ඔබත් පසුතැවෙනවා ද..?

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔබත් පසුතැවෙනවා ද..?

    මේ මට ලැබුනු ඊමේල් පනිවිඩයක් කොපි පේස්ට් කිරීමක්. ඇත්තටම ගොඩාක් නොදන්න කාරනා කීපයක්ම තිබුන නිසා එලකිරිය එක්ක බෙදාගන්න හිතුවා. කියවන්න අකමැති අයටනම් එපාවෙයි. ඒත කොහොම හරි කියවන්න මොකද හරිම වැදගත් කාරණා තමයි තියෙන්නෙ.කියවල අදහස් ලියල යන්න අමතක කරන්නෙපා.​

    නමෝ බුද්ධාය..!!!


    අපි හැමෝම පව් කරලා තියෙනවා.. අඩු වැඩි වශයෙන්. තමන් කරපු කියපු දේවල් පව් නේ ද කියල පවා කෙනෙකුට දැනගන්ට අවස්ථාවක් ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය මුණ ගැසුනට පස්සෙයි..

    ඒ විදියට පව මොකක් ද පවේ විපාක මොනවද කියල ධර්මය තුළින් දැනගන්න ලැබුණු කෙනෙකුට ඇතැම් අවස්ථාවල දී පසුතැවිල්ලක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේ ම ඇතැම් විට බියකුත්.. මං අතින් මේ මේ පව් වෙලා තිබෙනවා නෙ.. දැන් මට මොන මොන විපාකයක් ලැබේවි ද..? මං මේකෙන් ගැලවෙන්නේ කොහොම ද..?, ඔය විදියට නොයෙක් ගැටලු ඇති වෙන්න ඉඩ තිබෙනවා..

    ඉතින් මේ සටහන තැබෙන්නේ, ඒ වගේ ගැටලුවලට යම් සහනයක් ලබා දීමේ අපේක්ෂාවෙන්..

    ආනන්තරීය කර්මයන් යම් කෙනෙක් අතින් සිදු වුණොත්, ඒ කෙනා නිරයේ යෑම වෙනස් කරන්නට කාටවත් හැකි වෙන්නේ නැහැ. ඒ නිසා එය නියත රාශියක් ලෙසට යි ධර්මයේ දැක්වෙන්නේ..(මිච්ඡත්ත නියත රාශිය – නිත්‍ය රාශිය නෙවෙයි..). ඒ වගේ ම තමයි කෙනෙක් ආර්ය මාර්ගයට පත්වුණොත්, එයා ඵලයන්ට පත් නොවී තිබෙන්නේ නැහැ. ඒ නිසා එයත් නියත රාශියක් ලෙසට යි දැක්වෙන්නේ (සම්මත්ත නියත රාශිය). අනිත් බොහෝ දේවල් අනියත යි. මේ නිසා ම කෙනෙකුට කර්මයේ විපාක ලැබෙන ස්වරූපය වෙනස් කර ගැනීමට යම් අවස්ථාවක් තිබෙනවා.. හැබැයි ඒ වෙනස් කරගන්නත් පුලුවන්කම තිබෙන්නේ තමන් ගේ ක්‍රියාවෙන් ම තමයි.. ප්‍රාර්ථනාවකින් යැදීමකින් හෝ වෙන ගුප්ත ක්‍රමයකින් නොවෙයි..

    යම් පාප කර්මයක් එක හා සමාන විදියට දෙදෙනෙක් විසින් සිදු කළත් ඒ කර්මයට විපාක ලැබෙන ආකාරය ඒ අයගේ ගුණවත් භාවය මත වෙනස් වෙනවා.. ඒ බව භාග්‍යවතුන් වහන්සේ සොඳුරු උපමාවකින් පැහැදිලි කොට වදාළා..!!! කෙනෙක් එක සමාන ලුණු කැට ප්‍රමාණයක් ගංඟානම් ගඟට සහ කුඩා වතුර වීදුරුවකට දමනවා.. ගංඟානම් ගඟේ ජලයට ඒ ලුණු ප්‍රමාණය දැන්නෙන් වත් නැහැ. නමුත් කුඩා වතුර වීදුරුව ලුණු රස වෙනවා..

    ඒ වගේ ම තමයි දෙදෙනෙක් එක හා සමාන පාප කර්ම කළත්, ඒ අතරින් එක් කෙනෙක්, ගුණයෙන් විශාලයි නම්, ඒ කෙනාට එම කර්මය විපාක දෙන්නේ අල්ප වශයෙන්. පරලොව විපාක දෙන්නට ඉතිරි නොවීම, එය මේ ජීවිතයේ සුලුවෙන් විපාක දී ඉවර වෙනවා.. නමුත් කර්මය කළ තැනැත්තා ගුණයෙන් විශාල නැත්නම්, ඔහු ගේ සිත කුඩා වතුර වීදුරුව වගේ පටුයි නම්, ඒ කෙනාව සුලු පාප කර්මයකින් පවා නිරයට ඇදගෙන යන්නට ඉඩ තිබෙනවා..

