බොහොම ඉස්සර රජ කාලේ රජකුට පුත්තු තුන් දෙනෙක් හිටිය. රජ්ජුරුවො කිව්වා, තමන් මහළු වෙන්ට කලින් මුණුපුරන් දකින්නට ආසයි. ඉක්මණට විවාහ වෙන්නයි කියලා.
සරණ පාවා ගත යුතු තරුණිය හොයා ගන්නෙ මෙහෙමයි. එක එක්කෙනා, එක එක ඊයක් බැගින් අරගෙන එළිමහන් පිට්ටනියකට ගිහිල්ලා විදිනවා. ඊය වැටෙන්නෙ කොතනද, එතන තමා ඔවුන්ගේ හිමිකාරිය ඉන්නේ.
ඉතින් තුන් දෙනාම ඔය විදිහට කලා. ලොකු පුතාගේ ඊය සිටු ගෙදරකටත්, මද්දුම පුතාගේ ඊය ලොකු වෙළෙන්දෙකුගේ ගෙදරකටත් වැටුණා.
බාල පුතා ඉවාන්. ඉවාන් විද්ද ඊය ගිහිල්ල වැටිලා තිබුණෙ මඩ ගොඩකට. මඩ ගොඩේ හිටපු ගෙම්බියක් ඒ ඊය ඇහිද ගත්තා.
ඉවාන් කුමාරයා ඈට කතා කළා.
"ගෙම්ඹියේ, ගෙම්ඹියේ ඊය මට දෙන්න"
"මාව සරණ පාව ගනින් !" ගෙම්ඹිය කීවා.
"එහෙම කොහොමද, ගෙම්ඹියක්ව මම සරණ පාව ගන්නේ කොහොමද?"
"මාව ගනින්. ඒ තමා නුඹගෙ ඉරණම"
ඉවාන් කුමරයා කණගාටුවෙන් නමුත් ගෙම්බිව අරගෙන මාලිගාවට ආවා. කසාදත් බැන්දා.
දැන් ඔන්න පිය රජතුමා තමන්ගේ ලේලිලාගේ දක්සකම් මනින කාලය.
රජු කිව්වා, බිරියන් තුන් දෙනාගෙන් මහන්න දක්ස කවුද කියලා දැන ගන්න, කමිසයක් බැගින් මස්සවලා ගෙනල්ලා දෙන්න කියල.
පුතුන් තුන් දෙනා හිස නමා ආචාර කරලා ගියා.
ඉවාන් කුමාරයා හිස බදා ගෙන කල්පනා කරනවා.
ගෙම්බිය ගෙබිම දිගේ පැන පැන ඇවිත් අහනවා මොකද කියල.
ඉවාන් කුමාරයා විස්තරේ කියනවා.
"ඉවාන් කුමාරයා, නුඹ කණගාටු වෙන්ට එපා, ගිහින් නිදා ගනින්. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා" ගෙම්බිය පිළිතුරු දුන්නා.
ඉවාන් කුමාරයා නිදා ගන්ට ගියා. ගෙම්බිය එළිපත්තට ගිහිල්ල ගෙඹි හම වීසි කරලා ලස්සන වසීලිස්සා උණා. එතරම් ලස්සන කෙනෙකු ගැන කියලා ඉවර කරන්නට බැහැ.
නුවණති වසීලිස්සා අත්පුඩි ගහලා මෙහෙම කිව්ව:
"අම්මලා නැන්දලා, එක්කසු වෙයල්ල ලැහැස්ති වෙයල්ල! මගේ තාත්තා ළග තියන කමිසය වගේ ලස්සන කමිසයක් හෙට උදේ වෙන කොට මහල දියල්ල !"
ඉවාන් කුමාරය උදේ නැගිටිනකොට ලස්සන කමිසයක් මේසෙ උඩ තියනවා. ගෙම්බිය ගෙබිම දිගේ පැන පැන යනවා.
