ත්‍රිපිටකයෝ ඉතියාසයෙන් බිඳක්
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීම
ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් නිසා, වළගම්බා රාජ්‍ය යුගය අනුස්මරණීය අවධියක් ලෙස ඉතිහාසයෙහි සඳහන් වේ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීම මෙහිලා ඉතා වැදගත් සිද්ධියක් හැටියට සැලකිය හැකිය. එහෙත් එය වූ කලී නිරායාසයෙන් හෝ අහම්බෙන් හෝ සිදුවූවාක් නොව සමකාලීනව පැන නැගුණු දේශපාලන හා ශාසනික පරිසරය විසින් මෙහෙයවන ලදුව, දුර දක්නා නුවණින් ක්‍රියා කළ ශාසන භාරධාරී මහ තෙරවරුන් වහන්සේලාගේ ප්‍රශංසනීය උත්සාහයක ප්රතිඵලයකි.
බ්‍රාහ්මණ තිස්සගේ කැරැල්ල
බ්‍රාහ්මණ තිස්සගේ කැරැල්ල
වට්ඨගාම්ණී කුමරු මුල්වරට රජ පැමිණ පස් මසක් ගත වන්නට පෙර, තිස්ස නම් බ්‍රාහ්මණ තරුණයෙක් රජුට විරුද්ධව රුහුණේ කැරැල්ලක් ඇති කළේය. ඒ සමගම ඉන්දියාවේ ද්‍රවිඩයෝ සත් දෙනෙක් පිරිස් සහිතව රජු හා යුද්ධයට සැරසුනාහ. උපායේ දක්ෂ රජතුමා කැරලිකාර තිස්ස බමුණාට ලිපියක් යවමින්……… “ඔබට රාජ්‍යය පවරමි. දෙමළුන් හා යුද්ධ කරවය………” යි දන්වා යැවීය. ද්‍රවිඩයන් සමග සටන් කළ තිස්ස බ්‍රාහ්මණයා පරාජයට පත්විය. ඉන්පසු ද්‍රවිඩයන් රජු සමග යුද්ධයට පැමිණි බැවින් රජ සැඟවී ගොස් කලෑ වැදුණි. මේ කාලයේදීම, ලංකා ඉතිහාසයේ කිසි කලෙක ඇති නෙවී විරූ දරුණු සාගතයක් අවුරුදු දොෙළාසක් මුළුල්ලෙහි පැවැත්තේය. වැසි නොලැබීමෙන් ගොවිතැන් කළ නොහැකි වූහ. මිනිස්සු කඳුකර වන පෙදෙස්වලට ඇතුල්ව කොළ මුල් ආදිය කමින් ජීවත් වූහ. මිනිසුන් ගම් හැර දමා ගිය බැවින් භික්ෂූහු අනාථ වූහ. එයින් බොහෝ දෙනෙක් විදේශ වලට ගියහ. ටික දෙනෙක් මෙහිම වසමින් යම්තම් ආහාරයකින් ජීවිතය රකිමින්, කට පාඩමින් ගෙන ආ ධර්මය රැක ගත්හ. ඒ අවධියෙහි භික්ෂූන්ට මුහුණ පාන්නට සිදුවූ අනේකවිධ දුෂ්කරතා ගැන අටුවා ග්රන්ථයන්හි සඳහන් වේ.
රට හැරදමා නොයාමට තීරණය කොට මෙහිම විසූ මහාසේන, ඉසිදත්ත, චුලසීව, යන තෙරවරුන් තුන් නමක් පිළිබඳව සම්මෝහනවිනෝදනී අටුවාවේ සඳහන් වෙයි. චූලසීව තෙරණ්වෝ දිනක් මහාසෑය වැඳපුදා ගැනීමට ගියහ. එවකට මහා විහාරය හිස්ව තිබුණි. මහාසෑ මළුවේ එඬරු ගස් වැඩී තිබුණේය. මහාසෑය සෙවලින් වැසී තිබුණි. එතැනින් නික්ම ගිය උන්වහන්සේ දැදුරු ඔය අසළ කොළ කා ජීවත් වූ මිනිසුන් සිටි තැනකට ගොස් කල් ගෙවූහ. ඉසීදත්ත හා මහාසේන යන තෙරවරුන් දෙනමට මේ කාලයෙහි අතිශය දුෂ්කරතා වකට මුහුණ පාන්නට සිදුවී ඇත. උන්වහන්සේලා දෙනම මී ගෙඩිවල පොතු අනුභව කොට සත් දිනක්ද අමු මානෙල් දඬු කා සත් දිනක්ද ගතකළ සැටි එම අටුවාවේ සඳහන් වේ. එකල තිස්සමහාරාමයෙහිද, සිතුල්පව් විහාරයේද, තුන් අවුරුද්දක්ම යැපෙන්නට තිබුණු වී මීයන් විසින් කන ලද බවත්, ඒ හේතුවෙන් විශාලසංඛ්යාවක් භීක්ෂූන් වහන්සේලා, මරණයට පත්වූ බවත් සම්මෝහවාදනී අටුවාවේ සඳහන් වේ.






