අපට අහිමි කල අපේ උරුමය
****************************
"සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා!!! "එදා සුද්දා සිංහල අපිට නිගරු කලේ, "සිංහලයා මෝඩයා" ලෙස ආමන්ත්රනය කිරීමෙනි. සිංහලයාගේ සිංහල දීපයේ වටිනාකම සිංහලයා සතු, අන් කිසිඳු ජාතියක දක්නට නොලැබෙන අසම සම හැකියාවන් දැක ගත් සුද්දා සිංහලයා නිවට නිවාලු අතවැසියෙකුව සිටින තාක්කල් තමන්ට යහපත් බව දුටු තැන, සිංහලයා නිහඬ කිරීමට යෙදූ කූට උපක්‍රම වලින් තවත් එක් වෑයමකි. සිංහලයාගේ වටිනාකම සිංහලයා හැර මුලුලෝකයම දැන සිටින්නට ඇත. එම නිසාම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සිංහල දීපය හඳුන්වා දුන්නා මිස, අද බොහෝ විද්වතුන් පවසන අන්දමින්, හා පාසල් විශය මාලාවේ උගන්වන අන්දමින්, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටි නිසා, මුතු ඇටය කීවා වන්නට බැරිය. "මුතු" වනාහී ඉතා වටිනා දුර්ලබ දෙයකි. එලෙසින්ම සිංහල දීපය තරම් වටිනා පිංබිමක් මේ පෘථිවි තලය මත නොමැතිබව අප කවුරුත් සිත්හී තබා ගතයුතු වේ. මෙකී වටිනාකම නිසාම සිංහලයාගේ රට හොඳින් හෝ නරකින් හෝ තමා සතු කරගැනීමට දතකෑවේ එකෙකු දෙන්නෙකු නොවේ. ආසන්නයේම පිහිටි ඉන්දියාවෙ සිට ලෝකයේ දසත විසිරී තිබූ බොහෝ රාජයයන් සිරිලංකාව තමන් සතු කරගන්නට ඉමහත් වැයමක නියැලුනෝය. මේ සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීනද සැල්සුම් පිඹුරුපත් සකස් කලෝ බොහෝ වෙති.
ක්‍රි.ව. 412 දී මහාවිහාරය මූලික කොටගෙන සිංහල පාලකයින්ට හිතෛශී ගති දක්වමින් සිංහලයන්ගේ ඉතිහාසය වෙනස් කිරීමේලා පළමු පියවර ගත්තේ, දකුණු ඉන්දියානු සම්භවයක් ඇති මහානාම හිමියන්ය. මේ කාලය වනවිට උතුරු ඉන්දියාවේ අධිරාජ්‍ය පදවියට පත් පළමුවන කුමාරගුප්ත රජතෙමේ, පසුකාලීනව යාගහෝමයේ නිරතවුවත් මුල් යුගයේ දී දැහැමි බෞද්ධ පාලකයෙක් විය. මෙතුමාගේ මූලිකත්වයෙන් එ කාලය වනවිට ලෝකයේ ශ්‍රේෂඨ ශිෂ්ටාචාර පැවති රටවල පතපොත සංස්කෘත භාශාවට පෙරළීම ආරම්භ වූයේය. මේ අනුව, හෙළ අටුවා සංස්කෘත භාශාවට පෙරළීම සඳහා, මහාවිහාරයට එක් රැස් කරන ලද්දේ එවකට සිංහලයේ රාජ්‍යපාලකයා වූ මහානාම රජුගේ විධානය පරිදිය.