ඔන්න ඉතින් පුත්තු තුන් දෙනා තමන්ගේ බිරින්දෑවරු මහපු කමිස පිය රජ තුමාට පිළිගැන්නුවා.
"මේ කමිසය වැඩ කරන කොට අදිනව" - ඒ ලොකු පුතා ගෙනා එක
"නාන්ට යනකොට අදින්නට මේ කමිසය හොදා" - ඒ මද්දුම පුතා ගෙනා කමිසෙ
"මෙන්න මේ තමා කමිසය. උත්සවයට අදින්න හොදයි" - ඉවාන් ගෙනා කමිසෙ උඩින්ම තේරුණා.
අයියලා දෙන්නට ගෙම්බිය ගැන සැක හිතුනා. රජ්ජුරුවො ඊලගට පැවරුවෙ, රසම පාන් හදන් එන්න.
අයියල දෙන්න ඔත්තු බලන්න ආච්චි කෙනෙක් යැව්ව.
ඔන්න ඉවාන් ආයිමත් හිස බදා ගෙන කල්පනා කරනවා. ගෙම්බිය යළිත් වගකීම බාර ගත්තා.
අයියලා දෙන්න ඔත්තු කාරියක් එවූ බවත් ගෙම්බියට දැනුණ. ඈ ඔත්තු කාරියට පේන්න, පිටි අනලා ලිපේ ගිනි අගුරු තියන තැන වළක් හාරලා,
අනපු පිටි ගුලිය එය ඇතුලට දැම්ම. ඔත්තු කාරි කියපු විස්තරේ අහලා අයියලාගේ බිරියන් දෙන්නත් මේකම කලා.
රෑ උනාම ආයිත් ගෙම්බි නුවණති වසිලිස්සා උනා. මොලොක් පාන් ගෙඩියක් හැදෙව්වා.
ඉවාන් කුමාරයා පිය රජු ලගට අරන් ගියේ සීනි වලින් ලස්සන මල් වැඩ දාපු පාන් ගෙඩියක්.
අයියල අරන් ආවෙ ලිපේ අගුරු වලට කර වෙච්ච කළු පාට පාන්. රජු ඒවා වැඩකාරයින්ගේ කෑමට යවලා, ඉවාන් ගෙනා පාන් ගෙඩිය අගේ කලා.
හෙට උදේට තමන්ගේ බිරියන් එක්ක පෙනී හිටින්න ඕනෙයි කියලා රජතුමා පුතුන්ට අණ කලා.
ඉවාන් කුමාරයා හිස බදා ගෙන කල්පනා කරනවා. කොහොමද ගෙම්බියක් මිනිස්සුන්ට පෙන්නන්නේ?
ගෙම්බිය කිව්වා;
"නුඹ කණගාටු වෙන්න එපා, ඉවාන් කුමරයා, නුඹ සාදයට පලයන්. මම නුඹේ පිටුපසින් එන්නම්.
ලොකු හඩකුයි, ශබ්දයකුයි ඇහෙන්නට පුලුවන්. ඒකට බය වෙන්ට එපා. නුඹ මෙහෙම කියපන්. 'ඒ මගේ ගෙම්බිය රියකින් එනවා'"
ඉවාන් කුමාරයා උත්සවයට තනියම ගියා. අයියල බිරින්දෑවරු එක්ක ආව. ඒගොල්ලො ඉවාන් ට ගෙම්බි ගැන කියල හිනා උනා.
ටික වෙලාවකින් මාලිගාවම හෙලවෙන තරමේ ලොකු හඩක් ඇහුණා. ඉවාන් ගෙම්බිය කියන්න කිව්ව වගේම කිව්වා.
මෙන්න, සුදු පාට අශ්වයො හය දෙනෙක් ඇදගෙන ආපු රත්තරන් පාට රියකින් වසීලිස්සා බිමට බහිනවා. ඈ හරිම හරිම හරිම ලස්සන්යි.
ඇවිත් ඉවාන් කුමාරයා ලගින් වාඩි උනා.
