..::[ඉංගිරි කන්දේ තවුස් ලෙන් සොයා ගිය ගමන(පළමු

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ..::[ඉංගිරි කන්දේ තවුස් ලෙන් සොයා ගිය ගමන(පළමු

    දෙසවන වැකෙන්නට වූයේ විසල් ගිගුරුම් හඬකි. අප කිතුල්ගල බෙලි ලෙන ඉදිරියෙහි සිට ඈත කඳු පන්තියෙන් ඔබ්බට වූ පුළුල් අහස් තලය දෙස බැලුවේ සොබාදම් මාතාව අපට එරෙහි වේ දැයි සැකය සිත් තුළ සඟවා ගෙනය. එපිටින් නැගෙන කළු වලාවන් අප හට පවසනුයේ දැන් නුඹලා මෙතන සිටියා ඇති යන්නය. ‘‘වැඩි වෙලාවක් නෑ බං, වැස්සට කලින් ඇදගමු’’ බෙලිලෙන ධාරානිපාත වර්ෂාවකින් නැහැවීමට තව අඩ හෝරාවකවත් කාලයක් නොමැති බව අප හට වැටහිණි. ගෙන ආ ගමන් මළු කර හොවා ගත් අප බෙලි ලෙනෙහි සුසානව වසන්නාවූ බලංගොඩ නූතන මානවයා හට සමුදුන්නේ කිතුල්ගල කඳු මුදුනක සැඟව ගිය බ‍්‍රාහ්මණයකුගේ වාසස්ථානය සොයා යාමේ අරමුණෙනි.

    xBVKoYY.jpg


    සිහින් හිරිකඩක් මහ පොළොව සිපගනිද්දී බෙලිලෙන සිට කිතුල්ගල නගරය තෙක් වැටී තිබූ මාර්ගයේ ඉදිරියට අපි ඇදෙන්නට වීමු. කිතුල්ගල සිට ගිනිගත්හේන හරහා හැටන් නගරය දක්වා වන ප්‍රධාන මාර්ගය වෙත අඩ හෝරාවක පමණ කාලයකින් ළඟා වුණු අප පසුව කිතුල්ගල අළුත් පාලම තෙක් ධාවනය කරන්නට වූයේ යතුරු පැදිවල වේගය තරමක් වැඩි කරමිනි. ඒ අප පිටුපසින් හඹා එන අනෝරා වැස්ස නොබෝ වේලාවකින් අප ද ගොදුරු කර ගැනීමට ඉඩ තිබූ බැවිනි.

    කිතුල්ගල අළුත් පාලම මංසන්ධියට මෙපිටින් වූ කුඩා තේ කඩයක් ලඟ අපි මද වේලාවකට නතර වුනෙමු. සිහින් හිරිකඩ නිසාවෙන් සීතලව තිබූ ගත උණුසුම් කහට කෝප්පයක් සමඟ දල්වාගත් දුම් වැටියක පහසින් නිවා ගත් අප කඳු පංතියෙන් පිටතට හමන තද සුලඟට කළු වලාවන් පහව යන සැටි බලා හිඳින්නට වූයේ හද පිරි සතුටිනි. හ්ම්... මම දිගු හුස්මක් හෙලුවෙමි. ‘‘යමං බං, හවස්වෙලා’’ යලිත් යතුරු පැදි පණ ගන්වා ගත් අප ප‍්‍රධාන මාර්ගයෙහි සිට කිලෝමීටර 1 1/2ට ආසන්න දුරකින් වූ අලුත් පාලම ගම්මානය බලා ඇදෙන්නට වීමු.

    Qs7xBAL.jpg


    වේලාව සවස 5 ට ආසන්නව පැවතිණි. ‘‘මංච, සනාට කෝල් එකක් ගහපන්’’ මිතුරෙකු පැවසීය. සනා යනු කිතුල්ගල, අලුත් පාලම ගම්මානයෙහි වාසය කරන්නාවූ මාගේ මිතුරෙකි. ගහ කොළ සතා සීපාවා හොඳින් හඳුනන ඔහු වනය තුළ ඇවිදීමට සූරයෙකි. ජංගම දුරකථනයෙහි දිස්වන්නට වූයේ සංඥා කණු දෙකක් පමණි. ‘‘සිග්නල් නෑ’’, ‘‘හ.. හලෝ.. හලෝ... සනා, අපි පාලම උඩ. උඹ කොහෙද’’ කඩින් කඩ ඇසෙන්නට වූ වචන අතරින් මම පැවසීමි. ‘‘ඔහොම ඉස්සරහට වරෙං, මම පාලම අයිනෙ තේ කඩේ ළග ඉන්නව’’ සනා පැවසීය. අපි පාලම අවසානයෙහි වූ ලෑලි කඩය වෙත ගොස් යතුරු පැදි නතර කළෙමු.

