නා ඇල අසිරිය සොයා උඩුදුම්බරට
මහනුවර මහියංගණය මාර්ගය ලංකාවේ දැකිය හැකි අතිශයින්ම සුන්දර දසුන් මවන මාර්ගයක් කීවොත් නිවැරැදිය.කදු පල්ලම් රූස්ස ගස් දළ බෑවුම් එක්ක නිල්ල නිලල කඳු යායක පහස ලබාගෙන ඇදීයන මෙම මාර්ගය මෙහි ගමන් කරන් ඕනෑම කෙනෙකුට පහන් සිතුවිලි ඇතිකිරීමට සමත්වේ.
මෙවර ගමනාන්තය විදියට අපි තෝරගත්තේ නකල්ස් අඩවියේ අතිශයින්ම සුන්දර ඉසව්වක් වුන නා ඇල. මහ නුවර මහියංගණය මාර්ගයේ සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන රැසකට මගසාදා දෙන උඩුදුම්බර ගම්මානය හරහා කලුගලට පැමිණ නකල්ස් රක්ෂිතයේ එක්තරා ඉසව්වකට ගමන් කිරීමට පිඹුරුපත් සෑදෙන්නේ 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සදහා සූදානම් වෙමින්.
ගැරඩි ඇලි දාමය, යහන්ගල කෙහෙල්පත්දෝරුව වේරගොල්ල පතන ආදියෙහි සැරිසැරූවෙකුට උඩුදුම්බර කලුගල අලුත් ස්ථානයක් නොවෙනවා සේම කොතරම් වාරයක් පැමිණියත් එහි සුන්දරත්වය බිඳකදු අඩු නොකොට ගෙන ඒමට මේ සුන්දර ගම්මානය සමත්කම් දක්වයි.කොළඹ කොටුවට එකතුවන නඩය කොටුවෙන් ගමන් ආරම්භ කරන්නේ සිකුරාදා මධ්‍යම රාත්‍රියේමයි. මගදිගට ගමන් සගයන් එකතුකරගනිමින් ඉදිරියටම ඇදෙන අපි හුන්නස්ගිරියේ සීතලට ගැහෙමින් උණු උණු පොල් රොටියක සහ තේ උගුරක පහස විදීමටත් අමතක නොකලෙමු.උදෑසන 6.00 ට පමණ සුන්දර උඩුදුම්බර ගම්මානයට ලගාවුන අපි අපගේ අවසන් ගමන් සාමාජිකාව වන දීපිකා අපහා එක්වන තෙක් උඩුදුම්බර නගරයේ රැදී සිටියේ අපට සුහද ලෙස සැලකු චමෝදි ස්ටොර්ස් වෙළද සැලේය. ඇයත් රැගෙන කලුගලට යන පාරේ ගමන් ඇරඹුවේ හිතමිත්‍ර ඉන්දිකගේ මගපෙන්වීම යටතේයි.
ඉන්දික වනාහී කලුගල ජීවත් වෙන සුන්දර සිනාවකින් නිතරම මුව සරසා ගත් තවමත් බද්‍ර යෞවනයේ කල්ගෙවන සුන්දර තරුණයෙකි. ඔහුගේ පියා ජයරත්න වන අතර ගමනේ ප්‍රධාන මගපෙන්වන්නාගේ රාජකාරිය ඉටුකලේ ඔහුය.මද දුරක් ගමන්කල පසු අප ගමන්ගත් වෑන් රථය මාර්ගයේ අබලන් ස්වභාවය නිසාම ඉදිරියට ගෙනයෑම රියදුරු තැන විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඉතිරි සහ අවසන් කිලොමීටර් කිහිපය අප රැගෙන යා හැකි ජීප් රථයක් සොයා විගසින් ඉන්දික පැමිණි හෙයින් වැඩි කරදරයකින් තොරවම ගමන නැවතත් ආරම්භ කළෙමු.ජීප් රථයේ රියදුරා තම රථය ගෙනගියේ කදුකර මාර්ගයකයි.සියළු බඩු බාහිරාදිය ජීප් රථයට දමා අප 16 දෙනාත් නැගි විට ඉදගැනීමට හැකිවුයේ කීපදෙනෙකුට පමණි.බහුතරයක් හිටගෙනය. ගැස්සෙමින් පැද්දෙමින් විටෙක උඩ ගොස් බිම වැටෙමින් ගස් වල අතු හා ගැටෙමින් විනාඩි විස්සක පමණ ඩකා රැලිය සිහිගන්වන ධාවනයක නිරතවීමට රියදුරු මහතා කාරුණික විය.
