සාමාන්‍ය නීතිය තුළ චෝදනා තුනක් යටතේ දික්කසාද නඩු ගොනු කළ හැකිය. ඒවා නම්;
- අනාචාරය - විවාපත් යුවළෙන් කෙනෙකු පිටස්තර පුද්ගලයෙක් සමග කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදෙන්නේ නම් එය අනාචාරය ලෙස හඳුන්වයි. අනාචාරය යන්න "සාධාරණ සැකයකින් තොරව" ඔප්පු කිරීමට අධිකරණය වෙත ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.
මෙය කොටස දෙකකි, එනම්:
- සාමාන්‍ය ද්වේශ සහගත අතහැර යාම - අතහැර යාමේ චේතනාව ඇති පාර්ශවකරුවෙක් වෛවාහික නිවසින් පිටවී යාම මෙහිදී සිදු වී තිබිය යුතුය.
- අනුමිත ද්වේශ සහගත අතහැර යාම - අහිංසක පාර්ශවයට අනෙක් පාර්ශවයේ ක්‍රියා කලාපය නිසා නිවස අතහැර යාමට සිදුවීමයි. මෙහිදී අතහැර යන පුද්ගලයා වරද සිදු කරන්නෙක් බවට පත් නොවේ. අතහැර යන තැනට කටයුතු කරන තැනැත්තා වරදකරු බවට පත්වේ.
- විවාහ වන විට පවතින සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව - සාමාන්‍ය ලෙස ලිංගික සේවනයේ යෙදීමේ නොහැකියාව ලිංගික බෙලහීනත්වය ලෙස හැදින්වේ. දරුවන් නොමැති වීම හෝ වඳ බව ලිංගික බෙලහීනත්වය ලෙස හැඳින්විය නොහැක. නමුත් එම තත්ත්වයට හේතුව ලිංගික බෙලහීනත්වය යැයි වෛද්‍ය වාර්තා මගින් ඔප්පු කළ හැකි නම් එය අධිකරණයට ඉදිරිපත් කළ හැකිය.
උඩරට නීතිය
සාමාන්‍ය නීතියට වඩා උඩරට සහ මුස්ලිම් නීති යටතේ විවාහ වූ යුවළකට දික්කසාදය ලිහිල් සහ වියදම් අවම ක්‍රියාවලියකි.
උඩරට නීතිය යටතේ දික්කසාද වීමේ චෝදනා පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි ආකාරයට පනතට ඇතුළත් කර ඇත.
- විවාහයෙන් පසු භාර්යාව/ පුරුෂයාගේ අනාචාරය
- භාර්යාව/ පුරුෂයා විසින් වසර දෙකක කාලයක් පුර්ණ හා අඛන්ඩ ලෙස හැරයාම හෝ වෙන්වීම.
- වාසයෙන් හා සංවාසයෙන් පවුල් ජීවිතය එක්ව සතුටින් ගත කළ නොහැකි වීම.
- අන්‍යෝන්‍ය කැමැත්ත මත දික්කසාද වීම
මේ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කිරීම අනවශ්‍ය වන අතර, අදාළ උඩරට ප්‍රදේශයේ දිස්ත්‍රික් විවාහ රෙජිස්ටාර්වරයා වෙත දික්කසාද වීමට හේතු දක්වමින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.
"ලිබරල් සංස්කෘතියක්"
ජයසේන ජයකොඩි රචනා කළ 'බැද්දේ ගෙදර' කෘතියේ සඳහන් 'එක ගෙයි කෑම' යන සංකල්පය හුවා දක්වමින් මානව හිමිකම් සහ සමාජ සේවා ක්‍රියාකාරිනියක වන නදීෂා පලිහවඩන බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය.
"අපි බොහොම ලිබරල් සංස්කෘතියක් තිබුණ රටක්. පැරණි ලියවිලිවල සඳහන් වෙලා තිබෙන විදිහට අතීතයේ දී විවාහය කියන සම්බන්ධය ඉතා සුන්දර ඒ වගේම අන්‍යෝන්‍ය අවබෝධය මත සිදු වූ එක්වීමක් විදියට සලකා තිබෙනවා. දැන් වගේ නීති රීතිවලින් බැඳ දමාපු දෙයක් නෙමෙයි."
"ඒ වගේම ලිංගිකත්වය ගැන ඉතා විවෘත මනසකින් බලලා තිබෙනවා. බැද්දේ ගෙදර වගේ පොත්වල තිබෙන එක ගෙයි කෑම වැනි සංකල්පවලින් ඒ ගැන ඔප්පු වෙනවා. නමුත් බටහිර ලෝකයට මේවා ගෝත්‍රික දේවල් විදිහට පෙනුණ නිසා අපිට ඔවුන්ගේ නීති රීති සහ සම්ප්‍රදායන් හඳුන්වා දීලා තිබෙනවා. "
"හැබැයි දැන් බටහිර රටවල් ඔවුන්ගේ නීති රීති වර්තමානයට ගැලපෙන විදිහට වෙනස් කරළා, බොහොම ලිහිල් සම්ප්‍රදායන් අනුගමනය කරනවා. අපි තවමත් ඔවුන් කලින් දීලා ගිය ගතානුගතික සම්ප්‍රදායන්,වික්ටෝරියානු සංස්කෘතිය අනුගමනය කරමින් විඳවනවා," ඇය තවදුරටත් පැවසුවාය.
මුස්ලිම් නීතිය
විවාහය මෙන්ම දික්කසාදය අදාළ යුවළ අයත් වන මුස්ලිම් නිකායේ නීති ප්‍රකාරව කටයුතු කළ යුතු බව මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනතේ 98(2) වගන්තිය සඳහන් වේ.
ඔවුන්ට දික්කසාද ලබා ගැනීම කිහිප ආකාරයකින් සිදු කළ හැකිය.
- තලාක් - සැමියාට පමණක් අනුගමනය කළ හැකි ක්‍රමයක් වන අතර, මෙහිදී දික්කසාදයට හේතු දැක්වීමට පුරුෂයා බැඳී නැත.
මෙහි තවත් කොටස් දෙකක් තිබේ:
- අවලංගු කළ හැකි තලාක් ( තලාක් අසාන්, තලාක් හසාන් )
- මුඛාරත් - දෙපාර්ශවයේ ම කැමැත්ත මත දික්කසාද වීම.
- කුලා - මෙහිදී දික්කසාද කිරීමේ අයිතිය ඇත්තේ බිරිඳටය
- ෆසා - බිරිඳට සැමියාගේ වරදක් පදනම් කර ගනිමින් ඔහුගේ කැමැත්ත රහිතව ෆසා දික්කසාදය ලබා ගත හැකිය.