ඇතැම් භාරතීය ජනප්‍රවාදයන්ට අනුව සෙනසුරු යනු යම රජුගේ පෙරගමන්කරුවා ය. එනම් යමෙකු මෙලොවදී ලබන කර්ම ඵල විපාක සෙනසුරු ලබාදෙන අතර එලොවදී ලබන කර්ම ඵල විපාක යම රජු ලබාදෙයි.
ශනි ගෙන් වන බලපෑම මහදශාවේදී හෝ අතුරු දශාවේදී හෝ ඒරාෂ්ටක කාලයේදී තීව්‍ර වේ. මා දන්නා තරමින් මේ දක්වා (28/03/2023) සිංහල භාෂාවෙන් ලියැවී ඇති කිසිදු ග්‍රන්ථයක හෝ වෙනත් කිසිදු මුලාශ්‍රයක "ඒරාෂ්ටක" යනු කුමක් දැයි අර්ථ පැහැදිළි කරදී නැත. මෙරට කීර්තිමත් ජ්‍යෝතිර් වේදියකු වූ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ ශුරින් ඔහුගේ "ජීවිතය සහ ග්‍රහයෝ" නම් ග්‍රන්ථයේ 17 පරිච්ඡේදය ආරම්භයේදීම කියා ඇත්තේ "මේ නම කෙසේ ව්‍යවහාරයට පැමිණියේද යනු විස්තර කර නැත." යනුවෙනි. සැබවින්ම "ඒරාෂ්ටක" සංස්කෘත යෙදුමේ සරල අරුත වන්නේ "හත හමාර (7.5)" යන්නයි (එර + අෂ්ටක --> අටෙන් පෙර භාගය ). ශනිගේ ඒරාෂ්ටක කාලය වර්ෂ 7. 1/2 ක් පමණ වන බැවින් මේ යෙදුම භාවිතා කර ඇතැයි සිතිය හැකිය.
ශනි ගේ ඒරාෂ්ටක වර්ග හතරක් වේ.
i. ලග්න ඒරාෂ්ටක.
ii. ජම්ම ඒරාෂ්ටක.
iii. චතුර්ථ ඒරාෂ්ටක.
iv. අෂ්ටම ඒරාෂ්ටක.
ශනි චාරයෙන් ජන්මියාගේ කේන්ද්‍රයේ 12 වැන්නට ඇතුළු වීමෙන් "ලග්න ඒරාෂ්ටකය" ලබයි. 2 වැන්නෙන් පිටවීමෙන් ලග්න ඒරාෂ්ටකය ගෙවෙයි. සම්පුර්ණ කාලය අවුරුදු 7. 1/2 පමණ වේ.
චන්ද්‍රයා සිටි රාශියට 12 වැන්නට ඇතුළුවී චන්ද්‍රයාගෙන් 2 වැන්නෙන් නික්ම යෑමෙන් "ජම්ම එරාෂ්ටක" කාලය ගෙවෙයි. මෙයද අවුරුදු 7. 1/2 ක කාලයකි.
4 වැන්නේ හැසිරෙන කාලය "චතුර්ථ ඒරාෂ්ටකය" වන අතර 8 වැන්නේ හැසිරෙන කාලය "අෂ්ටම ඒරාෂ්ටකය" වේ. චතුර්ථ හා අෂ්ටම එරාෂ්ටක කාලය අවුරුදු 2. 1/2 බැගින් ය. අර්ථදැක්වීම අනුව මේවාට "එරාෂ්ටක" යැයි කීම නිවැරදි නැතත් සෙනසුරුගේ අපල කාලයන් සඳහා පොදුවේ ඒ යෙදුම පිළිගෙන තිබේ. නිවැරදි යෙදුම වන්නේ 'දහීය කාල' යනුයි.
මේ අතරින් වඩා බලවත් වන්නේ 'ජම්ම ඒරාෂ්ටකය' යි. ඉනික්බිති පිළිවෙලින් 'ලග්න ඒරාෂ්ටකය', 'අෂ්ටම ඒරාෂ්ටකය' හා 'චතුර්ථ ඒරාෂ්ටකය' බලවත් වේ. අවසානයට කී 'චතුර්ථ ඒරාෂ්ටකය' බොහෝ අවස්ථා වල නොසලකා තිබෙන බව පෙනෙන්නට ඇත.
--
මතු සම්බන්ධයි.


