බැඳිල්ල
අපි පරණ දේවල් වලට කොච්චර ආසද ? ඒකනේ අපි අනුරාධපුරේ , පොලොන්නරුවේ යන්න ආස කරන්නේ. මමත් මගේ පරණ දේවල් වලට ආසයි. ඒව මතක් කර කර කොහේ හරි ලියල නැවත කියවීමෙන් ලොකු ආශ්වාදයක් ලබනව.
ලංකාවේ විවාහය දැනට ක්‍රම 2 කට සිදුවෙනවා. එනම්;
යෝජිත විවාහ සහ ප්‍රේම විවාහ යනුවෙන්ය.
මේ ක්‍රම 2 ටම අහු නොවී ඉතිරිවන කුණු රොඩු පත්තරවල මංගල දැන්වීම් පළ කරනවා නැත්නම් වැඩේ කපුවෙකුට බාර දෙනවා.
කොයි ක්‍රමේට කළත් ලංකාවේ සමාජයෙන් මකා දැමිය යුතු දෙයක් තමා මනාලියන් බලන්න යාම.
ඒක පිරිමි වන අපට නම් ආශික් වැඩක් උනාට……..බලන්න යන මුල් එකටම අපි කැමති වෙන්නේ නැහැනේ.ඒ ගෙදරින් හොඳට කාල බීල ඇවිත් පහුවදාට දන්නල යවනවා අපි කැමති නැහැ කියල.
එයින් ඒ ගෑනු ළමයට ඇති වන මානසික වේදනාව….
මෙහෙම කියන මමත් 3 පාරක්ම මනාලියන් බලන්න ගිහින් තියෙනවා.. අද ඒ ගැන….
මුලින් ම ගියේ කලවාන පැත්තේ.. කපුවා කීවෙ කෙල්ල හරි හැඩයි.. බලන්න ලෝබයි කියලයි..ඒත් එයා මටවත්, අපේ අම්මගෙ හිතටවත් ඇල්ලුවෙ නැහැ. එයා හරිම ලාබාල පාටයි. මොන්ටිසෝරි ටීචර් කෙනෙක් වගේ.
දෙවෙනි එක්කෙනත් ඒ කිට්ටුවම.හොඳ හැඩකාරි. සෑහෙන උගත් කමකුත් තියෙනව. ඒත් එයාගෙ කට සැර වැඩි. එයා පළාතෙ එක්තරා දේශපාලන පක්ෂයක කාන්තා සංවිධානයේ සබාපති. මගෙත් එක්ක කතා කළෙත් දේශපාලන වේදිකාවක කතා කරනවා වගෙ.මට තේරුම් ගියේ එයා කාල්මාක්ස්/ට්‍රොස්කි වැරදි ආකාරයට වටහාගෙන.
අපි හිස් අතින් ආපහු ආව.සුමානයක් විතර සද්ද නැතිව හිටියා. පස්සෙ ඒ ළමයා මට දුක හිතෙන දිග ලිපියක් එවා තිබුනා.
මට සිටියේ නැගණියක් පමණි. ඇය විවාහයෙන් පසුව සැමියා සමඟ වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියාය.
“නංගී ගියාට පස්සෙ ගෙදරම පාලුයි. කා ගැන හරි උඹේ හිතේ තියෙනවා නම් මට කියපන්… නැත්නම් ලබන ඉරිදා කිතුල්ගල යන්න ලෑස්ති වෙයන්. අර විල්සන් කපුවා තැනක් ලෑස්ති කරල තියෙනවා. පවුලේ එකම ගෑනු ළමයා.. අයියල දෙන්නයි.. හොඳ සල්ලි කාරයො.”
අම්මා කීවාය.
ඒ ඉරිදා උදාවිය…
විවාහ වන තුරුම මට ඇඳුම් තේරුවේ අම්මාය. අද දින ගමනට ඇඳීමටද මට , මම ඉතා ආසා කරන කහ පාට කමිසයක් අම්මා ගෙනැවිත් තිබිණ. ඒත් එය අත් කොට එකක් විය.
මා රිය පැදවූ අතර අම්මා පසු පස ආසනයේ වාඩි වූවාය
අතර මඟදී නංගී සහ ඇගේ සැමියා ද, විල්සන් කපු මහතාද රියට ගොඩ විය. නංගීගේ සැමියා කලු කළිසමක් හා නිල් ඉරි සහිත සුදු අත් දිග කමිසයක් ඇඳ සිටියේය.
“…..න්ත ඔයා අත් දෙක නමා ගන්න. නැත්නම් අර මිනිස්සු හිතයි මනමාලයා ඔයා කියල.”
“මම කීවා මෙයාට ටයි එකක් දා ගන්න කියල.. කොහෙද ඕන කමට යන ගමනක් නෙවෙයි නේ ”
” ටයි එකක් ඕන නැහැ අයියේ.. අත් කොට කමිසයක් ඇඳල ටයි එකක් දැම්මම නිකන් සේල්ස් රෙප් කෙනෙක් වගෙ..” නංගී කීවාය.
“ඈ කපු උන්නැහේ.. අපි ඔය බලන්න යන ළමය හැඩකාරියක් ද ?” අම්මා ඇසුවාය.
“මට නම් ඉතින් ලස්සනට පේනව. ඒත් ඉතින් තරුන මහත්තුරු ලස්සන බලන්නෙ වෙන විදිහකටනේ”
“තව ටිකයිනේ.. ගිහිල්ලම බලාගන්න බැරියැ”
ඇය අනොජා වීරසිංහගේ දුව දිල්කි මෙන් ලස්සන එකියක වේවා යැයි මම සිතින් ප්‍රාර්තනා කළෙමි.
