පුරාවස්තු මංකොල්ලය හා නිදන් හෑරීම පිළිබඳ විමර්ශනය පිණිස වෙන ම පොලිස් ඒකකයක් පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා ඇත.
කොළඹ හතේ ජාතික කටුගෙයි පුරාවස්තු සොරකමට මාස ගණනකි. එහෙත් තවමත් සොරුන් අල්ලන්නට පොලිසිය අසමත්ව ඇත.
මේ සොරකම කිසියම් බලාධිකාරයක අවශ්‍යතාව මත සිදු වූවක් බවට මහජනතාව අතර ඇති සැකය සොරකම ඇල්ලීම පමා වන දවසක් දවසක් පාසා තහවුරු වේ.
විශේෂ කාර්ය බලකාය නිදන් හාරා ජනතාව අතට අසු වී විරෝධය මැද පළා ගිය සිද්ධිය රටම දනිති.
ඇත්තෙන් ම, මේ රටේ මහ පොළව යට මෙතරම් නිධාන තිබේ ද? ඉපැරණි චෛත්‍ය, බුදු පිළිම ආදිය තනන විට නම් යම් වටිනා වස්තු නිදන් කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. එහෙත්, ඔය කියන තරම් හැම තැන ම නිදන් කරන්නට තරම් රන් මේ රටේ තිබෙන්නට ඇතැයි සිතිය නො හැකි ය.
එකක් මේ රටේ රන් නිධි තිබුණේ නැත. ලෝකයේ කොහේවත් රන් කර්මාන්තය සරළ, පහසු එකක් වූයේ නැත. එබැවින් ඈත අතීතයේදී පවා රන් වටිනා ලෝහයක් වූ අතර, කඩු - කිණිසි, දෑකැති ආදිය රනින් තනන්නට තරම් රන් සුලබ වූයේ යයි සිතිය හැකි සාධක නැත. පැරණි හා ජන සාහිත්‍යයන්හි රන් ගැන සඳහන් වන්නේ සාහිත්‍යමය අතිශයෝක්තියෙන් මිස අන් හේතුවකින් නො වේ.
මේ රට අතීතයේ පටන් ම මැණික්වලට ප්‍රසිද්ධ වූ මුත් මැණික් වෙළඳාම දිගට ම කෙරුණ මේ රටේ මුට්ටි පිටින් මැණික වළ දමන්නට හේතු ද සොයා ගත නො හැක.
දැගැබ්වලින්, බුදු පිළිම සිරසින් ආදියෙන් සොරුන්ට යම් යම් දෑ හමු වන්නට ඇත. එහෙත්, ඒවායේ පෞරාණික වටිනාකමට වැඩි ද්‍රව්‍යමය මිළක් ඇතැයි සිතිය නො හැකි ය.
මහා පරිමාණයෙන් නිදන් හාරන බවට රටේ ජනතාවගේ සැකයට භාජනය වී ඇති පිරිසට ඇත්තට ම අවශ්‍ය ද්‍රව්‍යමය වශයෙන් වටිනා දේ නො වන්නට පුළුවන. මන්ද, ඔවුන් සතුව ඇති ධනෝපායන මාර්ග අනුව ගත් කල රන් අලියෙකු වුවත් මහ කජ්ජක් නො වන බැවිනි.
ඔවුන් සොයන්නේ බලය සඳහා උපයෝගී කර ගත හැකි යයි ඔවුන් විශ්වාස කරන කිසියම් පුරාවස්තුවක් විය හැකි ය.
මේ වනාහි හුදු උන්මත්තකභාවය ම පමණක් නො වේ. ඔවුන් සතුව එවැනි දෙයක් ඇති බව ප්‍රචාරය වුවහොත් මේ රටේ ජනතාව පවා ඔවුන් අත බලය සදා කල් රැඳෙනු ඇතැයි විශ්වාස කරනු ඇත.
පැතිරී ඇති කටකතා හේතුවෙන් මේ වන විට කට්ටඩීන්ගේ මල්ල කරේ ය. නිදන් ඇතැයි විශ්වාසයෙන් බොහෝ බලවත් පුද්ගලයෝ මේ වන විට හෑරීමේ යෙදී සිටිති.
ආගමික එදිරිවාදීන්ට ද මේ කදිම අවස්ථාවකි. නිදන් ඇති බවට තොරතුරක් දුන්නොත් මහ සෑය වුණත් බිමට සමතලා කරන්නට පුළුවන් මෝඩ අයියලා සිටිති.
නිදන් නිසා සිංහල බෞද්ධයෝ ම මේ වන විට සිය උරුමය බැකෝවලින් හාරා වනසමින් සිටිති.
නිදන් යනු සැබෑවට වඩා ප්‍රබන්ධ ය. අද වන විට නිදන් යනු ධන - බල කාමයේ හා මුග්ධත්වයේ සංකේතයකි.
w3lanka