    ‘‘බසියිකල් ටික අයිනට දාමු. වහින්නෙ නම් නෑ, ඒත් ෂුවර් නෑනෙ’’ සනා කඩේ ඉදිරිපස සිට පැවසීය. යතුරු පැදි වලින් බැස ගත් අප ගෙන ආ බඩු බාහිරාදිය රැගෙන කඩය තුලට ගියෙමු. ‘‘ඉතිං සනා, මොකෝ වෙන්නෙ’’ මම ඇසීමි. ‘‘ඔහේ ඉන්නව බං’’. ‘‘ අපි කෙලින්ම පාලම යටට අදිමු නේ’’ මම ඇසුවෙමි.

    OcnZBfZ.jpg



    ගඟෙහි ඉහළ ප‍්‍රදේශයේ ඈතින් පෙනෙන්නට වූයේ සප්ත කන්‍යා කඳු වැටියයි. එසැණින්ම මා මතකයට නැඟුනේ 1974 වර්ශයේ දී ඝන මිහිදුම නිසාවෙන් සප්ත කන්‍යා කඳු මුදුනෙහි ගැටී විනාශ වූ මැලේසියානු ගුවන් යානයි. ‘‘කන්දේ හැපුණ මහ වනන්තරේ, ඊ සී අට අහස් යන්තරේ’’ මා හට මිමිණෙන්නට විය. පහළ ප‍්‍රදේශයෙහි ඈතින් පෙනෙන්නට වූයේ කුරුළු කැලේ සහ ඉංගිරි කන්ඳ ඇතුළු තවත් කඳු කිහිපයකි. කුරුළු කැලේට එපිටින් වූ කඳු පන්තිය තුළ රත් පැහැ හිරු හැංගි හොරා එබිකම් කරයි. ඔරලෝසුව සවස පහේ කණිසම පසුකරමින් සිටිද්දී ගෙන ආ ගමන් මළු පාළම පාමුල තැබූ අප හැඳ සිටි ඇඳුම් ගලවා සීතල දියට පැන ගත්තේ ගතෙහි වූ විඩාව නිවාලීම සඳහා වන එකම පිළියම එය වූ බැවිනි. පැය භාගයකට ආසන්න කාලයක් පිහිනමින් සහ ජල කී‍්‍රඩාකරමින් රිසි සේ දිය නා ගත් අපි ගොඩට විත් හැඳ සිටි තුවා පිටින්ම අවරට යනට රත් පැහැ හිරුගේ වියෝව දෙස නිහඬව බලා හිඳින්නට වීමු. හිරු විසින් දහවල ගිණියම් කළ පාලම පාමුල වූ ගල් තලාව තවමත් උණුසුම්ව පවතී. හැඳ සිටි ඇඳුම් ගල් තලාවෙහි ඇතිරූ අප කොට කලිසමකට බැස ගත්තේ ස්වභාවධර්මයේ පිවිතුරු ආශ්වාදය නිරාවරණය වූ ගතට ලබාදීමේ අපේක්ෂාවෙනි.

    1bNZhxs.jpg


    ‘බඩු ගෙනල්ලා තියෙන්නේ මචං, වැඩේ පටන් ගමුද?’’ සනා ඇසීය. පාලම යට ගල් තලාවෙහි බටහිර බෑවුම් ප‍්‍රදේශය අද අපගේ රාත්‍රී නවාතැන් පළ වෙයි. ‘‘පොඩ්ඩක් ඉඳපන් සනා. බයිට් එකටයි රෑට කන්නයි මොනවාහරි අරගෙන එන්නම්’’ මම පැවසීමි. මමත් මිතුරෙකුත් ලෑලි කඩය වෙත ගොස් එහි තිබු අවසාන පාන් ගෙඩි දෙකත් ආප්ප කිහිපයත් උම්බලකඩ සම්බෝල පැකට් කිහිපයකුත් රැගෙන ආවේ දිවා ආහාරය සඳහා අප මිලදී ගත් මස් සහ පරිප්පු කලවම් කළ හොදි අප සතුව තිබූ බැවිනි. ඒ අතර තුර සනා සහ තවත් මිතරෙකු රාත්‍රී ගිණි මැලය සඳහා අවශ්‍ය වන දර කැබලි එක්කාසු කොට තිබිණි.

