විජයසුන්දර වික්‍රමසිංහ චන්‍ද්‍රසේකර සෙනෙවිරත්න ඒකනායක අමරකෝන් වාසල රනමුක පණ්ඩිත මුදියන්සේ (VI වැනි ඇහැළේපොළ) ය. ඔහු විවාහ වූයේ, කැප්පෙටිපොල රාජපක්‍ෂ වික්‍රමසිංහ බණ්ඩාරනායක යන පරම්පරාගත අභිධානය ලැබූ ගොලහැල දියවඩන නිලමේගේ සහ පිළිමතලව්වේ මැණිකේගේ දියණිය වූ “මොණරවිල පුංචිමැණිකේ” සමග ය. පිළිමතලව්වේ මැණිකේ යනු, පිළිමතලව්වේ මහාදිකාරමගේ නැගණිය කි. එම ඥාති සම්බන්ධය අනුව පිළිමතලව්වේ අදිකාරම, ඇහැළේපොළගේ මාමණ්ඩිය යි.
ජයතිලක ඒකනායක අමරකෝන් පණ්ඩිත මුදියන්සේට සහ පොල්ගොල්ලේ මැණිකේට පුතුන් දෙදෙනෙකු සහ දියණියක විය. වැඩිමහල් පුතා, රාජකරුණා රාජපක්‍ෂ ඇහැළේපොළ (VII වැනි ඇහැළේපොළ) නම් වූ අතර, ඔහු නුවර කලාවියේ දිසාවේ වශයෙන් කටයුතු කළේය. බාල පුතා, සත් කෝරළයේ ඉහළ දොළොස් පත්තුවේ කෝරළේ වශයෙන් පත්කර තිබූ අතර, ඔහු කුඩාබණ්ඩාර ඇහැළේපොළ (VIII වැනි ඇහැළේපොළ) ය. ඔහු විවාහ වූයේ ඇල්ලේපොළ දිසාවගේ දියණියක සමගින් ලාබාල වියේ දිම ය.
මේ දෙදෙනාම “කෝල සන්නිය” නැමති රෝගය වැළඳී, 1812 දි මියගිය බව ඩොයිලි සඳහන් කරයි. මෙම යුවළට කුඩා දරුවකු සිටි බවත්, ඇහැළේපොළගේ අඹු දරුවන් සමග මෙම දරුවා ද ඝාතනය කෙරුණු බව ලෝරි සඳහන් කරයි.
ඇහැළේපොළ නිලමේ විවාහ වන විට වයස අවුරුදු 23 කි. මොණරවිල මැණිකේ එකුන් විසි වයස් ය. විවාහයෙන් පසු මොණරවිල පුංචි කුමාරිහාමි හැඳින් වූයේ ඇහැළේපොළ කුමාරිහාමි නමින් ය. ඇය එවකට කන්ද උඩරට සිටි සුරූපිම තැනැත්තියෙකි. ඇය කොතරම් සුරූපි තැනැත්තියක වුව ද, ඇයගේ ස්වාමි පුරුෂයා වූ ඇහැළේපොළ දිසාව, වෙනත් කාන්තාවන් සමග ද අනියම් සබඳතා පැවැත් වූ බව, කිසිවකුටත් රහසක් වූයේ නැත. එය රහසක් වූයේ නම්, ඒ ඇහැළේපොළ කුමාරිහාමිට පමණක් ය. නො එසේ නම්, ඇය ද මේ ගැන දැන දැන නිහඬව සිටියා ය. මෙම විවාහයෙන් ඔවුන් දෙපළට දරුවන් සිව් දෙනෙකු විය. ලොකු බණ්ඩාර (IX වැනි ඇහැළේපොළ) සහ මද්දුම බණ්ඩාර (X වැනි ඇහැළේපොළ) යන නම්වලින් පිරිමි දරුවන් දෙදෙනෙකුත්, ඩිංගිරි මැණිකා සහ ටිකිරිමැණිකා යන නම්වලින් දියණියන් දෙදෙනකුත් වශයෙනි. (සමහර මූලාශ්‍රවල සඳහන් වන්නේ, වනේ ලා කෙටූ දියණිය පමණක් සිටි බව ය.) මෙහි සඳහන් වන ඇහැළේපොළ මහ නිලමේ, VI වැනි ඇහැළේපොළ හෙවත් පුංචිරාල ය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නියෝගයෙන්, ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් මරණයට පත් කළේ, ක්‍රි:ව: 1814 මැයි මස 17 දින දී, විෂ්ණු සහ නාථ දේවාල දෙක අතර පිහිටි දේව සන්හිඳ නම් ස්ථානයේදී බව සඳහන් ය. එකොළොස් වියේ පසු වූ වැඩිමහල් පුතා ලොකු බණ්ඩා සහ නවවැනි වියෙහි පසු වූ දෙවැනි පුතා මද්දුම බණ්ඩාරගේ හිස ගසා මරා දැමීමටත්, කුඩා අත දරු දියණිය වංගෙඩියකට දමා කෙටීමටත්, කුමාරිහාමි ගලක් බැද බෝගම්බර වැවේ ගිල්වා මරා දැමීමටත් නියෝග ලැබුණි. රූපශ්‍රීයෙන් අග තැන්පත් වූ ඇහැලේපොළ කුමාරිහාමි එඩිතර කුල කාන්තාවකි.
