කිරුළු පැළඳ මව්බිමට ආ සඳනි
ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි Top Model Of The World - 2023 තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සඳනි පීරිස් මෙනවිය අද (07) දින උදෑසන දිවයිනට පැමිණියාය.
එම තරගාවලිය ඉකුත් පෙබරවාරි මස 20 දින සිට මාර්තු මස 03 දක්වා, ලෝකයේ රටවල් 42ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
22 හැවිරිදි සඳනි පීරිස් කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනයක "බැලේ " නර්තන උපදේශිකාවක් ලෙස ද කටයුතු කරමින් සිටී.
ඇය එම ජයග්‍රහණ රැගෙන අද දින උදෑසන 08.30ට බහරේන් නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය.
එහිදී සඳනි පීරිස් මෙනවිය සිය අනාගත බලාපොරොත්තු පිළිබඳව ප්‍රකාශ කරමින් සඳහන් කර සිටියේ, ඉදිරි මාස 06ක කාලය සඳහා ඉන්දියාවේ විශාලතම නිරූපණ ශිල්පී ආයතනයේ ආරාධනාවක් මත එහි සේවය සඳහා යන බවය.

