ඇත්තද ?
1964 දී අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුල් වෙමින් ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සිදුකල මහා පාවා දීමේ ඉක්බිත්තෙන්, ජවිපෙ 1960 ගනන් අග භාගයේ දී මතු විය. ලසසපය සමාජවාදී ජාත්‍යන්තරවාදය මුලුමන්ම අත්හැර දැමීම, වාර්ගික දේශපාලනය තුල මුල් බැසගත් රැඩිකල් සුලු ධනේශ්වර කන්ඩායම්වල මතු වීමට දොර විවර කලේ ය. ජවිපෙ පදනම් වූයේ මාඕවාදය සහ කැස්ත්‍රෝවාදය, සමාජවාදී වාක්‍ය දෙඩවීම හා “සන්නද්ධ අරගලය” උත්කර්ෂයට නැන්වීම සමග සිංහල දේශප්‍රේමය එකට කලතා ගත් විෂකුරු සම්මිශ්රනයක් මත ය.
ජවිපෙ, ජාත්‍යන්තර ව ඊට සමාන කන්ඩායම් මෙන්, පසුගිය දශක හතර පුරා තුවක්කු සහ කැලෑ ඇඳුම් අත්හැර දමා සුවපහසු පාර්ලිමේන්තු ආසනවල වාඩි ගැනීම සඳහා කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාබද්ධ විය. ජවිපෙ විවිධ මාදිලියේ ශාස්ත්රාලිකයන්, වෘත්තිකයන්, ජවිපෙ විසින් පාලිත වෘත්තීය සමිති සහ අනෙකුත් සංවිධාන සමඟ 2015 දී ජාජබ පිහිටුවා ගත්තේ එම වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරනයට තරඟ කිරීම සඳහා ය. එතැන් පටන්, එය මෙම ඉහල මධ්‍යම පන්තික සහ දේශීය ව්‍යාපාරික ස්ථරයන් අතර තම පදනම පුලුල් කර ගෙන ඇත.
ජවිපෙ/ජාජබ අනෙක් පක්ෂ දූෂිත යැයි විවේචනය කල ද, ජවිපෙට ඇත්තේ ද මේ ධනපති පක්ෂ සමඟම පෙල ගැසී ඒවාට සහාය දුන් ඉතිහාසයකි. එහි ප්රතිගාමී ජාතිකවාදී ඉදිරිදර්ශනය කරලියට පැමිනියේ, සිංහල ප්රභූවේ ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා වසර 26ක දීර්ඝ ලේ වැකි දෙමල විරෝධී වාර්ගික යුද්ධයට සහය දක්වමිනි. වැඩ කරන ජනතාව අතර පුලුල් ලෙස අපකීර්තියට පත් ව ඇති ජවිපෙ, ජාජබ දේශපාලන පෙරමුනක් ලෙස යොදා ගනිමින් සිය අතීතය වසන් කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි.
ජවිපෙ සහ ප්‍රධාන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) පලල් ව පිලිකුලට පාත්‍ර ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජාමූඅහි දරුනු කප්පාදු පිලිවෙත් වලට එරෙහිව වැඩෙන මහජන විරෝධය පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි කනස්සල්ලට පත් ව නව මැතිවරනයක් ඉල්ලා සිටිති.
දරාගත නොහැකි ජීවන සහ සමාජ කොන්දේසිවලට එරෙහි ව අප්‍රේල් මාසයේ ආරම්භ වූ දැවැන්ත විරෝධතා මාධ්‍යයේ ජූලි 13 දා ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමෙන් පසු ව, අපකීර්තිමත් පාර්ලිමේන්තුව විසින් වික්‍රමසිංහ ප්රජාතන්ත්ර විරෝධී චන්දයකින් ජනාධිපති ලෙස පත් කර ගනු ලැබුනි.
මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා දුගීන් සම්බන්ධ වූ නැගිටීම, ජවිපෙ සමිති ද ඇතුලු වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම් විසින් පාවා දෙන ලදි. ඔවුහු අන්තර්කාලීන ධනේශ්වර ආන්ඩුවක් සහ පසු ව මහ මැතිවරනයක් පැවැත් වීම සඳහා ජවිපෙ හා සජබ කල ඉල්ලීම් පිටුපසට කම්කරුවන් තල්ලු කලහ.