කරණීය මෙත්ත සූත්‍රය

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කරණීය මෙත්ත සූත්‍රය

    බෞද්ධයො විදියට අපි හැමෝම දන්න සූත්‍රයක් තමයි කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ. හැබැයි මේකෙ තේරුම හරියම දන්නෙ සීමිත පිරිසක් විතරයි. ඇත්තටම දෙයක් දන්නෙ නැතුව කරනවට වැඩිය නොදැන නොකර ඉන්න එක වටිනවා. ඒ නිසා සූත්‍රයක් ගාථාවක් වගේ දෙයක් අපි කියනකොට එහි තේරුම දැනගෙන කියනවනම් ගොඩක් වටිනවා. අන් ඒ නිසා කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජානන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරන්න හේතුව හා එහි සිංහල තේරුම එලකිරියේ ඉන්න් බෞද්ධ පිරිසට ලබාදෙනවා. මේක මම සිංහල පරිවර්ථනය කරපු දෙයක් නෙවෙයි. "මුදුන" කියන මුහුනුපොතේ තියෙන පිටුවකින් තමයි ගත්තෙ. වැදගත් නිසා එලකිරියෙ දාන්නෙ. සම්පූර්ණ අයිතිය "මුදුන" ට හිමිවිය යුතුයි. කලින් එලකිරියේ මේ ත්‍රෙඩ් එක දාල තිබුනනම් සමාවෙන්න.

    කරණීය මෙත්ත සූත්‍රය

    10174881_672669526142979_1300736767526842468_n.jpg


    නිධාන කතාව:

    ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ වැඩසිටි සමයේ භික්‍ෂූන් වහන්සේ 500 නමක්‌ භාවනානුයෝගීව වැඩ සිටීමට සුදුසු තැනක්‌ බුදුරදුන්ගෙන් විමසා සිටියා. එවිට උන්වහන්සේ අරඤaඤ ගතෝවා, (ආරාම තූළ) රුක්‌ක මූල ගතෝවා, (රුක්‌ සෙවනේ) සුඤ්ඤාගාර ගතෝවා (ජන ශුන්‍ය) පෙදෙස්‌ යන ස්‌ථානවලින් එක්‌ ස්‌ථානයකට යන මෙන් කියා සිටියා.

    ඒ අනුව උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ. මේ භික්ෂූන්වහන්සේලාත් ඒ වන ලැහැබට වැඩම කර තම භාවනා කර්මය පටන් ගත්හ.

    මේ වනලැහැබට අරක්ගත් රුක්ෂ දේවතාවුන් සමූහය මේ සිල්වත් භික්ෂූන්වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬුසිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනීගියේ මේ යෝගාවචර සඟ පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවය.ඔවුහු කතිකා කර භික්ෂූන්වහන්සේලා බියගන්වා එලවාදැමීමට උපක්‍රම යෙදූහ. දේවතාවුන් විසින් අමනුෂ්‍ය රූප මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වීමෙන් ඒ ස්වාමීන්වහන්සේලාගේ බවුන් වැඩීමට බාධාවූ අතර එතැන තමන්ට සුදුසු තැනක් නොවන බව තේරුම්ගත් උන්වහන්සේලා පෙරළා බුදුහිමියන් වෙත පැමිණ තම අත්දැකීම සැල කළහ.

    “ස්වාමීනි, මේ විදියෙ උපද්‍රව වලට මුහුණදෙන්න වුණ එතැන බවුන් වැඩීමට සුදුසු නැති බවයි පේන්නෙ .”

    “නැහැ මහණෙනි, එතැනමයි සුදුසු. මේ වතාවේ නුඹලා ආයුධයක් අරගෙනයි යා යුත්තේ.”

    “ස්වාමීනි, කුමක්ද ඒ ආයුධය?”

    මේ ආයුධය මෙත්තා සූත්‍රය ය.

    අනතුරුව බුදුරජාණන්වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට වෙනත් ස්‌ථානයකට නොගොස්‌ පෙරදී බාධා ඇතිවූ ස්‌ථානයටම ගොස්‌ කරණීය මෙත්තසූත්‍රය දේශනා කොට නැවත භාවනාව ආරම්භ කරන ලෙස දැන්වූවා.

    එහි ගිය භික්‍ෂූන් වහන්සේලා පංච ශීලය ආරක්‍ෂා කරමින් මෙත්ත සූත්‍රය සජ්ජායනා කොට භාවනාවට සැරසෙත්ම ප්‍රමෝදයට පත් රුක්‍ෂ අධිපති දෙවි දේවතාවෝ පැමිණ සැම කල්හිම මේ ස්‌ථානයේ වාසය කරමින් සිල්වත් ජීවිතයක්‌ ගතකරන ලෙස ආරාධනා කළා. එයින් අපට වටහාගත හැකියි. කරණීය මෙත්ත සූත්‍රයේ බලසම්පන්න බව.

