විවාහ මංගල උත්සවයකට පිරිසක් රැගෙන යමින් තිබූ වෑන්රථයක් ප්‍රපාතයකට පෙරලී දස දෙනෙක් රෝහල්ගත කර තිබේ.
තලවාකැලේ, මෙරායා වතුයායේ සිට හැටන් නගර දක්වා ධාවනය වූ වෑන් රථයක් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පතන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් එම වෑන් රථයේ ගමන්ගත් කුඩා ළමුන් සිව් දෙනෙක් ඇතුළු තවත් හය දෙනෙක් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම වෑන්රථය මාර්ගයේ ලිස්සා යෑමෙන් මාර්ගයෙන් ඉවතට පෙරළී ඇති බවත් වෑන් රථයේ සිටි තුවාල ලැබූවන් ප්‍රදේශවාසීන් එක්ව වෑන්රථයෙන් ඉවතට ගෙන රෝහල්ගත කර තිබෙන බවත් දිඹුල පොලිසිය පැවසී ය.
මෙම අනතුරින් තුවාල ලබා ඇති අයගේ තත්ත්වය බරපතල නොවන බව කොටගල රෝහලේ වෛද්‍යවරුන් පවසති.
අධික වර්ෂාව පවතින කාලයේදී මාර්ගය ලිස්සන සුළු බැවින් ඉතා සුපරික්ෂාකාරීව වාහන ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.