දේවතාවාගේ පිළිතුරඃ මම දැඩිමුණඩ දෙවියන්ව දැකලා තියෙනවා. එතුමා වැඩ ඉන්නෙ අළුත්නුවර (මාවනැල්ල නරගරයට ආසන්න ප්‍රදේශයක්) දේවාලයෙ. අළුත්නුවර තමයි දැඩිමුණ්ඩ දෙවියන්ගෙ මූලස්ථානය තිබෙන්නෙ. මාගේ කාර්යය වන්නේ දූතයෙක් වශයෙන් එතුමාගේ පණිවිඩ ගෙනයාම සහ කිරිවෙහෙර අසබඩ තිබෙන දැඩිමුණ්ඩ දේවාලයේ රැඳී සිටිමින් දැඩිමුණ්ඩ දෙවියන්ට මිනිසුන් විසින් දෙන පිං අනුමෝදන් වීම. මම උදේම කිරිවෙහෙර, දළදා මාළිගාව, දළදා මාලිගා භුමියේ පිහිටි වැල්බෝධිය, අනුරාධපුරේ ජය ශ්‍රීමහා බෝධිය, මිරිසවැටිය ආදිය වැඳලා තමයි වැඩ පටන් ගන්නෙ.
අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේට කොපමණ වෙලා යනවාද උදේට ඔය ස්ථානයන් වන්දනා කර ගන්න?
දේවතාවාගේ පිළිතුරඃ ඒක හරියටම කියන්න බෑ වඳින්න ගන්න වෙලාව අනුව ඒක වෙනස් වෙනවා. නමුත් මට ඒ තැන් අතර ගමන් කරන්න ගත වන කාලය පොඩි කාලයක්. අපට හිතින් හිතපු ගමන්ම වගේ පොඩි වෙලාවකින් ඒ ඒ තැන් වලට යන්න පුළුවන්.
අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේගේ ශරීර ප්‍රමාණය ගැන කියන්න පුළුවන් ද?
දේවතාවාගේ පිළිතුරඃ ඒක නිශ්චිතව එකම ප්‍රමාණයක් කියලා හරියට කියන්න බෑ. අපිට ඕන ප්‍රමාණයකට උස්, මිටි වෙන්න පුළුවන්.
අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේට ඝනවස්තු වගේ දෙවල් චලනය කරන්න පුළුවන් ද?
දේවතාවාගේ පිළිතුරඃ මට ඒක කරන්න තරමක් අමාරුයි. නමුත් අපේ ලෝකෙ එහෙම කරන්න පුළුවන් අයත් ඉන්නවා. මේ ළඟදි මට හම්බවුනා එක්තරා ගෙදරක මිනිස්සුන්ට අසූචි, වැලි වාගේ දේවල් විසිකරමින් කරදර කරන ගෙවල ප්‍රේතයෙක්. ඒ ගෙදර මිනිස්සු මෙහෙ දේවාලෙට ඇවිල්ලා මට බේරලා දෙන්න කියලා ඉල්ලපු නිසා මා ඒ ගෙවලයාව ඇදගෙන ගිහිල්ලා බෝධියකට (බෝධියක සිටින දෙවිවරුන්ට) භාර කරා ඌව හොඳ මාර්ගයට ගන්න කියලා.
අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ ආහාර ගන්නවාද?
දේවතාවාගේ පිළිතුරඃ අපි කෑම කනවා කියලා එකක් කරන්නෙ නෑ. නමුත් අපිට සුවඳ උරාගන්න පුළුවනි. අපිට ඔය පූජාවලට තියන පළතුරුවල සුවඳ එහෙම උරාගන්න පුළුවන් කමක් තියෙනවා. අපේ ලෝකෙ ඉන්න සමහර ප්‍රේතයන්ටත් ඒක පුළුවන්. සමහර ප්‍රේතයො ගෙවල්වල පුළුටු (මස්, මාංශ, කරවල ආදිය) පිළියෙල කරන විට ඒවාට ආශාවෙන් ඇදිලා ඇවිල්ලා ඒ පුළුටු ගඳ උරාගත්තම ඒ කෑම කන සමහර මිනිස්සුන්ව ලෙඩ වෙනවා.
අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ දිව්‍යලෝකයක දෙවියෙක්ද?
දේවාතාවාගේ පිළිතුරඃ නැහැ, මට දිව්‍යලෝකයක උපදින්න තරම් පිං නෑ. දිව්‍යලෝකයක උපදින්න නම් ගොඩක් පිං කරලා තියෙන්න ඕන. දිව්‍යලෝක මොනවගේද කියලා හරියට කියන්න දන්නෙ නෑ. මා ජීවත් වෙන්නෙ මේ භූමිය (මහපොළොව) ආශ්රීතවයි.
අපගේ ප්‍රශ්ණයඃ දැඩිමුණ්ඩ දෙවියන් හැර වෙනත් ප්‍රධාන දෙවිවරු දැක තිබේද?
දේවතාවාගේ පිළිතුරඃ කතරගම දෙවියන් වැඩහිටි කන්දෙ වැඩ ඉන්නවා, කතරගම මහා දේවාලේ ගිනිපාගන උත්සවේට එතුමා අනිවාර්්‍යයෙන්ම එනවා.
අපගේ ප්‍රශ්ණයඃ ඔය දේවතාවා ඇරෙන්න වෙනත් දේවතාවරුන්ට මේ මනුෂ්‍ය වාහකයාගේ (කාන්තාවගේ) ශරීරයට ආරූඬ විය හැකිද?
දේවතාවාගේ පිළිතුරඃ ඔව්. මාගේ මිණිබිරීගෙ මිය ගිය තාත්තා ඇයට ඇතැම් අවස්ථාවලදි ආරූඬ වෙනවා. ඔහු දේවතාවෙක් නම් නෙමෙයි ඊට වඩා පහත් තත්වයක කෙනෙක්. ඔහුට මනුෂ්‍යයෙක් වශයෙන් ජීවත්ව සිටියදී රථවාහන පැදවීමට හැකියාව තිබුණා. ඔහු ඇතැම් වෙලාවට ඇවිත් මගේ මිණිබිරියට ආරූඬ වී රථවාහන පවා පදවනවා. තව මෙතන තියෙන දේවාලයේ දිවාකාලයේදී ශ්රාස්ත්ර කියන මාගේ හිතවත් අනෙක් දේවාතාවුන්වහන්සේ මටත් වඩා උසස් තත්වයක කෙනෙක්. එතුමාත් මාගේ මිණිබිරියගේ ශරීරයට ආරූඬ වෙලා තමයි දේවාලේ වැඩ කටයුතු කරන්නේ.
අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ මේ විධියට ආරූඬ වෙලා මනුෂ්‍යයන් සමඟ සම්බන්ධ වීමෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද?
දේවතාවාගේ පිළිතුරඃ මම මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා මිනිස්සුන්ට කියලා පුණ්‍ය කටයුතු කරවනවා. ඒ පින් දෙවියන්ටත් අනුමෝදන් කරවනවා. තව මාගේ මිණිබිරියට ගෙවිය යුතු පෙර ණයක් වගේ කර්මයක් හින්දා මා මෙහෙට ඇවිල්ලා දේවාලෙ වැඩ කටයුතු කරලා දීලා කැඹූරුමක් (සේවයට සාධාරණ ගාස්තුවක් – රුපියල් 127ක්) අරගෙන දෙනවා. මට ඕන ඕන විධියට එම ගාස්තුව ගන්නත් බෑ. ඒක මට අවසර දීලා තියෙන විධියට තමයි ගන්න පුළුවන් කම තියෙන්නෙ. වෙනත් සමහර හොරු වගේ මම රත්තරන් මාල ආදිය ගන්නෙත් නෑ. මට ඇඳුම් පැළඳුම්, වස්තුව වැඩක් නෑ. මට ඕන කරන්නෙ පිං. මම කියන නිසා කවදාවත් පිනක් නොකරන මිනිස්සුත් පිං කරගන්නවා. මම මෙහෙට එන මිනිස්සුන්ට වෙදකම් කරන්නෙ නම් නොමිලේ. ඒක මම කරගන්න තවත් පිනක්.
අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ මනුෂ්‍යයකුව ඉන්නකොට වෙදකම් දැනගෙන හිටියෙ නැත්නම් දැන් දේවතාවෙක් උනාට පස්සෙ වෙදකම් කරන්න දැනුමක් කොහෙන්ද ලැබුනෙ?
දේවාතාවාගේ පිළිතුරඃ මේක දැඩිමුණ්ඩ දෙවියන්ගෙන ලැබුණ වරමක්.
අපගේ ප්‍රශ්ණයඃ වරමක් ලැබෙනවා කියන්නෙ මොකක්ද?
දේවතාවාගේ පිළිතුරඃ අපි දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් සෑහෙන්න කැපවෙලා වැඩකරනවා. කාලයක් එහෙම වැඩ කරනකොට දෙවියන්ගෙන් වරමක් ඉල්ලුවාම අපට නොදී ඉන්නෙ නෑ. අපට මනුෂ්‍යයො ලඟට ඇවිල්ලා වෙදකම් කරන්න, ශාස්ත්‍ර කියන්න එහෙම දෙවියො වරම් දීලා තියෙනවා. (අපට අවබෝධ වූ පරිදි, බලගතු දෙවිකෙනෙකුට වරමක් ලබා දීම මඟින් වෙදකම, ශාස්ත්‍ර කීම වැනි කර්තව්‍යයක් කිරීමට අවශ්‍ය දැනුම තවත් දේවතාවෙකුට පුහුණු කාලයකින් තොරවම, කෂ්ණයකින්ම පැවරීමේ හැකියාවක් දේවතාවුන් අතර තිබේ)
අපගේ ප්‍රශ්ණයඃ අපට පැරණි වෙදකම, ගොවිතැන් ක්‍රම ගැන දැනුම ලබාගැනීමට ඔබවහන්සේට උදව් කළ හැකිද?
දේවතාවාගේ පිළිතුරඃ පුළුවනි. ඒත් අපේ ජීවත් වෙලා ඉන්න කාලෙ නම් ගොවිතැන් කළේ දැන් වාගෙ මැහිතෙල් (කෘමිනාශක) ගහලා නෙමෙයි. කෙම් ක්‍රම වලින් තමයි අපි ඒ කාලෙ ගොවිතැන් කලේ. ඒ වාගේ දේවල් සහ වෙදකම ගැන ඔය දරුවන්ට කියලා දෙන්න පුළුවන්.
අප එම දේවතාවා සමඟ පැය දෙකක පමණ කාලයක් තුල කරන ලද පිළිසඳරෙන් විවිධාකාර වූ ප්‍රශ්ණ රාශියකට පිළිතුරු ලබාගත් අතර මෙම ලිපියේ දක්වන ලද්දේ ඉන් වඩාත් වැදගත් යැයි හැඟුණ ප්‍රශ්ණ සහ පිළිතුරු කිහිපයක් පමණි. මේ අනුව බුදුදහමේ සඳහන් වන දේවසංකල්පය දෙවියන් (සහ අමනුෂ්‍යයන්) අපට නොපෙනෙන නිසා පහසුවෙන් ඉවත දැමිය නොහැකි බවට මෙවැනි ප්‍රායෝගික අත්දැකීම් මඟින් තව දුරටත් තහවුරු කිරීමට අපට හැකියාව ඇත. බුදුදහමේ දැක්වෙන දේව සංකල්පය තහවුරු කිරීමෙන් ඒ ගැන ශ්‍රද්ධාවක් නැත්තන්ට ශ්‍රද්ධාවක් ඇතිකර ගැනීමට සහ තවදුරටත් ඒ ගැන සෙවීමට මෙම සම්මුඛ සාකච්ඡාවේ කරුණු උපකාර කර ගත හැක.
තෙරුවන් සරණයි!