    tnt10tY.jpg


    හිරු කඳු පන්තියෙහි සැඟව ගොස් සිටියද රාත්‍රී අන්ධකාරය මුළුමනින්ම ගල්තලාව ගිලගෙන තිබුණේ නැත. අහසෙහි තැනින් තැන දිදුලන තාරකා අප හට පවසන්නට වූයේ වැහි වලා රහිත අහසක හිමිකාරිත්වය අද රාත්‍රීයට ලබාදෙන බැව්ය. පත්තර කොළ කිහිපයකට ගෙන ආ උම්බක කඩ සම්බෝල සහ කී‍්‍රම් ක‍්‍රැකර් පැකට්ටුවක් කඩා දමාගත් අපි සනා විසින් පෙර සූදානම් කර තිබූ රා බූලි දෙක ලං කර ගත්තේ දිගු රාත්‍රීයෙහි සුන්දරත්වය ලාංකීය අනන්‍යාතවයත් සමඟ මුසු කිරීමටය. ගල් තලාව මත රවුමට හිඳ ගත් අප රා බූලියක් විවෘත කොට වීදුරු පිරෙන තුරු වත්කර ගත්තෙමු.

    රා රැගෙන ආ පුද්ගලයා හට මුල්ම වීදුරුව දීම පාරම්පරික සිරිතකි. තවද රා උගුරක් බීවු පසු උගුර පාදා කෙළ පහරක් ගැසිමද නිසැකවම කළ යුතුය. කුමන හේතුවකට වුවත් ‘‘ෂා... නියම රා ටික’’ වැනි වදන් පවසන්නේ නැත. උගුර පාදා කෙළ ගසන්නේ රා මදින්නාගේ ඇස් වහ කට වහ දුරුවන්නටය. මේ පිළිබඳව නොදන්නා කෙනෙකුට රා මදින්නා ඉදිරියේ සමාව ලැබුණද දන්නා හඳුනන කෙනෙකු හට නම් ලැබෙනුයේ මල් කපන පිහියෙන් පිහි පාරක් වුවද විය හැකි බව සනා අප හට පැවසීය.

    abAoKpP.jpg


    සනාගේ මෙවන් වූ රස කතා අතරේ එක් රා බූලියක් අවසන් විය. ‘‘අනිත් එකත් කඩලා ගනිං’’ මිතුරෙකු පැවසීය. තවත් මිතුරෙකු ඒ අතරතුර රාත්‍රී ආහාර වේල සූදානම් කිරීම සඳහා විශාල කැන්ද කොල කිහිපයක් කඩාගෙන විත් ගල් තලාවෙහි ස්වභාවිකව සෑදුණු කුඩා වලක් මත එලා අප සතුව තිබූ හොදි පාර්සලය ලිහා ඒ තුළින් තැබීය. තවත් විශාල කැන්ද කොල කිහිපයක් මත පාන් සහ ආප්ප තබා සැකසූ අපගේ රාත්‍රී කෑම මේසය සැබවින්ම අපූරුය. ගිණි මැලය දැල්වීමට අප හට එතරම් අවශ්‍යතාවයක් නොතිබුණේ මුතු පලසක් ලෙසින් දිදුලන රාත්‍රී අහසේ වූ අප‍්‍රමාණ තාරකාවන්ගේ ආලෝකය නොමදව ලැබුණ බැවිනි.

