සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් එක්ක ලංකාව ඉතා ම දරුණු විදුලිබල, බලශක්ති සහ ඉන්ධන අර්බුදයක දොරකඩට ඇවිත් තියනවා කියලා මොළය යන්තමින් හරි වැඩ කරන ඕනෙම මනුස්සයෙකුට තේරෙනවා.
කොහොමටත් ඉදිරි මාස 06 ඇතුළත ලංකාව මෑත ඉතිහාසයේ කවදාවත් මුහුණ දීලා නැති තරමේ මහා වියවුලකට මුහුණ දෙන්න නියමිතයි. කීයෙන් කී දෙනෙකුට මේ මහා අර්බුදය දරාගෙන ඉන්න පුළුවන් වෙයිද, කීයෙන් කී දෙනෙක් මේකේ පතුළට ම ගිහින් හිරවෙයිද, කීයෙන් කී දෙනෙක් බෝට්ටුවකට නැගලා හරි රටෙන් පැනගනියිද කියලා කාටවත් කියන්න බැහැ.
මගේ බුද්ධිය මේ අර්බුදයට බයයි - හැබැයි හදවත මේ අර්බුදයට රහසින් කැමැතියි.
මම හැමදාමත් කියනවා වගේ ලංකාවේ තියෙන මේ ප්‍රශ්නය මෝඩ ආණ්ඩුවක් සහ මෝඩ පාලකයෙකු විතරක් එකතු වෙලා ඇති කරපු අවුලක් නෙවෙයි. මේ අර්බුදයේ සෑහෙන කොටසකට ලංකාවේ ජීවත් වෙන, ඡන්දය දෙන තක්කඩි මිනිසුනුත් වගකියන්න ඕනෙ.
සාමාන්‍යයෙන් ඒ තක්කඩි මිනිසුන් හැමදාම කරන්නේ තමන්ට ඇති කෙටිකාලීන වාසි දිහා බලලා එක් පක්ෂයක සිටින මෝඩයන් පිරිසකගෙන් තවත් පක්ෂයක සිටින මෝඩයන් පිරිසක් අතට බලය මාරු කරන එක විතරයි.
මේ මෝඩයන් රට පාලනය කිරීම කියන කාරණයේ දී මෝඩ වුණාට රටේ දේපල කොල්ලකෑමේ දී, තමන් ගේ මඩිය තර කරගැනීමේ දී ඉතා ම සූක්ෂ්ම නිසා ඔවුන් එකතු වෙලා ඒ ක්‍රමය පවත්වාගෙන යනවා. ආණ්ඩු පක්ෂයේ මෝඩයන්ගෙන් බලය ගිලිහෙනකොට ඒ බලය ඩැහැගන්නට විපක්ෂයේ මෝඩයන් දත කට මැදගෙන බලාගෙන ඉන්නවා.
තක්කඩි මහජනතාවක් සහ ඔවුන්ට ම ගැලපෙන තක්කඩි පාලකයන් එකතු වෙලා දීර්ඝ කාලයක් කරපු මේ සෙල්ලම දැන් boiling point එකකට එමින් තියෙන බව පෙනෙනවා.
ඒ කියන්නේ දියහැළියේ මෙච්චර කල් නටමින් සිටි කකුළුවාට දැන් වතුර උතුරන්න ළඟ බව තේරෙනවා. දැන් දියහැළියෙන් පැනගන්න ප්‍රමාද වැඩි නිසා කකුළුවා කරගන්න දෙයක් නැතුව දහ අතේ කල්පනා කරමින් බලා ඉන්නවා.