ජයරත්න මාමාගේ ගෙදර ගාවින් බැසගත් අපි උදෑසන ආහාරය සදහා කඩිමුඩියේ සූදානම් වීමු.ජයරත්න මාමාගේ හා ඉන්දිකගේ නිවස පිහිටියේ මනරම් පරිසරයකින් වටවය.ඉදිරියෙන් වෙල් යායත් ඈතින් පැහැදිලි පෙනෙන යහංගල එක් කොටසකුත් නිවසේ සිට බලන්නෙකුත් සුන්දර දර්ශනයක් මවා පෑවේය.
දීපිකාගේ ඉදිආප්පයෙන්ද කටසැර සම්බෝලයෙන්ද ඉන්දිකගේ මව විසින් සෑදු පරිප්පු ව්‍යාංජනයෙන්ද හැඩවූ අපගේ උදෑසන ආහාරය භුක්ති විදීමට ඉන්දිකගේ නිවසේ මිදුල තරම් ගැලපෙන තැනක් සිතාගත නොහැකි තරම්ය.
ඉක්මනින් ආහාර ගත් අපි නැවතත් ජීප් රථයේ නැග්ගේ අවසන් කිලොමීටර් කීපය යෑමටයි.
ගම්මානයේ අවසන් නිවාස කීපය පසුකල අපි එතැනින් දකුණු අතට හැරී වනය දෙසට ගමන් කලෙමු.ආරම්භයේදි මද බෑවුම් ස්වභාවයක් පෙන්නුම් කලද ටික දුරක් යෑමේදි තුරු වියනෙන් වැසීගත් අලංකාර තැනිතලාවක් අපිට දක්නට ලැබිණි . කැපී පෙනෙන අඩි පාරක් පැවති අතර මදකින් මාර්ගය නැවතත් මද නැගීම් සහිත විය.
ඉන්පසු අප පිවිසියේ අම්බලමකටයි.කොස්ගොල්ල වත්ත ලෙස සදහන් පුවරුවක් දක්නට ලැබුන අතර එතැන් පටන් කොස්ගොල්ල වත්ත ආරම්භ වන බව ජයරත්න මාමා පසුව කියාදෙන ලදී.
"දැන් ඉතින් දිගටම පල්ලම තමා පුතාලා " ජයරත්න මාමා සිනාමුසු මුහුනෙන් අපදෙස බලා පැවසුවේය.
ඔහු පැවසූ සේම එතැන් පටන් මාර්ගයේ නැගීම් රහිත විය. බැසීම් සහ තැනිතලා ප්‍රදේශ පමණක්ම විය. තුරු වියන යටින් ගමන් කල නිසාවෙන් අවුරශ්මියෙන් බාධාවක් නොවිනි.එසේම දිය දහරා කීපයක්ම පසුකර යෑමට සිදුවු බැවින් පිපාසය නිවීමට ජලයේ හිගතාවයක්ද පැන නැගුනේම නැත.
අතරින් පතර කූඩැල්ලෙක් දෙන්නෙක් විය. මනරම් විශාල ප්‍රමාණයේ ගස් වලින් මාර්ගය අලංකාර වී තිබිණි. ගල් බෑවූම් තැනිතලා මාර්ග ඔස්සේ පැමිණෙද්දි තවත් බොහෝ අතුරු පාරවල් අතරමගදි හමුවෙන බැවින් පසුපස පැමිණෙන්නන්ට මංසලකුණු තැබුවෙ කොල අත්තකිනි. අධික බෑවුමක් තිබූ ස්ථානයකදී ජයරත්න මාමා පැවසුවේ එය මීගොන් නග්ගන ස්ථානය කියාය. එනම් මෙම ගමේ සිට මී හරකුන් මීමුරේ ප්‍රදේශයට මේ හරහා රැගෙන යන බවයි.