එදා උතුරු ඉන්දියාවේ වූ මහා සංස්කෘත පඬිවරයෙකු වූ ධර්මපාල භික්ශූන් ඇතුළු සංස්කෘත පඬිවරුන් ආශියක් මෙරටට පැමිනියහ. තමාගේ කූට උපක්‍රම ක්‍රියාත්මක කිරීමට මෙය කදිම අවස්ථාවක් බව දුටු මහානාම හිමි , මේ බව දකුණු ඉන්දියාවට දන්වන ලදී. මෙහි ප්රථිඵලයක් ලෙස , දකුණු ඉන්දියානූ පාලකයන්ගේ අණුදැනුම ඇතිව, ඝෝශ ඇතුලු ද්‍රවිඩ සොලී භික්ශූන් දහස් ගණනක් මෙරටට පැමිනෙන්නේ, හෙළ අටුවා පාලියට පෙරළීමේ අරමුණු ඇතිවය. මෙසේ පැමිණි භික්ශූන් අතර සිටි වැඩි දෙනා ආක්‍රමික චීවරධාරීන් වූහ. මහාවිහාරයේ එක් පැත්තක හෙළ අටුවා සංස්කෘත භාශාවට හැරවෙන අතර තවත් පැත්තක හෙළ අටුවා පාලියට හැරවෙමින් තිබුනි. හෙළ අටුවා සංස්කෘත භාශාවට පෙරළීමෙන් ඉනික්බිති උතුරු ඉන්දියානූ භික්ශූන් නැවත සිය රට බලා වැඩම කරවූ අතර දකුණු ඉන්දියානුවන් තවදුරටත් මෙහී රැඳී සිටින්නට වූහ. සිංහල පාලකවරුන් සහ සිංහල භික්ශූන් අභිරහස් ලෙස ඝාතනය වන්නට පටන් ගන්නේ මේ වකවානුවේදීය. මහානාම රජු ඝාතනයට ලක් වීමෙන් පසු රජ වූ සොත්තිසේන කුමාරයා ද ඝාතනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය පාලනය ලබා ගත්තේ ඡත්තග්‍රාහක නම් ද්‍රවිඩ රජකෙනෙකි. ඔවුන්ගෙන් ඇරඹි ද්‍රවිඩ පාලනය, මිත්‍රසේන, පඬි, පාරින්ද, කුඩාපාරින්ද, දිඨීය, පිඨීය ආදී ද්‍රවිඩ රජවරුන් යටතේ අවුරුදු විසිනවයක් පුරා පැවතිණි. දකුණු ඉදියාවෙන් පැමිණි ඝෝශ ඇතුලු ද්‍රවිඩ භික්ශූන් විසින් හෙළ අටුවා පාලියට හැරවීමෙන් අනතුරුව, ගොඩ ගැසීමෙන් පසු ඇතුන් හත් දෙනෙකුගේ උසට වඩා වැඩි ප්‍රමානයක්ව තිබූ හෙළ අටුවා ගිනිබත් කලේ මෙකී ද්‍රවිඩ පාලනය පැවති අවුරුදු විසිනවය තුලදීය. හෙළ අටුවා ගිනි තැබුවා පමණක් නොව, සිංහල රාජ්‍ය නාමාවලි පටලවමින්, අත්භූත අභව්‍ය සිද්ධීන් ඇතුළත් කරමින්, සිංහලයාගේ උරුමය දකුණු ඉන්දියානු ද්‍රවිඩයා අතට පත්වෙන අයුරින් ඉතා සූක්ශම ලෙස පාලි වංශකතා ලියනු ලැබුවේද මෙකී ද්‍රවිඩ පාලන කාලය තුළදීය.
එදා දකුණු ඉන්දියානුවන් විසින් ලියැවුනු පාලි රචනාවන් ගුරු තැන්හීලා සලකන අපේ උගත් වියත් ගිහි පැවිදි සියල්ලෝම මේ සිදුකරන්නේ, සිංහලයාගේ උරුමය ද්‍රවිඩයා අතට පත්වෙන තැනට කටයුතු කිරීම බව අකමැත්තෙන් වුවද කිවයුතු වේ. ලෝකයේ මුල් ජනාවාස බිහිකලෝ සිංහලයෝ බව විදුලොවෙන් පිළිගත්තද, සිංහල ඉතිහාසය අවුරුදු 2500ට සීමාකලේ ඉන්දියානුවන් විසින්ය. සිංහල අපිද කිසිඳු වග විභාගයකින් තොරව මෙකී ව්‍යාජ ඉතිහාසය මහ ඉහළින් කරපින්නාගෙන සිංහලයා ශිෂට සම්පන්න කිරීමේ ගෞරවයද අශිෂ්ඨ ඉන්දියානුවන්ට බාර දෙති. ඉන්දියානූ ඉතිහාසයෙන් සොයාගන්නට බැරි සුද්ධෝදනලා, අමිතෝධනලා, බිම්බා දේවීන් බලෙන්ම ඉන්දියාවට