මේ ඇතිවෙන අවුලත් එක්ක ලංකාවේ සමාජය මෑත ඉතිහාසයේ මුහුණ දුන්න ලොකු ම 'කම්පනයට' මුහුණ දෙයි කියලා මට හිතෙනවා. දශක ගණනක් තිස්සේ තක්කඩි වැඩ කරමින් "ලෝකෙන් උතුම් රට" "පින්කෙත හෙළ රන් දෙරණ" වගේ මනස්ගාත කියව කියවා කයිවාරු ගසමින් සිටි මිනිසුන්ට ලයිට් නැතුව, ඉන්ධන නැතුව, ගෑස් නැතුව, කන්න බොන්න නැතුව, පොහොර නැතුව, අතේ සල්ලි නැතුව හිතනවාට වඩා දීර්ඝ කාලයක් ඉන්න සිදුවෙනකොට ඉබේ ම ඒ කම්පනය දැනේවි.
ඒක කොච්චර අමාරු තත්ත්වයක් වුණත්, ඒ කම්පනය ම ලංකාවේ ජනගහනයෙන් වැඩි පිරිසකට shock treatment එකක් වීමේ හැකියාවක් තියනවා කියලා මං පුද්ගලිකව හිතනවා.
එහෙම 'කම්පන ප්‍රතිකාරයක්' නැතුව මෙහෙම රටක මිනිසුන් වෙනත් දිශාවකට හැරෙන්න පොළඹවාගන්න අමාරුයි.
මම එහෙම කියන්නේ ඇයි?
ලංකාවේ උගත් මිනිසුන් ද ඇතුළුව විශාල පිරිසකට තියන වැරදි විශ්වාසයක් තමයි ලංකාව වෙනස් කරන්න පුළුවන් උඩ ඉඳන් පහළට (top down) කියන එක.
ඒ කියන්නේ රට පාලනය කරන්න "හොඳ නායකයෙක්" පත් කරගත්තොත් හොඳ නායකයා ඇවිත් හොඳ දේවල් කරලා රට වෙනස් කරයි, රටේ අනෙක් මිනිසුනුත් "හොඳ නායකයා" දිහා බලාගෙන හොඳ ළමයින් වේවි කියලා ඔවුන් හිතනවා.
මේ අදහසේ ඕනෙවට වඩා ගිලිලා ඉන්න නිසා ලංකාවේ මිනිසුන් හැමදාම හිතන්නේ රට දියුණු කරනවා කියන එක කොහෙ හරි ඉන්න ගැලවුම්කාරයෙකුට අයිති වැඩක් කියලා. ඒ නිසා රට හදන එක ඒ ගැලවුම්කාරයාට කරන්න ඉතිරි කරලා රටේ මිනිස්සු හැමදාම තමන් ගේ පුරුදු මෝඩකම්, තක්කඩිකම් කරමින් ජීවත් වෙනවා.
ලංකාවේ මිනිසුන් කොච්චර තක්කඩි ද කියලා කියනවා නම් ඔවුන් හැමතිස්සෙම හිතන්නේ රට හදනවා කියන වැඩේ කවුරු හරි වෙන මනුස්සයෙක් මහන්සි වෙලා කරන්න ඕනෙ කියලයි. හැමෝට ම ඕනෙ වෙන කවුරුහරි මහන්සි වෙලා රට දියුණු කළාට පස්සේ ඒකේ ප්‍රතිඵලය විතරක් සන්තෝසෙන් භුක්ති විඳින්නයි. මේකත් top down වෙනසක් ගැන ඕනෙවට වඩා විශ්වාසය තැබීමේ අතුරු ඵලයක්.
මේ කියන top down ක්‍රමයට වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන් දැඩිව පාලනය කළ තත්ත්වයන් යටතේ තියන තැනක් විතරයි.
උදාහරණයක් විදියට හොඳ ප්‍රින්සිපල් කෙනෙකුට නරක පාසලක් හොඳ පාසලක් බවට පත්කරන්න පුළුවන්. හොඳ ආයතන ප්‍රධානියෙකුට කඩාවැටුණු ආයතනයක් දියුණු කරන්න පුළුවන්. ඒ වගේ ම කොමියුනිස්ට් රටක්, පූර්ණ හෝ අර්ධ ඒකාධිපති පාලනයක් තියන රටක් කියන්නෙත් එහෙම දැඩිව පාලනය කරපු පරිසරයක් තියෙන තැනක්.