රාත්රි සාදයේ ආහාර සඳහා සකසා තිබූ පිළිස්සු හංස මස් වලින් ස්වල්පයක් කෑ වසිලීසා ඉන් කටු කිහිපයක් ගෙන තමන්ගේ හැට්ට අත අස්සේ සඟවා ගත්තා. ඊළඟට වයින් එයිනුත් ස්වල්පයක් පමණක් පානය කල ඈ ඉතිරි වයින් සියල්ල හැට්ටයේ අනෙක් අතට වක්කරගත්තා. මේ බව දැක්ක අනෙක් කුමාරවරුන් ගේ බිරින්දෑ වරු වසීලීසා කළ දේම කරන්ට පටන් ගත්තා. ඔන්න ආහාර ගැනීමෙන් පසු සියල්ලෝම නටන්ට පටන් ගත්තා. ඉවාන් කුමාරයාගේ අතින් අල්ලා ගෙන නටන අතරේ වසිලීසා එයාගෙ එක් අතක් ගසා දැමුවා. ඒ එක්කම ලස්සනම ලස්සන පොකුණක් මතු වුණා. ඊලඟට එයාගෙ අනෙක් අතත් ගැසුවා. එතකොට පොකුණේ පීනන සුදුම සුදු හංසයෝ කීපදෙනෙක් මැවුණා. උත්සවයට පැමිණි සිටි සියල්ලෝත් පිය රජතුමාත් බොහෝම ප්රීතියට පත්වුණා නුවණක්කාර වසිලීසාගෙ හැකියාව න් දැකලා. මේක බලාගෙන හිටපු වැඩිමහල් කුමාරවරුන්ගේ බිරින්දෑවරුත් ඒ විදියටම තමන් ගේ අත් ගසා දැමුවා. පොකුණක් සහ හංසයින් මැවෙනවා වෙනුවට නටමින් සිටින බිම මත වයින් සහ මස් කටු සියල්ල විසිරී ගියා.
මේ තරම් ලස්සන නුවණක්කාර බිරිඳක් තමාට ලැබුණු එක ගැන ඉවාන් කුමාරයා හුඟක් සතුටු වුණා. හැමෝම සාදයේ ඉන්න අතරේ කුමාරයා දුවලා ගියා එයාගෙ ගෙදරට. ගිහින් ගලවලා දමලා තිබුනු ගෙඹි හම හොයාගෙන ඒ ක ගින්දරට විසී කලා පිච්චෙන්න. එතකොට ඇය හැම දාම ලස්සනට ඉඳීවි කියල ඉවාන් කුමාරයා හිතුවා. සාදය නිමා වෙලා ගෙදර ආපු වසිලීසා එයාගෙ ගෙඹි හැව සොයන්ට පටන් ගත්තා. ඒ ක ඉවාන් කුමාරයා ගින්නට විසී කල බව දැන ගත්තු වසීලීසා දුකෙන් මෙහෙම කිවුවා.
"අනේ ඉවාන් කුමාරයා, නුඹ මොනවා කලාද! තව දවස් තුනක් ඉවසා හිටියා නම්, මම සදහටම නුඹේ බිරිද වීමට ඉඩ තිබුණා.
දැන් ඉතින් නුඹට ආයුබෝවන්. මාව නුඹට ඕනෙ නම් නුඹ රටවල් තිස් නවයක් පහු කරගෙන හතලිස් වෙනි රටට එන්ට ඕනෙ.
නොමැරෙන කසේයි රාක්සයා ළග මාව හොයපන් "
නුවණැති වසිලීස්සා අළු පාට කොකෙකු වෙලා ජනේලයෙන් එළියට පියාඹා ගියා.
ඉවාන් කුමාරය අඩලා, අඩලා වසිලීස්සා හොයන්ට පිටත් උනා.
ඔහොම බොහොම දුරක් ගියාට පස්සෙ ඉවාන් කුමාරයට මහළු සීයා කෙනෙක් මුණ ගැහුණා. ඉවාන් කුමාරයා තමන්ගේ කතාව සීයට කිව්ව.