නැවතත් අපට ගල් බෑවුමක් සමග ලීවැටක් බැදි ස්ථානයක් හමුවිය. එය වයෝවෘධ මීහරකුන් මිය යාමට ආසන්න වන විට ගෙනත් දමන තැනක් වන අතර නැවත ඔවුන්ට ගමට පැමිණීමට නොහැකිවන ලෙස සාදන ලද වැටකි. සවිශක්තිය ඇති කාලේ තම හාම්පුතුන්ට සේවය සපයා මසට නොවිකුණා ඔවුන්ගේ ජීවිතය එසේ සොබාදහමත් එක්කම මියයාමට දීම ඔවුන්ට දක්වන ගෞරවයක් වැනිය.
පැය හතරක පමණ ගමනකින් අප 16 දෙනාගෙන් යුත් නඩය නා ඇල්ල වෙත පැමිණියෙමු. ඇත්තවශයෙන්ම අප පැමිණියේ නා ඇල්ලේ ඉහලම කොටසේ පිහිටි තරමක් විශාල ගල් තලාවක් වෙතටයි. එතනින් පහලට හීන් ඔය විවිධ රටා මවමින් දිය ඇලි කීපයක්ම සාදමින් පහලට ගලා හැලේ.අවසානය අනන්ත තටාකයක් සාදමින් නා ඇල්ලෙන් කෙලවර වේ.
නා ඇල්ල සාදනුයේ පෙරකී ලෙසම හීන් ඔයයි.හීන් ඔය නකල්ස් රක්ශිතයෙන් ඇරඹී ඉහල කොටසේදී මේ සුන්දර නා ඇල සාදමින් පහලට ගලාබසී.
මහන්සිය නොදැනෙන තරමටම සුන්දර ගමනාන්තයකි. හැමෝම ගල්තලාව දිගේ පහලට ඇදී ගියේ සීතල ජලයේ පහස විද ගැනීමටය. එහිදී ජයරත්න මාමාගෙ නිවසින් සාදා දුන් දවල් ආහාරය අප ගන්නා ලදී. ප්‍රණීත ගමේ කෑම වේලකි. ඉන්පසු විනාඩි 30ක පමණ කෙටි විවේකයකින් පස්සෙ අවට පරිසරයේ විසිතුරු නැරඹීම පටන් ගන්නා ලදී. එතෙක් ජයරත්න මාමා, ඉන්දික මල්ලී විසින් අප වෙනුවෙන් ඔන්චිල්ලාවක් තනා දෙන ලදී.
කූඩාරම් ඉදිකොට බඩුබාහිරාදිය එහි තමා මද වේලාවක් විවේක ගැනීමෙන් අනතුරුව නා ඇල්ලේ පහලට ගොස් නිරීක්ෂණය කිරීමට සියල්ලෝ සූදානම් වූහ. ගල් දිගේ ලිස්සා ගොස් වතුරට වැටීමට පිහිනීමට හැකි තැන් කීපයක්ම දක්නට ලැබුනී.ලිස්සා යමින් පිහිනමින් ජලයට පනිමින් රිසිසේ විනෝද වූ අපි අවසානයේ අනන්ත තටාකය අසල නතර වීමු.
පසුපසින් පෙනෙන්නේ ලකේගලයි.බැලු බැලු හැම අතම කොළ පැහැයෙන් දිස්වේ.අනන්ත තටාකයක් එසේත් නැත්නම් Infinity Pool ලෙස හැදින්වීමට හේතුවූ කාරණා දැන් මනාව පැහැදිලි වේ. බොහෝවෙලාවක් දිය නෑමටත් ජායාරූප ගැනීමටත් වෙන්කල අපි සවස 5.30 ට පමණ නැවතත් කූඩාරම් බිමට පැමිණියෙමු.
සුලු වේලාවකින් ධාරානිපාත වර්ශාවක් කඩා හැලෙන්නට විය.කිසිසේත්ම බලාපොරොත්තු නොවූ සිදුවීමකි.පිරිසක් තවමත් අනන්ත තටාකය අසලය. බහුතරයක් කදවුරු භූමිය තුලට පැමිණි ඇත. ඉක්මනින් කූඩාරම් තුලට රිංගා හැකි අයුරින් වැස්සෙන් ආරක්ෂා වීමට උත්සාහ කළෙමු. වැස්ස දිගින් දිගටම ඇදහැලිනි.