ඔතනින් ඇතුළට හරවන්න යැයි කපුවා කීවේය. “මේ සේරම එයාලගෙ ඉඩම්”
වත්තට හරවනවාත් සමඟම මට ඇසුනේ ලී මෝල් වල සද්දය. මුලු පළාතම “ලී කුඩු” සුවඳය.
උඩු කය නිරාවරනව සරමක් පමණක් ඇඳ සිටි ලොකු බඩ ගෙඩියක් සහිත කාල වර්ණ පුද්ගලයෙක් රිය නතර කළේය. ඔහුගේ පපුවේ ලොම් වලද ලී කුඩු විසිරී තිබුනේය.
” මොකද පරක්කු .. අරහෙ කට්ටිය බලා ගෙන ඉන්නවා.. ඔහොම යං”
ඒ මනමාලිගෙ ලොකු අයියා.
මුලු ගමම අපේ පැමිණීම දන්නවා වගේය. පාර අයිනේ සිටි කොලු රෑනක් රිය ලුහු බඳින්නට විය.
ඇයගේ මව සහ පියා යැයි සිතිය හැකි දෙපළක් විසින් අප පිළි ගන්නා ලදී.
තත්පර 30 ක් විතර යන තුරු අප අතර කතාවක් නොවීය. ඊට සුදුසු මාතෘකාවක් නොවූ බැවිනි. ඒ ජේ වී පී භීෂණ සමයයි. දේශපාලනය සුදුසුම මාතෘකාව විය. අසල ගමක රජයේ ගොඩනැඟිල්ලක් ගිනි තබා ඇත. “මුන් සේරම අල්ලල පණ පිටින් පුච්ච්න්න ඕන” යැයි ඇයගේ පියා කීවේය.
තවත් සුලු මොහොතක් ගෙවී ගියේය. කොයි මොහොතක හෝ ඇය අප ඉදිරියට එනු ඇත. පාසැල් යන කාලයේ “ඇඩල්ස් ඔන්ලි” චිත්‍රපටියක් බලන්න ගොස් එය පටන් ගන්න තුරු ඇතිවන කුතුහලය මෙන් එකක් මට දැනිනි.
ඇයගේ මව විසින් වත්තම් කරගෙන ඇය අප ඉදිරියට ගෙන එනු ලැබුවාය. මුලින් මට බුලත් හෙප්පුව දී, පසුව මගෙ අම්මාට, මස්සිනාට ද, නංගීටද ආචාර කර මා ඉදිරියේ ඇති අසුනේ වාඩි වූවාය.
මට ඇයගේ මුහුණ දෙස කෙලින්ම බැලීමට ශක්තියක් නොවූ බැවින් ඇයගෙ දෙපා වල සිට ඉහලට මම මගේ දෑස රැගෙන ගියෙමි.
ඇයගේ දෙපා ඉතා විශාලය. කලකින් සේදූ බවක් පෙනෙන්නට නොවීය. පරන වූ “නිය ආලේප” තැනින් තැන පොතු ගැල්වී දුර්වර්න වූ නියපොතු නිරාවරනය විය.
විශාල ලය මඬලක් ඇය සතුවිය. නැහැය ඉන්දිරා ගාන්ධිගේ මෙන් විය. අත් කොට හැට්ටයක් ඇඳ සිටි අතර ඊටම ගැලපෙන සාරියක් ඉන්දියන් ක්‍රමයට එහෙත් අපිළිවෙලට ඇඳ සිටියාය.ඒ නිසාමදෝ වාඩිවූ විට කිළිටි රේන්දයක් ඇල්ලූ යට සාය ඉස්මතුවී පෙනුනේය.
” ජනවාරි වලට කලින් පෙබරවාරි ඇවිල්ලා යැයි” නංගී සිතනවා විය හැක.
ඔවුන් අප වෙනුවෙන් දිවා භෝජනය සූදානම් කළේය. මනමාලියගේ ලොකු අයියා පැමිණ මගේ මස්සිනාට යමක් රහසින් කියා ඔහු පැත්තකට කැඳවා,
“කෑමට පෙර මොකුත් කරනවාද ? සුදුවත් තියෙනවා ඕන් නම් රට බඩුත් තියෙනවා” යැයි කීවේය.
අප සැමට හොරෙන් මගෙ මස්සිනා යමක් සප්පායම් වී ඇත. ඔහු මුහුන විරිත්තමින් සිටිනු දැක අම්මාත්, නංගීත් ඔහු දෙස මාරුවෙන් මාරුවට රවා බැලීය.
දිවා භෝජනයට කුකුල් මසුත් , මා ඉතා ආසා කළ කොස් මාලුවත්, මුරුංගා හොද්දත් තව මොන මොනවාදෝත් විය.
ආපසු එන ගමනේදී විල්සන් කපු මහතා අවිස්සාවෙල්ලෙන් අපෙන් වෙන් වීය. හැතැප්ම කීපයක් එන තුරුම අප අතර කතා බහක් නොවීය.
“කොහොමද මල්ලී…තැන නම් වරදක් නෑ නේද?”
මස්සිනා ඇසුවේය…
” උඹලගෙ ඇස්වලට මොනව වෙලාද ? කිරි දෙන අම්ම කෙනෙක් වගේ හරියට ” අම්මා විරෝදය ප්‍රකශ කලාය.
” ඇයි අයියෙ දැක්කෙ නැද්ද ? අත් දෙක පුරාම මයිල්”
“මයිල් නැති ගෑනු කොහෙන් හොයන්නද ?” තවමත් වෙරි මතින් සිටි මස්සිනා සෙමෙන් පැවසීය. නංගී ඔහුට ටොක්කක් ඇන්නාය.
නිමි