හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපැයූ බවට චෝදනා ලැබ සිටින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සාක්ෂි රැස්කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම මන්ත්‍රීවරයාට තමන් මාසිකව රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදුන් බවට වෙලේ සුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.
හෙරොයින් ජාවාරමේ “ගෝඩ්ෆාදර්” ලෙස හඳුන්වන්නේද මෙම මන්ත්‍රීවරයා බව වෙලේ සුදා ප්‍රකාශ කර ඇත.
එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ වෙලේ සුදාගේ පාපොච්චාරණය මත පමණක් මෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රතිඵලයක් ඇති නොවන බවයි.
මොහුට එරෙහිව ඇති වැදගත් සාක්ෂි සියල්ල ලබා ගැනීමෙන් පසු මොහු අත්අඩංගුවට ගනු ලැබුවහොත් මෙම මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.
මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව ඇති වැදගත් සාක්ෂි රැස්කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.
– Divaina