    ඉතින් මේ ධර්මතාවය අප කළ පව් අල්ප වශයෙන් විපාක දී කෙළවර වන දෙයක් බවට පත් කරගන්නට යොදා ගත නො හැකි ද..? ඇත්තෙන් ම පුලුවනි..

    සාමාන්‍යයෙන් කෙනෙක් අතින් පව්කමක් සිදු වූ විට බොහෝ විට ධර්මතාවයක් ලෙසට ම සිතේ විපිළිසර භාවය, පසුතැවිල්ල ඇති වෙනවා. එය ඇතැම් විට නුවණැති කෙනෙකුට නම් නැවත එවැනි පව් නොකර සිටීමට උපකාරයක් කර ගත හැකි යි. නමුත් අනවශ්‍ය ලෙස පසුතැවෙමින් කාලය ගත කිරීම ධර්ම මාර්ගයට බාධාවක්. එයින් සිදු වන්නේ නීවරණ පෝෂණය වීම යි.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඉතිරි ටික

    මේ නිසා අපි ධර්මය මුණ ගැසෙන්නට පෙර යම් යම් පව් කම් කර තිබෙනවා නම්, ඒ ගැන අනවශ්‍ය ලෙස, අකුසල් වැඩෙන අයුරින් අයුරින් පසු තැවි තැවී සිටීමෙන් පළක් වන්නේ නැහැ. අපි කළ යුතු වන්නේ ඒ කර්මයන් ගේ විපාකයන් අල්ප වීම පිණිස, අපේ සිත ගංගානම් ගඟ වගේ ගුණයෙන් මහත් වූ එකක් බවට පත් කර ගැනීමට උත්සාහ කිරීම යි.. එය අසීරුයි… නමුත් කළ නොහැකි දෙයක් නොවෙයි..

    භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා විසින් තමන් පෙර සිදු කළ කර්මයන් ගැන කල්පනා කළ යුත්තේ කොහොම ද කියන දේ විස්තර වන සූත්‍ර දේශනාවක් තිබෙනවා. එහි නම තමයි සංඛධම සූත්‍රය

    එහි දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, කලින් ප්‍රාණඝාතය සිදු කළ අයෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගත් පසු මේ විදියට යි කල්පනා කළ යුත්තේ කියා..

    “භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ප්‍රාණඝාතයට ගර්හා කරනු ලබනවා. දොස් පෙන්වා දෙනු ලබනවා. සතුන් මැරීමෙන් වෙන්වන්න කියාත් දේශනා කරනවා. මාත් යම් පමණකට හෝ සිදු කරපු සතුන් මැරීම් තිබෙනවා. ඒක සුදුසු දෙයක් නම් නෙවෙයි. එය හොඳ දෙයක් නම් නෙවෙයි. මම ඒ හේතුවෙන් පසුතැවිල්ල ඇති කරගත්තත්, ඒ පව් කම සිදු නොවුණා වෙන්නෙ නැහැ…“

    මේ විදියට කල්පනා කරලා එයා ඒ ප්‍රාණඝාතය බැහැර කරනවා. නැවත ප්‍රාණඝාතය සිදු කිරීමෙනුත් වළකිනවා. ඒ විදියට කටයුතු කිරීමෙන් ප්‍රාණඝාතය කියන අකුසලය එයා ප්‍රහාණය කරනවා. ප්‍රාණඝාතය කියන අකුසලය මනා කොට ඉක්මවා යනවා.

    මේ අයුරින් දස අකුසලය ගැන ම කල්පනා කොට ඒ සියලු අකුසල්වලින් වෙන් වීමට භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා කටයුතු කරනවා.

    මෙතැන දී ඉතා ම වැදගත් වන දෙය තමයි ආයති සංවරය.. ඒ කියන්නේ ඒ අකුසලය නැවත සිදුනොවන අයුරින් සංවර වීම. ඒ වගේ ම ඒ විදියට දස අකුසල් දුරු කරන කෙනා, ඊ ළඟට සිදු කරන්නේ තමන් ගේ ජීවිතය ගුණයෙන් වඩාත් උසස් භාවයට පත් කරගැනීම යි. එසේ කිරීමෙන් තමයි කලින් සිදු කළ අකුසලයන් විශාල ලෙස හානි ගෙන දෙමින් තමන් කරා විපාක වශයෙන් පැමිණෙන එක වළකින්නේ.

    ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා දස අකුසලයෙන් වෙන් වූ සිතින් යුතුව හොඳින් සිහිය සහ නුවණ පිහිටුවාගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩනවා.. ඉතා හොඳින් වඩනවා. ඒ විදියට සතර බ්‍රහ්ම විහරණ ඉතා හොඳින් වැඩීමෙන් සිදු වන්නේ, සිත අප්‍රමාණ බවට පත් වීම යි. ගුණයෙන් ඉතා විශාල භාවයට පත් වීම යි. ඒ විදියට ගුණයෙන් ඉතා විශාල භාවයට සිත පත් වුනා ම ඒ සිතේ ප්‍රමාණ කරල සිදු කරපු කර්මයන් ඉතුරු නොවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.

    බොහෝ විට ඒ කෙනාට පරලොව දී විපාක දෙන විදියට ඒ කර්මයන් බලපාන්නේ නැහැ. ඇතැම් විට මේ ජීවිතයේ දී ම සුලු සුලු දෙයක් ලෙස විපාක දී ඉවර වී යනවා. එයට හේතුව මෛත්‍රිය ආදියෙන් හොඳින් වැඩුණු සිත ගංඟානම් ගඟ සේ ගුණයෙන් විශාල වීම යි.

    සුවිශාල මිනිස් ඝාතන ප්‍රමාණයක් සිදු කළ අංගුලිමාලයන් පසු කලෙක මහරහතන් වහන්සේ නමක් බවට පත් වූයේ මෙසේ සිත ගුණයෙන් අප්‍රමාණ බවට පත් කරගැනීමෙනු යි. ඒ තුළින් නිරයේ ගොස් ගෙවිය යුතුව තිබූ කර්මයක් ක්ෂය කරගෙන සුලු සුලු අයුරින් විපාක දී අවසන් වුණ එකක් බවට පත් කරගන්නට උන්වහන්සේට අවස්ථාව උදාවුනා..

    ඉතින් අප අතිනුත් නොයෙක් පව්කම් සිදු වී තිබෙන්නට පුලුවන්. ඒ දේවල් ගැන පසු තැවි තැවී සිටීමෙන් පලක් වන්නේ නැහැ. එයින් අදහස් වන්නේ නැහැ, පව් කරමින් ම පසු නො තැවී සිටිය යුතු යි කියා. පව් කරනවා නම් ඔහු කරා පසුතැවිල්ල එනවා. එය ස්වභාවයක්. නමුත් ධර්ම මාර්ගයට පිවිසි කෙනා, කලින් සිදු වූ දේ ගැන සිත සිතා පසුතැවෙමින් සිටීම අර්ථ ශූන්‍ය ක්‍රියාවක්. එයින් වන්නේ නීවරණ වැඩිම පමණ යි.. නීවරණ කියන්නේත් අකුසල්.. ඒ නිසා අපකළ යුතු වන්නේ භාග්‍යවතුන් වහන්සේ ඉහත පෙන්වා දුන් ආකාරයට, තමන් අතින් සිදු වූ එම අකුසල්ගැන නිවැරදි අයුරින් කල්පනා කොට, ආයතිසංවරයට පත් වී, එම අකුසලය දුරු කර දැමීම යි.

    ඒ වගේ ම පුලුවන් තරම් හොඳින් මෛත්‍රිය, කරුණාව, අන් අය ගේ සැපතට කැමති වීම නම් වූ මුදිතාව, සහ උපේක්ෂාව කියන මේ ගුණයන් භාවනා වශයෙන් වඩන්නට ත් උත්සාහ කළ යුතු වෙනවා.. එවිට අප අතින් යම් අකුසලයක් සිදු වූවා නම් එහි විපාකය යම් තරමකට හෝ අල්ප කරගන්නට අපට හැකි වේවි. ඒ වගේ ම මෛත්‍රිය ආදී ගුණ ඉතා හොඳින් පුරුදු කර ගන්නට අවස්ථාව ලැබුණොත්, ඒ ඔස්සේම සිත විදර්ශනාවට නගා ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට ත් අවස්ථාවක් උදාවේවි..

    එවිට නැවත කිසිදා පාපයන් ගෙන් පිරුණු මේ සසරේ ඉපදි ඉපදී දුක් විඳිමින් භය සන්ත්‍රාස සහිතව ගමන් කරන්නට ඔබට සිදු වන එකක් නැහැ. ඇත්තෙන් ම ඒ සඳහා ම යි නොපමාව වීරිය කළ යුතු වන්නේ. ඒ පිණිස ම භාග්‍යය ලැබේවා..!


    තෙරුවන් සරණයි..!!!​