පටවා, ඉන්දියාවෙන් පන්නා දැමූ දාමරික හොර තක්කඩි විජය ඇතුළු හොරු රැල "අපේ විජය රජ්ජුරුවෝ" යැයි මහත් හරසරින් භාරගනිති. එදා ඉන්දියානු ද්‍රවිඩයන් විසින් ගිනි තබා අළු කලේ අපේ හෙළ ඉතිහාසය සහ පිරිසිඳු බුදු දහම බව අප සියල්ලන්ටම අද අමතකව ගොස් ඇත. ද්‍රවිඩයන් විසින් ගිනි තැබූ අපේ හෙල අටුවා, ශක්‍රයා විසින් අන්තරස්ධාන කළ බවට, ශක්‍රයා අත වරද පටවා, ඇඟ බේරා ගත් ඝෝශට "බුද්ධ" යන ගෞරව නාමයද පුදන්නට තරම අපේ සිංහලයෝ නිර්ලෝභී වූහ. දාඨිය මරා ධාතුසේන කුමරා හෙළ අභිශේකය ලබනවාත් සමගම මහානාම හිමිද දකුණු ඉන්දියාවට පලා ගියේය. 1912 දී කොඩ්රින්ටන් නැවත සිංහලයාට ඉතිහාසය ලියා දෙන්නට කටයුතු කලේය. මේ සඳහා ඔහු මූලාශ්‍ර ලබා ගත්තේ ද ද්‍රවිඩ භික්ශූන් විසින් රචිත පාලි රචනාවන් ය. හෙළ ඉතිහාසය තවදුරටත් පැටළවූ හෙතෙම අපිට ඉතිරි වී තිබූ අනෙකුත් සියලු උරුමයන්ද ඉන්දියානුවන්ටම සින්නක්කරම පවරා දීමට කටයුතු කලේය. අපේ පැරණි මුතුන් මිත්තන් පමණක් නොව, අපේ පැරණි ගම් නගර, ගංගා ඇල දොළ, පමණක් නොව සකල ලෝක සත්වයාගේම පිනට පහල වන හෙල බුදු පුතුන් සියල්ලෝම ඉන්දියාවට පිටමං කලේද ඔහුමය.
අද වන විට අවුරුදු සියයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ ව්‍යාජ ඉතිහාසය ඔලුවල පැලපදියම් කරගත් අපේ එවුන්ට ද සැබෑ හෙළ ඉතිහාසය මේ යැයි කී විට මාරාවේශයෙන් ඇඟට කඩා පනින්නේ සැබෑ ඉතිහාසය කිසිඳු වග විභාගයකින් තොරව පසෙක ලමින්මය. ලංකාව ආර්ය ජනාවස බිහි වූයේ ඉන්දියාවෙන් පන්නා දැමූ විජයගෙන් බවද, ඔහු මෙහි එනවිට රැගෙන ආ යකඩ හා ලී තාක්ශණයක් පිළිබඳව අපෙ උගතුන් වියතුන් කතා කරන විට , ක්‍රි.පූ. 1000 - 2000 ඈත අතීතයකට දිවයන මොසපෙතේමියානු, රෝම, බැබිලෝනියානූ ශිෂ්ටාචාර වංශකතාවල හෙළයන්ගෙන් ලබා ගත් ඥානයන්, හෙළ දීපයෙන් ගෙන්වූ යකඩ මෙවලම්, තාම්බ්‍රපන්නී දිවයිනෙන් පැමිනි නැව්, සහ ගුවනින් පැමිණි හෙලයන් විසින් කරවන් ලදී යනුවෙන් සඳහන් ව තිබෙන්නේ, තවමත් අපේ සිහලුන්ගේ ශ්‍රී විභූතිය නොනැසෙන බව ලොවටම කියා පාමිණි. සිංහලුන්ට වැව් තනන්න ඉගැන්වූවෝ ඉන්දියානුවෝයි කියන්නෝ ද වෙති. එසේ නම් "ලොව වැව් බැඳි රාජ්‍යය" විරුදාවලිය ලැබිය යුත්තේ අපිට නොව ඉන්දියානුවන්ටය. කුඩා දූපතක් වන අපිට වඩා වැව් වල අවශ්‍යතාවය බෙහෙවින්ම ඇත්තේ, ඉන්දියානුවන්ටය. 1815 දී බදුලු උප ඒජන්තව සිටි බේලි, වාරිකර්මාන්තය පිළිබඳ වාර්තාවක් සපයමින් මෙසේ සඳහන් කරයි, " පෙරකල කරන ලද අති විශාල වැව් කර්මාන්තය ලක්දිව තරම් ලොව අන්කිසි රටක දක්නට නොලැබෙන්නේය. මෙතරම් කුඩාවූ රටක මෙතරම් පැරණි වූද විශාල වූද වැව් අමුණු තවත් රටක ඇතැයි සිතිය නොහේ".
