ලෝක බැංකුවේ ලොක්කා වෙච්ච රොබට් මැක්නමාරා 1978 දී විතර ලංකාවට ආවා. ඒ සංචාරයේ බොහොම ප්‍රසිද්ධ උන කාරණය තමයි එවකට මුදල් ඇමති , රොනී ද මැල් මහත්තයාගේ අදහසක් අනුව ඒ ආරාධිත අමුත්තන් කණ්ඩායමට සිංහල ආහාර වලින් සංග්‍රහ කරලා ඔවුන්ට ජීවිතයේ කිසිදාක නොකෑ රසවත් අහාර වලින් ඔවුන් පිනවීම.
මේ සංචාරයේදී සිදු උන තවත් සුළු සිදුවීමක් ගැනත් පුවත් පත් කිහිපයකම පලවී තිබුනා. ඒවායේ තිබුන විස්තර වලින් මට මතක තියන හැටියට තමයි මේක ලියන්නේ.
ඒක පරණ Caterpillar bulldozer එකක් ගැනයි. පරණ වාහන, යන්ත්‍ර ගැන හොඳ අවබෝධයක් තිබිච්ච මැක්නමාරා මහත්තයා එයා යන පාර අසල තැනක වැඩ කරමින් තිබුණ පැරණි බුල්ඩෝසරයක් දැකලා පුදුම වෙලා , එයාගේ ගමන නවත්වලා ඒ බුල්ඩෝසරය බලන්න ගිගින් තිබුනා. ඩී ඇස් සේනානායක මහත්තයාගේ කාලේ ගල් ඔය ව්‍යාපාරයට (1949 විතර )ගෙනාපු ඒ CAT බුල්ඩෝසරයේ ක්‍රියාකාරිත්වය හොඳින් පෙනුනාට ඒක දුවවන්න සෑහෙන කට්ටක් කන්න ඕනෑ බව තමයි කියවුනේ.
ඒකේ Starter motor එක හැර කිසිම විදුලි උපාංගයක් වැඩ කරන තත්වයේ තිබිලා නැහැ. ඒක ස්ටාර්ට් කරන එක වෙනමම කෝස් එකක්ලු.
හැමදාම උදේට (Heater (Glow) plugs නැති නිසා) කොහු ලනු කැරැල්ලක් Inlet manifold එකේ ඔතලා, ඒකට ඩීසල් පොඟවලා ගිණි තියනවාලු. ඉන්පසුව ඉන්ලට් මැනුෆෝල්ඩ් එක ගිනියම් වෙන්නම රත් උනාම වෙන වාහනයක බැටරියකින් මේක Jump start කර ගන්නවාලු. ඊට පස්සේ දවසේ වැඩ ඉවර වෙනකම්ම ඇන්ජිම නවත්තන්නේ නැතිව තියා ගන්නවාලු.
මේ සංචාරය අවසානයේ රොබට් මැක්නමාරාගේ කතාවේදීත්, "ලංකාවට දෙන ආධාර වලින් ඔවුන් උපරිම ප්‍රයෝජන ගන්නා බව මම පුද්ගලිකවම දුටුවා" කියා, මෑන් මේ කැටපිලර් එක මතක් කරලා තිබුනා.