    නිරන්තරයෙන් ගතෙහි දැවටෙන සිහිල් සුළං අතරින් රළු ගල්පර වල හැපෙන ජල ධාරාවෙහි හඬ දෙසවන පිනවන්නට විය. මේ රමණීය පරිසරය තුළ අප රා මතින් මත්ව වී සිටියෙමු. රළ බිදෙන හඬ අතරින් වරින් වර ඇසෙන්නට වූයේ මැඩියෙකුගේ ‘‘ග්ර්ක්.. ග්ර්ක්...’’ හඬය. විටෙක ඈතින් ඇසෙනුයේ කිරලකුගේ ඉකිබිඳුමය. මෙලෙසින් වූ ස්වභාව ධර්මයෙහි තාලයන් රුකුලක් කර ගනිමින් නැගෙන්නට වූයේ අප මිතුරකුගේ ගැඹුරු කටහඬය. ‘‘මං මුලා වී... පාර සොයාගෙන...’’ ගඟ අද්දර පාලම පාමුල වූ ගල්තලාව ඔහුගේ සිතුවිලි මං මුලා කොට තිබිණි.
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    නොනවත්වා ගී ගැයූ මිතුරාගේ කටහඬ විඩාබරව වියැකී ගොස් තිබිණි. අප රා මතින් විකාර දෙඩීම පසෙකලා තම තමන්ගේ මනෝ භාවයන්හි රිසි සේ සැරිසරන අතරතුර සනා විසින් රාත්‍රී ගිනිමැලය දල්වනු ලැබිණ. වේලාව කීයදැයි පිරික්සීමට තරම් උවමනාවක් නොවූ බැවින් අප සුමට ගල් තලාවෙහි තැනින් තැන වැතිරෙන්නට වූයේ පසු දිනක් ගැන හාන්කවිසියක්වත් සිත් තුල නොමැතිවය. වැසි දිනයන්හිදී දෙගොඩ තලා යන ජල පහරට මැදී කදිමව සැකසී තිබූ ගල් තලාව අපගේ නිදි යහන විය. රාතී‍්‍ර අන්ධකාරයෙන් වැසි තිබූ නිහඬ පරිසරය තුල අප සොබාදම් මාතාවගේ ළය මත හිස හොවා ගත්තෙමු.

    ටාං... ටාං... ගන්ඨා නාදයක් සිහිනයෙන් මෙන් ඇසෙන්නට විය. සිත්හි තිබූ අවිශ්වාසය නිසාවෙන් මම දෙනෙත් හැර බැලුවෙමි. එක එල්ලේ දිස්වන කුරුළු කැලයට එපිටින් වූ කඳු පන්තියෙහි මුදුන හිරු කිරණින් දිස්නය දෙන්නට විය. ඊට මෙපිටින් ඝණ මීදුම් වලාවන්ගෙන් වැසී ගිය කුරුළු කැලය වනාන්තරය වෙයි. හිමිදිරි පින්නෙන් සේදී ගොස් තිබූ ගල් තලාව මාගේ ගතට නුහුරු සීතලක් දනවයි. නාගරීකරණයෙන් මුළුමනින්ම බැහැර කිතුල්ගල ගම්මානයෙහි ජනයා පුරුදුව සිටින්නේ ස්වභාව ධර්මයට අනුකූල ජීවන රටාවකටය. රාතී‍්‍ර 9ට පෙර දවසේ වැඩ කටයුතු අවසන් කොට නින්දට යන ඔවුහු උදෑසන 4 පමණ වන විට අවදිවනු ඇත. පාසල් ළමුන් පවා උදෑසන 5 පමණ වන විට අවදි වී දෙමාපියන් සමඟ එක්ව ගේ දොර, මිදුල අතුගා පසුව පාසල් යාමට සූදානම් වෙති. ගම්වාසීන්ගෙන් බහුතරයක් තමතමන්ගේ දෛනික කටයුතු සඳහා භාවිතා කරනුයේ යතුරු පැදියක් හෝ ති‍්‍රරෝද රථයකි. එකමුතුකමට කදිම නිදසුනක් වන කිතුල්ගල ගම්මානයෙහි ජන ජීවිතය ඉතා සරල වූවෙක් වෙයි.