එහෙම රටවල් තනි පාලනයකුට තමන්ට කැමති විදියට කැමති කෙනෙකු අතුරුදන් කරලා, කැමති කෙනෙකු හිරේ දාලා, වෙනස් කරන්න පුළුවන්.
එතකොට ගෝඨාභයටත් දරුණු ඒකාධිපතියෙකු වෙලා ලංකාව දියුණු කරන්න පුළුවන් නේද කියලා කවුරු හරි කෙනෙකු අහන්න පුළුවන්. ඒකාධිපතියන් නිසා දියුණුව ලැබූ රටවල් කිහිපයක් ලෝකයේ තියෙනවා. ඒ වගේ ම ඒකාධිපතියන් නිසා කවදාවත් ගොඩඑන්න බැරි තරමේ දරුණු අගාධවලට ගිය රටවල් ඒ වගේ පස් හය ගුණයක් තියෙනවා. ගෝඨාභය ඒකාධිපතියෙකු වුණොත් වැටෙන්නේ මේ දෙකෙන් කොයි ගොඩට ද කියලා දැනට ම ඔප්පු කරලා අවසානයි.
ප්‍රජාතන්ත්‍රවාදය තියන, මිනිස්සුන්ට හිතන්න, කතා කරන්න, හුස්ම ගන්න නිදහස තියෙන රටක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ පහළ සිට ඉහළට විතරයි. එහෙම රටක වෙනස මුලින් ඇතිවන්නේ මිනිසුන් තුළමයි. නායකයන් ඒ ඉන්න ජනතාව අතරින් ම මතුවෙනවා.
ඒ කියන්නේ එහෙම රටක මිනිසුන්ට රටේ අනාගතය ගැන කිසියම් හැඟීමක් තියෙනවා. මිනිසුන්ට හෘදය සාක්ෂියක් කියලා දෙයක් තියෙනවා. පුරවැසියන් විදියට තමන්ටත් වගකීමක් තියෙන බව දන්න නිසා ඔවුන් නිතර ම දේශපාලනඥයන්ට පීඩනය එල්ල කරනවා. පහළ සිට ඉහළට හැදෙන රටක සිදුවන්නේ මුලින් ම මෙහෙම වගකීමක් තියන ශක්තිමත් පුරවැසියන් පිරිසක් නිර්මාණය වෙන එක.
මේක ටිකක් අමාරු සහ සංකීර්ණ වැඩක් වෙන්න පුළුවන්. ඒත් ලේ හැලීමකින් හෝ හිංසනයෙන් තොරව රටක් වෙනස් කරන්න පුළුවන් එක ම මාර්ගයත් මේකයි.
රටක නිකම්ම නිකම් මිනිස්සු නොවන පුරවැසියන් නිර්මාණය වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි කුමක් හෝ විදියකට සිදුවන ගැඹුරු ආධ්‍යාත්මික මැදිහත්වීමක් හරහා මිනිස්සු වෙනස් වෙන එක. අනෙක තමයි ඉතා ම දරුණු අර්බුදයක්, මහා ව්‍යසනයක් නිසා මිනිස්සු වෙනස් වෙන එක.
දෙවැනි ලෝක යුද්ධය නිසා ඇතිවුණු විනාශය සහ එයින් ඇතිවුණු කම්පනය නිසා මිනිසුන් වෙනස් වූ රටවල් ලෝකයේ තිබුණා. එවන් මිනිසුන් අතින් ඒ රටවල් නැවත ශක්තිමත්ව ගොඩනැගුණා.
ඒ නිසා පුද්ගලිකව අපි හැමෝට ම ඉහළ පිරිවැයක් දරන්න සිදුවුණත් මේ ගොඩනැගෙන මහා සමාජ-ආර්ථික අර්බුදය ලංකාව නොහිතන පැත්තකට හරවලා reset කරන්න පුළුවන් කියලා මට බොහොම අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා.
-
රසික ජයකොඩි
16 - 11 - 2021