හීන් ඔය රළු වෙමින් පැවතිනි.ඉතිරි කීපදෙනාද කදවුරු භූමිය වෙත පැමිණියේය.ජයරත්න මාමාගේ මගපෙන්වීමෙන් පිරිසක් අසල වූ ගල් ගුහාවකට ඇතුල්වී පොඩි ගිනිමැලයක් දැල්වීමට සමත්විනි.සෙස්සෝ කූඩාරම් තුල තෙමී නොතෙමී කල් ගෙවූහ. රළුවන දිය පහරේ ශබ්දයට කන් දෙමින් පැය තුනක් පමණ කල් ගෙවන්නට ඇත.
පුරා පැය තුනක ධාරානිපාත වර්ශාවෙන් පසු පරිසරය නැවතත් සංසුන් විය.අහස පැහැදිලි වී තරු රටා පෙනෙන්නට පටන් ගත්තේ කාගෙත් හිතට සැනසුමක් එක් කරමිනි. කූඩාරමක් තුල රාත්‍රි කෑම සූදානම් කිරීම ඇරඹුවේ එලියේ සෑම තැනම තෙතබරිත වී තිබු නිසාය.
ජයරත්න මාමාගේ පොඩි ගිනිමැලය ගුහාවෙන් එලියට ගෙනැවිත් සැපට ගිනි තැපිය හැකි ලොකු මැලයක් බවට පත් කිරීමෙන් සීතලෙන් මිදීමට ඉඩ සැලසුනි. රාත්‍රි ආහාරයෙන් පසු අල්ලාප සල්ලාපයේ යෙදුනු අපි නින්දට යනවිට මධ්‍යම රාත්‍රියද පසුවී තිබුණි.
පසුදා උදෑසන මඤ්ඤොක්කා සමග කොච්චි සම්බෝලයෙන් හැඩවූ අපගේ උදෑසන ආහාරය ජයරත්න මාමාගේ අතින් සෑදෙන අයුරු බලා සිටීමට ලස්සනය. උදේ කෑමෙන් පසු පෙර දින පල්ලම් බැසි මාර්ගයේ ඉහලට ගමන්කිරීමට ඇති බැවින් නැවතත් ගමන් ආරම්භ කලෙමු.
මෙවර දිගින් දිගටම නැගීමක් සහ තැනිතලා මාර්ග අපේ ගමන්මග වී තිබුනි. කදු බැසීමට සාපේක්ෂව කදු නැගීම වේගවත් කරමින් පැය දෙකයි විනාඩි 40ක දී නැවතත් ගමට ලගා වීමට අපේ නඩයට හැකිවිනි.
දහවල් ආහාරය සප්පායම් වී නැවතත් ගම් රට බලා යෑම ඇරඹුවේ උඩුදුම්බර සීතල වතුරෙ දිය එලියකටද සහභාගි වීමෙන් අනතුරුවය.
ජයරත්න මාමා හරිම සිරියාවන්ත පාටය. හැමවිටම මුහුණේ සිනාව රැදී ඇත. මොන බාධකය ආවත් සැලුණේ නැත. නාඇල්ලේ ගමන ඔහුට හා ඉන්දික මල්ලීට තනිව ගොස් ආපසු පැමිණීමට ගත වන්නෙ පැයක පමණ කාලයකි. එය බොරු ආටෝපයක් නොවෙන වග පසක් වූයෙ පාවහන් රහිත විශාල පතුල් සහිත පාද කොතරම් මේ මාර්ගයේ ඉහල පහල ගොස් ඇත්ද යන බව මනාව ඔප්පු කරමිනි. ඉන්දික මල්ලීද දවසක ඔහුට දෙවනි නොවනු ඇත.ඔවුන් සොබාදහමත් සමග ජීවත් වන සුන්දර මිනිසුන් ය. ගමන පුරාම ඔවුන්ගේ වගකීම මනාව ඉටු කරන ලදී.
සුන්දරත්වය සපිරුණු චාරිකාවක් එසේ නිමාවෙද්දි පියසටහනකට වැඩි යමක් පරිසරයේ ඉතිරි නොකොට පැමිණෙන මෙන්ද අප බැගෑපත්ව ඉල්ලා සිටින්නෙමු.
චායාරූප - අනූශා දුෂ්මන්ති / කැළුම් චන්ද්‍රපාල
ජයරත්න මාමව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් පහත දුරකථන අ0කයෙන් ඉන්දිකව සම්භන්ධ කරගන්න.
078-376 81 62 




නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා.