    p3bZdZc.jpg


    අලුත් පාලමෙහි අයෝමය කඳන් හිමිදිරි හිරු කිරණන් දිදුලයි. මම දෙපස වූ ගල් තලාව මතට බැල්ම හෙලන්නට වීමි. මිතුරන් පිරිස වකුටු වී තද නින්දේ පසු වුවද එක් මිතුරෙකු පමණක් අවිදි වී ඇඟ මැලි කඩන අයුරු මා ඇස ගැටිණි. ‘‘ලසා’’ මම කට හඬ අවදි කළෙමි ‘‘ආ උඹත් නැගිට්ටද’’ ලසා මගෙන් ඇසීය. මම ද ගල් තලාවෙහි සිට ගෙන අත පය දිග හැර හොඳින් ඇඟ මැලි කැඩුවෙමි. ‘‘නින්ද ගියා බං සැපට. කියලා වැඩක් නෑ එක හීනයක් නෑනෙ පෙනුණෙ. උදේ පොඩි සීතලක් ඇල්ලුව එච්චරයි.’’ ලසා පවසන්නට වූයේ ඔහුටද ගල් තලාවෙහි වූ නිදියහන හොදින්ම සිත්ගෙන තිබුණ බැවිණි.

    වේලාව උදෑසන 7 ට ආසන්නය. නැගෙන හිරුගේ රශ්මි කදම්භයන් සප්ත කන්‍යා කඳු පන්තිය සිසාරා විත් ගඟෙහි ජලය මත පතිත වනුයේ මනස්කාන්ත දර්ශන තලයක පහසින් අප දෙනෙත් පිනවමින්ය. ගල් පර වල හැපෙමින් පහලට ගලා බසින ජල පහරෙහි මතු පිට නැගෙන පෙණ පිඬු හිරු කිරණ පහසින් දිදුලයි. හිමිදිරියේ මහ පොළව සිප ගන්නා තුහිණ අවට පරිසරය තුළ ඇති කර තිබූ සිහින් සිසිලස ද කෙමෙන් කෙමෙන් පහව යමින් පවතී. හතර වටින්ම ඇසෙන විහඟ නාදය අපූරු ප‍්‍රබෝධමත් බවක් අප සිත් තුල ගැබ් කරන්නට විය.

    KJV06fm.jpg


    ‘ආන් කට්ටිය නැගිටලා’’ ගල් තලාව මත හුදකලා සිතුවිල වල අතරමං වෙමින් සිටි මා ලසාගේ වදනින් තිගැස්සිණි. සනා අප උන් තැනට විත් ගල් තලාව මත වාඩි ගත්තේය. ‘‘උදේ කෑම ටික හදාගෙන කාලා ඉක්මණට අදිමු නේ?’’ සනා මාගෙන් ඇසුවේය. ගම්වාසීන් සහ පාසල් ළමුන් සඳහා අවශ්‍ය වන නොයෙක් දෑ මිලදී ගැනීමට ඇති එකම ස්ථානය අලුත් පාලම යට ලෑලි කඩය වන බැවින් එය උදෑසන 7 පමණ වන විට විවෘත වෙයි. ගෙන ආ ගමන් මළු එලෙසින්ම තබා අපි ලෑලි කඩය වෙත පිය නැගුවෙමු.

    ‘‘අංකල්, කිරි තේ හයක් දාන්න කෝ’’ මම පැවසීමි. ඒ අතර තුර සනා මුදලාලි සමඟ කතාබහ කොට කඩයට පිටුපසින් තිබූ කුඩා කුස්සිය අපගේ උදෑසන ආහාරය පිළියෙල කර ගැනීම සඳහා පැය භාගයක පමණ කාලයකට ඉල්ලාගෙන තිබිණි. නූඩ්ල්ස් පැකට් හත අටක් අප ලෑලි කඩයෙන් මිලදී ගත් අතර සනා හා තවත් මිතුරෙක් ඒවා පිළියෙල කරන්නට කුස්සියට ගියේය. කිරි තේ වීදුරු උගුරට දෙකට හිස් කල අප යලිත් පාලම පාමුලට විත් හොඳින් මුහුණ කට සෝදාගෙන ගෙන ආ ගමන් මළු පිළිවෙලට සැකසුවෙමු. පසුව නිදා උන් ගල් තලාව මත තිබූ සියළුම නොදිරන දෑ ගොඩ ගසා පුළුස්සා දැමුවේ මතු දිනකදී යලි පැමිණ මෙම ගල් තලාව මත සුව නින්දක පහස විඳීමේ අරමුණ ඇතිවය.