    යක්‍ෂ, ප්‍රේත අමනුෂ්‍ය බය දුරලීම පිණිස දේශනා කරන ලද මෙම සූත්‍රය වර්තමානයේ බොහෝ දෙනා සඡ්ජායනා සූත්‍රයක්‌ ලෙස භාවිත කළත් මෙම සූත්‍රය සඡ්ජායනයට පමණක්‌ සීමාවිය යුතු සූත්‍රයක්‌ නොව ක්‍රියාවට නැංවිය යුතු සූත්‍රයකි. මෙම සූත්‍රය සඡ්ජායනයෙන් දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින්ම ලැබෙන අතර ක්‍රියාවේ යෙදවීමෙන් විදුල ප්‍රයෝජන ලැබිය හැකිබව මතක තබාගත යුතුම කාරණයකි.

    කරණීය නම් කළ යුතු වූ යන්නයි. මෙත්ත නම් මෛත්‍රියයි. එබැවින් මෙම සූත්‍රයේ දැක්‌වෙන ගුණ තමා තුළ වර්ධනය කරගනිමින් ක්‍රියාවේ යෙදවීමටත් දමනය කළ නොහැකි අමනුෂ්‍ය බලවේග යක්‍ෂ, ප්‍රේත දොaෂ සියල්ල තමා ඉදිරියේ දමනය වී සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ වෙත පැමිණෙන සියලු ප්‍රශ්න විසඳාගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්‍ෂාව නිරතුරුවම ඔබට ලැබේ.

    නිතිපතා සජ්ජායනා කරමින් ක්‍රියාවට නැංවිය යුතු මෙම අගනා සූත්‍රයේ විශේෂ ගුණාංග මෙසේ පැහැදිලි කළ හැකි අතර එම ගුණාංග ඔබේ දිවියට ළංකර ගැනීමෙන් එය ඔබේ ඉදිරි යහපත සඳහා මහෝපකාරී වනු ඇත.

    කරණීය මෙත්ත සූත්‍රය

    1.කරණීය මත්‍ථ කුසලෙන
    යං තං සන්තං පදං අභිසමෙච්ච
    සක්කො උජූ ච සූජූ ච
    සුවචො චස්ස මුදු අනතිමානි

    තේරුම
    1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.

    2.සන්තුස්සකො ච සුභරො ච
    අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
    සන්තින්ද්‍රියො ච නිපකො ච
    අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

    තේරුම
    2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.

    3.නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
    යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
    සුඛිනො වා ඛෙමිනො හොන්තු
    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
    තේරුම

    3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.

    4.යෙ කෙචි පාණ භූතත්ථි
    තසා වා ථාවරා වා අනවසෙසා
    දීඝා වා යෙ මහන්තා වා
    මජ්ඣිමා රස්සඛාණුකථූලා

    තේරුම
    4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

    5.දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
    යෙච දූරෙ වසන්ති අවිදූරෙ
    භූතා වා සම්භවෙසීවා
    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

    තේරුම
    5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?

    6.නපරො පරං නිකුබ්බේථ
    නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
    ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
    නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

    තේරුම
    6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.

    7.මාතා යථා නියං පුත්තං
    ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
    එවම්පි සබ්බභූතෙසු
    මානසං භාවයෙ අපරිමානං

    තේරුම
    7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.

    8.මෙත්තං ච සබ්බලොකස්මිං
    මානසං භාවයෙ අපරිමානං
    උද්ධං අධො ච තිරියඤ්ච
    අසම්බාධං අවෙරං අසපත්තං

    තේරුම
    8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.

    9.තිට්ඨං චරං නිසින්නෝ වා
    සයානො වා යාවතස්ස විගතමිද්ධො
    එතං සතිං අධිට්ඨෙය්‍ය
    බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

    තේරුම
    9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.

    10.දිට්ඨිං ච අනුපගම්ම සීලවා
    දස්සනේන සම්පන්නො
    කාමෙසු විනෙය්‍ය ගෙධං
    නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

    තේරුම
    10. මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය.

    කරණීය මෙත්ත සූත්‍රය මෙතනින් ඩව්න්ලොඩ් කරගන්න
    https://www.mediafire.com/?2fkyowsf8wayd9a
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මමත් ඔය මුදුන කියන පිටුවෙන් උපුටගෙන ගොඩක් ත්‍රෙඩ් දැම්මා පහුගිය දවස් වල... බොහොම වටින දේවල් ඒකේ තියනවා.. මේක බෙදාගත්තට ස්තූතියි සහෝ.. පින් සිදු වේවා!!!
    +++ :)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නැකැත් රාල;16775073 said:
    මමත් ඔය මුදුන කියන පිටුවෙන් උපුටගෙන ගොඩක් ත්‍රෙඩ් දැම්මා පහුගිය දවස් වල... බොහොම වටින දේවල් ඒකේ තියනවා.. මේක බෙදාගත්තට ස්තූතියි සහෝ.. පින් සිදු වේවා!!!
    +++ :)

    හම්... මම දැක්ක. කොමේන්ට් කලා. ගොඩක් වැදගත් දේවල් එකේ තියෙනවා....