ඉතින් තවත් අටුවා, ටීකා, ටිප්පනි කුමටද? අපිට වැරදී ඇත. ඒ අපි පිටරැටියන් විසින් ලියා දුන් ඉතිහාසයක් පිළිගත්ත නිසාවෙනි. අපේ ඉතිහාසය සොයා යා යුත්තේ අපිම විසින්ය. අනුන් ලියා දුන්නු ඒවායින් අපිට පලක් නැත. තමාගේ ජීවිතයේ, අවසාන භාගයේදී සිරි දේවමිත්ත දම්පල් හිමි (ගිහි කල අනගාරික ධර්මපාලතුමා) කියා සිටියේ, සිංහලුන්ට වැරදී ඇත. සිහලුනි නොපමාව තමන්ගේ නිවැරදි ඉතිහාසය සොයා යව් යන්නයි. එතුමා අද සිටියා නම් කියන්නේ, "සිංහලයෙනි අවදිවව්, හෙළ දීපය, බුද්ධ භූමිය බේරා ගනිව්" යන්න බව නො අනුමානය.
අද බොහෝ දෙනා, ද්‍රවිඩ ඊළමට, ද්‍රවිඩ ඩයස්පෝරාවට එරෙහිව හඬ නගති. නමුත් ඔවුනට නොපෙනෙන සත්‍ය නම්, ද්‍රවිඩ ඊළමේ, ද්‍රවිඩ නිජ බිම් සංකල්පයේ මුල් බීජ වැපිරුවේ ක්‍රි.ව. 434 කාලයේ, දකුණු ඉන්දියානුවන් විසින් හෙළ මහාවශය සහ හෙළ අටුවා පාලියට පෙරළීමෙන් බවයි. අද එය මහා අතු පතර විහිදී ගිය මහා රූස්ස ගසක් වී මුළු සින්හලයම වසා පැතිර ඇත. නුඹලා අපෙන් ජනාවාස වූ, අපෙන් ශිෂ්ඨ වූ ජාතියක් ලෙස ඉන්දියානුවන් පුන පුනා පෙන්වා දෙන්නේ, සිංහලයාගේ බලය බිඳ රාජ්‍ය බලය ඉන්දියානුවන් සතු කර ගැනීමට ඇති ලේසිම සහ පහසුම මග එය නිසාවෙනි. අද සිංහල රට පත්ව ඇති තත්වයට වග කිව යුත්තෝ දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ මෙන්ම, උන් සහ සුද්දන් විසින් ලියා දුන් බොරුව වපුරන සහ ඉස මුදුනින් පිළිගන්නා නිවට නිවාලු සිංහලයන් බව කවුරුත් පිළිගත යුතුය.
සටහන නිමා කිරීමට පෙර සාහිත්‍ය ශූරී අරිසෙන් අහුබුදු ශූරීන් විසින් රචිත කවියක් උපුටා දක්වමි.
හෙළ ඉතිහාසය ලොවට වසන් කළ කරුමෙ ම යි මෙ......... පලදෙන්නේ
සුළු ජාතිය බොරු ඔප්පු හදාගෙන සිංහළ උරුමේ............... ඉල්ලන්නේ
ඔබගේ ඉඩමේ ඔප්පුව නැත්නම් කොහොමද උරුමේ.......... දක්වන්නේ
ඉතිහාසය සැඟවූ ජාතියකට කෙ දිනද ඉර හඳ..................... පායන්නේ
(තොරතුරු සහ විස්තර - අතීත සිංහල දීපය සහ පුරාණ ලෝකය, පී. එස්. ටී චූලවංශ)