    GyeVkn4.jpg


    පැය කාලකට පමණ පසුව සනා සහ අනෙක් මිතුරා තැම්බූ නූඩ්ල්ස් පිරවූ සාස්පාන ගෙනවිත් ගල් තලාව මත තැබීය. ඉන් නික්මුණු සුවඳ තද කුසගින්නක පසුවූ අපගේ ඉවසිලිවන්තභාවය මුළුමනින්ම උදුරා ගත්තේය. පිඟන් මතට හිතේ හැටියට නූඩ්ල්ස් බෙදාගත් අප පාන් ගෙඩියද කැබලි වලට කඩා තරමක් විශාල කැන්ද කොලයක් මතට දැමුවෙමු. පාන් කැබැල්ලක් සමඟ කුස තුලට ඇදෙන නූඩ්ල්ස් අප හට රජ බොජුනක් විය. සාස්පානෙහි අඩිය ද සූරා නුඩ්ල්ස් දංකුඩ ටික ද කටට දෙකට ගිල දැමූ අප ආහාර පිසූ භාජන සෝදා පිරිසිදු කළෙමු.

    ‘‘දැන් යමං. යන ගමන් පන්සලට ගොඩ වෙලා වැඳලා යමු’’ සනා පැවසීය. අප ද ඊට හදවතින්ම කැමැත්ත පළ කළෙමු. මන්දයත් දෙවි කෙනෙකු වැඩ සිටින ඉංගිරි කන්ද තරණය කිරීමට අප හට නිසැකවම තෙරුවණ් සරණ අවැසි වනු ඇති බැවිණි. කරමළු කරදාගත් අප ලෑලි කඩය වෙත ගොස් කෑම පිසූ භාජන ද කුස්සියෙන් තබා මුදලාලි හට බොහෝ සෙයින් ස්තූති කළෙමු. ඒ අතරතුර තවත් පාන් ගෙඩියක්, කී‍්‍රම් ක‍්‍රැකර් පැකට්ටුවක්, මාගරින් පැකට් කිහිපයක් සහ උම්බලකඩ සම්බෝල පැකට් කිහිපයක්ද මා මිලදී ගත්තේ අතර මගදී ගමන් මහන්සිය නිසාවෙන් ඇති වන කුස ගින්නට පිළියමක් ලෙසිනි. අලුත් පාලම ලෑලි කඩයට සමුදුන් අප කන්ද දෙසට වැටී තිබු කොන්ක‍්‍රීට් මාර්ගයෙහි ඉදිරියට ඇදෙන්නට වීමු. කිලෝමීටර් භාගයක පමණ දුරක් පැමිණි අප ගමේ පන්සලට ගොඩ වී බුදුන් වැඳ අතුරු ආන්තරාවකින් තොරව යලි පැමිණීමකට තෙරුවණ් සරණ පැතුවෙමු.

    qD10qgR.jpg


    ‘‘ආන් අර තියෙන්නේ ඉංගිරි කන්ද තමා’’ සනා ගස් අතරින් ඇඟිල්ල දිගු කොට ඈතින් පෙනෙන කන්ද අප හට පෙන්වීය. එය තරණය කිරීම නම් අප සිතන තරම් පහසු කරුණක් නොවන බව දුටු සැනින් මා හට වැටහිණි. කන්දෙහි ආනතිය ද තරමක් දුරට වැඩිය. ඒ ඇරත් සනා පැවසු පරිදි නම් එය කූඩැල්ලන්ගේ රජ දහනකි. කුඩා වැසි පොදකට වුවද අප යන ගමන් මග මාන ගස් වලින් වැසී යනු ඇත. කෙසේ නමුත් සියලු දෙනාගේම සිත් වල වූයේ මගදී මුණගැසෙන බාධාවන් හෝ ඒවාට මුහුණ දෙන්නේ කෙසේද යන්න නම් නොවේ. කුමන ආකාරයෙන් හෝ තවුස් ලෙන වෙත යාමේ අරමුණ සනාගේද අපගේද සිත් වල තදින් වූ බැවින් අප හොඳ අධිෂ්ඨානයකින් යුතුව ඉදිරියට ඇදෙන්නට වීමු.