"අනේ ඉවාන් කුමාරය, නුඹ ගෙඹි හම පුච්ච දැම්මේ මොකටද? ඒ හම එයාට ඇන්දෙව්වේ නුඹ නොවෙයි, ගලවන්නට නුඹට අයිතියක් නැහැ.
නුවණැති වසීලිස්සා එයාගේ තාත්තාට වඩා කපටියි. නුවණක්කාරයි, ඒ නිසා තාත්තා තරහා වෙලා, අවුරුදු තුනක් තිස්සේ ගෙඹි හමක් අදින්නටත් ගෙම්බියක් වෙලා ඉන්නටත් ඇයට නියම කළා.
දැන් ඉතින් මේ නූල් බෝලේ අරගෙන වීසිකරලා ඒක යන දිහාවට නුඹත් බයනැතුව පලයන්." සීයා මෙහෙම කියලා ඉවාන් කුමාරයාට නූල් බෝලයක් දුන්න.
මහළු සීයාට ඉවාන් කුමාරය ස්තුති කරලා නූල් බෝලය වීසි කරලා යන්ට ගියා. නූල් බෝලය පෙරලි පෙරලී යනවා.
ඉවාන් කුමාරය ඒ පස්සෙ යනව. මෙහෙම යනකොට ඉවාන් කුමරයාට කිහිප වතාවකදී සතුන් කිහිප දෙනෙකු මුණ ගැසුනා.
ඔහු උන්ව මරන්නට ලෑස්ති උනාම, ඔවුන් අභය දානය ඉල්ලූ නිසා ඉවාන් කුමාරයා උන් මැරුවේ නෑ.
පසුව උදවු වෙනවයි මේ සත්තු කියා හිටියා.
ඔහොම ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ඔහුගේ නූල් බෝලය කැලෑවකට ආව. එතන බබායිගා යකින්නගේ ගේ. බබායිගා යකින්නගෙන් ඉවාන් කුමාරයා, කිසිදා නොමැරෙන කසේයි රාක්සයාගේ විස්තර අහ ගත්තා.
"මම දන්නව, දන්නව. නුඹේ බිරිද දැන් නොමැරෙන කසේයි රාක්සයා ළග ඉන්නවා. නුඹට ඒ රාක්සයා පරද්දන්ට බැහැ. ඔහුගෙ පණ තියෙන්නෙ ඉදිකටු තුඩක.
ඒ ඉදිකටු තුඩ තියෙන්නෙ බිත්තරයක, බිත්තරය තියෙන්නෙ තාරාවකුගේ බඩේ, තාරාවා ඉන්නේ හාවෙකුගේ බඩ ඇතුලේ, ඒ හාවා ඉන්නේ ගල් පෙට්ටගමක් ඇතුළේ,
ඒ ගල් පෙට්ටගම බොහොම උස ඕක් ගහක් උඩ තියනවා. නොමැරෙන කසේයි රාක්සයා ඕක් ගහ එයාගෙ ඇහැක් වගේ ආරක්සා කරනවා "
කොහොම හරි, අර උදවු කරන්නන් කියපු සත්තුන්ගේ උදවුවෙන් ඉවාන් කුමාරයට, ඉදිකටු තුඩ තියන බිත්තරය හම්බ උනා.
ඉවාන් කුමාරය බිත්තරය බිදලා අරගෙන ඉදිකටු තුඩ කැඩුවා. කසේයි මළා.
ඉවාන් කුමාරයා කසේයි යක්සයාගේ කිරි ගරුඬ මාළිගාවට ගියා. නුවණැති වසීලිස්සා දුවගෙන ඇවිල්ලා ඉවාන් කුමාරයාව සිප ගත්තා.
ඉවාන් කුමාරයා නුවණැති වසිලීස්සා සමඟ ගෙදර ඇවිල්ල බොහෝ කලක් සැපෙන් හා සතුටින් ජීවත් උණා.