කෝටි 6 ක් කාබාසිනියා කර ගණිකාවන්ට කුඩ්ඩන්ට පිදූ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ෴ ජනතා සාක්කිය
(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.11, ප.ව. 11.00) ආයෝජන මණ්ඩලයට අයත් පිලියන්දල කහපොල ඉඩමක බලහත්කාරයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් කෝටි 6 ½ ක් වියදම් කොට ඉදි කරන ලද මෙම බෞද්ධ මධ්‍යස්ථානය 2009 වර්ෂයේදී අතරමග නවතා කුඩුකාරයින්ගේ හා ගණිකාවන්ගේ අපචාර කටයුතු සඳහා භාවිතයට බාර දී ඇත.
පසුගිය රජයේ අත්තනෝමතික හා දැඩි තීන්දුවල ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කරන ලද මෙම බෞද්ධ මධ්‍යස්ථානයට ජාත්‍යන්තරයේ අනෙකුත් බෞද්ධ රටවල් වලින් සහය දිනා ගැනීමට පාලකයන්ට නොහැකි විය. මෙම ස්ථානයේ පසුව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා විසින් රුක් රෝපණ ව්‍යාපාරයක්ද ආරම්භ කළ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරාද එයට මුදල් වියදම් කොට තිබිණ. එයද සාර්ථක නොවුණු තැන හේරත් අමාත්‍යවරයා විසින් ඉන් පසු මෙම ස්ථානයේ දෙහිවල සත්තු වත්තේ රෝගී සතුන් සුරැකීමේ මධ්‍යස්ථානයක් පිහිටු වීමට කටයුතු කළ අතර එයටද මහජන මුදල් නාස්ති කොට තිබිණ.
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙනත් රටවල බෞද්ධ සංස්කෘතියට අනුකූලව බෞද්ධ මධ්‍යස්ථානයන් ඉදි කිරීමට චීනයට, ජපානයට, තායිලන්තයට, බුරුමය, වියට්නාමය, නේපාලයට කරන ලද ආරාධනා සියල්ල ප්‍රතික්ශේප විය. හිටපු ජනපතිවරයා සුවච කීකරු ගෝල ස්වාමීන් වහන්සේ නමක් සමඟ දෙවරක් ගුවනින් මෙම ස්ථානයට වැඩම කළ අතර ඔවුන් විසින් ගත් සියළු තීන්දු ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
මෙම ඉඩම මිලේනියම් සිටි නැමති නිවාස සංකීර්ණයක් සඳහා ලලිත් කොතලාවලට විකුණා තිබු අතර ඔහුගෙන් එම දේපළ රාජපක්ෂවරුන් විසින් නැවතත් පවරා ගන්නා ලදී. තවද ප්‍රදේශයේ එක්තරා අමාත්‍යවරයකුට එම සමාගම විසින් නිවාස සංකීර්ණයේ අනුමැතිය වෙනුවෙන් දොල පිදේනියක්ද දී තිබිණ. මෙම ප්‍රදේශයේ ආයෝජන කළාපයකට වඩාත් යෝජිත අක්කර 77 ක මෙම ඉඩම තුළ කිසිදු ක්‍රමවේදයකින් තොරව ඉඩම හරි මැද මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම් ආරම්භ කරන ලදී.
අප ප්‍රදේශයේ ජීවත්වු කෝටිපතියෙකු, දානපතියෙකු වු සමරකෝන් මහතාගේ බූදලයෙන් මහා භාරකාර වෙත සතුවු මෙම ඉඩම පවරා ගැනීමේදී කිසිදු පැහැදිලි පවරා ගැනීමේ පිළිවෙතක් අනුගමනය කර නොමැත. වර්ථමානයේ පිළියන්දල පොලීසියටද මහත් හිසරදයක්වු මෙම ජ්‍යාතන්තර බෞද්ධ මධ්‍යස්ථානය දේශීය ගණිකා මඩමක් බවට පත්ව ඇත. මෙහි ඇති මල් ආසන නිදියහන් බවට පත්ව ඇති බව ප්‍රසිද්ධ රහසකි.
නිරෝෂන් පාදුක්ක විසිනි
---------------------------