    අඩ හෝරාවකට ආසන්න කාලයක් පා ගමනෙහි යෙදුන අප මෙතැන් සිට පිවිසෙනුයේ වන ගත මං පෙතටය. සනා පැවසූ පරිදි නම් මෙතැන සිට තවුස් ලෙන වෙත කිලෝමීටර් 4කට අධික දුරක් අප පා ගමනින් යා යුතුය. සුපුරුදු පරිදි කොළ අත්තක් කඩා ගසක දෙබලක එල්ලූ අප රුක් දෙවිවරුන්ගේත් වනයට අධිපති අසුරයින්ගේත් ආශිර්වාදය පැතුවෙමු. සනා පෙරමුණ ගත් අතර මා කැමරාව ද අතැතිව පිටුපසින් ගමන් කරන්නට වීමි. විටෙක මාර්ගය හරහා කඩා වැටී තිබූ රූස්ස ගස් කඳන් මතින් පනිමින් ද දිය කඩිති තුල දෙපා හොවමින් ද අප පා ගමනෙහි යෙදෙන්නට වීමු.

    එක්තරා අවස්ථාවක සිහිනෙකින්වත් නොසිතූ අතිශයින්ම භයානක ස්ථානයකින් අප හට ගමන් කිරීමට සිදුවිය. එහි වූ අඩි පාර අඩියක පමණ පළලකින් යුක්ත වූ අතර වම් පසින් ඉමක් කොනක් නොපෙනෙන හෙල ද දකුණු පසින් අහස සිප ගන්නා කඳු පන්තිය ද විය. බොහෝම සීරුවට එකා බැගින් එකා කන්ද දෙසට බරවී ඉතා සෙමින් පා තබන්නට වූයේ කුඩා හෝ අතපසු වීමකින් පය ලිස්සුවහොත් කඳු පාමුලෙන් ගොඩ ගැනීමට සිදු වනුයේ අත් පා නොමැති මළ කඳක් බව නිසැක හෙයිණි. සුපරීක්ෂාකාරීව එම මර්මස්ථානය පසු කළ අප යලිත් කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙන්නට වීමු. මාර්ගයෙහි දෙපස ඇති කෙසෙල් ගස්වල ඉඳුණු කැන් වටා රොක් වී උදෑසන ආහාරය භුක්ති විඳින වඳුරු රංචු තොරතෝංචියක් නැතිව කෑ ගසති. විටෙක දඬු ලේනෙකු එක යායට පීදී තිබූ අඹ ගසක සිට තවත් අඹ ගසකට පනිනුයේ ඉදී කුණුවූ අඔ ගෙඩි කිහිපයක් බිම හෙලමින්ය.

    QPWGuZn.jpg


    ‘‘නැවතියං’’ සනා පැවසීය. ‘‘ඇයි මොකෝ’’ අප සනා වටා රොක් වුණෙමු. ‘‘තව එක අඩියක් තිබ්බනම් මම ඉවරයි බං, බලපං ගල යට!’’, ‘‘මළ කෙළියයි’’ මා හට කියැවිණි. සනාගේ ඉදිරි පාදයට අඩි දෙකක පමණ දුරකින් මාර්ගයෙහි තිබූ ගල් පඩියක් යට දඟර ගැසී සිටින්නට වූ‍යේ පොළොන් තෙලිස්සා නැතිනම් කුණකටුවා නැමති මැදි විෂ සර්පයෙකි.

    ඊලග කොටස් බලාපොරොත්තු වන්න :yes:

    ගෙඩි පිටින් උස්සා ඔබ වෙත ගෙන එන ලදී ;) සම්පුර්ණ අයිතිය මෙහි මුල් අයිති කරු සතුය :yes:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    පොළොන් තෙලිස්සා කියන්නේ මැදි විශ සර්පයෙක්ද... :shocked:
    මම හිතන්නෙ නයාටත් වඩ විශයි.. :sorry:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    පොළොන් තෙලිස්සා කියන්නේ මැදි විශ සර්පයෙක්ද... :shocked:
    මම හිතන්නෙ නයාටත් වඩ විශයි.. :sorry:

    ඔව් මචං මාරාන්තික විෂ සහිත එකෙක් :shocked: මේ ලිපියේ අයිති කරුට පොඩ්ඩක් වරදිලා :)
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,817
    778
    113
    ela machan. rep denna behelu "You have given out too much Reputation in the last 24 hours, try again later."