මරා දැමුණු තරුණියගේ අනන්‍යතාවය හෙළිවේ - සැකකරු පොලිස් නිලධාරියෙක්
වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
කෙසේවෙතත් එම මළ සිරුර ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර තිබේ.
කෙසේවෙතත් පසුව එම පුද්ගලයා පමණක් ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල - පිටකොටුව බස් රථයකට නැග ගමන්ගන්නා ආකාරය ද නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට ද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මියගිය කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වු ප්‍රතිඵලයක් ලෙස එම ඝාතනය සිදුව ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇත.
මේ වන විට සැකකරු නිවසෙන් බැහැරව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.