සියලු වදුලු ශාස්ත්‍රීය ග්රන්ථවලට වඩා විවාදාත්මක ස්වරූපයක් සමාජය වෙත මුදාහැර ඇත්තේ නිධන් වදුලු ශාස්ත්‍රයයි. එය වදුලු ශාස්ත්රයේ පස්වන කොටසයි. පණ්ඩිත කිරිඇල්ලේ ඥනවිමල හිමියන් එකතුකොට ගත් වදුලු ග්රන්ථ අතර යට කී පරිදි ශ්‍රී කාල, ශ්රීය කාල, නුපුනු කාල ඉසිවරුන්ගේ වදුලු ග්රන්ථයන්ද ඊට අමතරව නවයොදුන් සබරගමුවේ වදුලු පොතද, ගිරුවායේ වදුලු පොතද, අනුරාධපුර පුරිගස්වැවේ මැණික්රාළ නත්තාගේ වදුලු පොතද, අනුරාධපුරේ වටරක්කාවේ උක්කුවා වෙද හේනයාගේ වදුලු පොතද, ඌවේ මුදියන්සේලාගේ කීර්තිරත්නගේ වදුලු පොතද, කුරුණෑගල උග්ගල්ලේ රටේ මහත්තයාගේ වදුලු පොතද වශයෙන් නිධන් වදුලු ග්රන්ථ එකොළොසක් අයත්ව තිබේ. මේ ග්‍රන්ථවල සඳහන් පරිදි නිධන් සොයා ගත හැකි ලකුණු හැටහතරකි. සක්වදුල්, කවුඩු වදුල්, ඊ වදුල්, ත්‍රි සුලම් ආදිය මේ ලක්ෂණවලට අයත්ය.
පැරණි රජවරු සිය වස්තු නිධන්කොට තැබූයේ මත්තේදී භාවිතා කරන්නටයි. වෙසෙසින්ම මධ්‍යකාලීන යුගයෙන් පසු ඇති වූ සතුරු ආක්‍රමණ ඔස්සේ රාජධානි අවතැන් වන විට රජවරු සිය වස්තු ඒ ඒ ස්ථානවලම රහසේ නිධන්කොට පැන ගියහ. නැතහොත් මලය කඳුකරය, බස්නාහිර කඳුකරය ආදී වනගත පෙදෙස්වලට විත් ගිරි දුර්ගවල වාසය කරමින් තම වස්තුව ඒ ඒ ස්ථානවල නිධන් කළහ. කෝට්ටේ යුගයේදී වීදිය බණ්ඩාර, සිරිවර්ධන ප්‍රභූරාජ, විජයපාල, රාජසිංහ ආදීන්ද නුවර යුගයේදී දෙවැනි රාජසිංහ වැන්නවුන්ද සිය වස්තුව ආරක්ෂා කරගන්නට නොයෙකුත් උපක්‍රම සැලසූහ.
මේ නිසා වනගතව තිබෙන ගල්ලෙන් අසාමාන්‍ය හැඩය ගත් ගල්තලා ආදිය මේ නිධන් වස්තු තැන්පත් කර තිබෙන ස්ථාන ලෙසට ප්‍රකට වෙයි. වදුලු ග්‍රන්ථයක තිබූ මේ සඳහන ඊට සාක්ෂි සපයයි.
කවුඩුමුල්ලේ ගලේ ගෝන අඟක් ඇති. ඒ වට කවයක් ඇති.
එතැනට තුන් පියවරක් නැගෙනහිරට අඟේ හැටපන්දාහයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇරඹීමට ප්‍රථම ලංකාවේ දිසාපති තනතුරු දැරූ සුදු නිලධාරීහු මේ ස්ථානවලට ගොස් මේවායේ වස්තුව ගොඩගෙන එංගලන්තය බලා රැගෙන ගියහ. එච්. සී. පී. බෙල් මහතාගේ කණ්ඩායම (බෙල් පාටිය) පවා මුල් කාලයේ මෙලෙස නොයෙකුත් තැන්වල තිබූ නිධන් වස්තු ගොඩගත් බව පැවසේ. මුල් කාලයේ ඔවුන් ලබාගත් සන්නස්, තඹපත් හා පුස්කොල පොත් පවා අද ජීවමානව දක්නට නොමැත.
issuwe divaina article ekakin.