යටගිය දවස රජහග නුවර එක් මගධ රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කෙරෙති. එකල්හි මහාබෝසතාණෝ මෘග යෝනියෙක්හි ඉපිද මෘග සමූහයා විසින් පිරිවරණ ලදුව වනයෙහි වාසය කරන්නාහ. ඉක්බිත්තෙන් ඒ බෝධි සත්වයන්ගේ නැගණියෝ තමන්ගේ පුතනුවන් එතනට කැඳවාගෙණ අවුත් බෑයන් වහන්ස නුඹවහන්සේගේ බෑණනුවන්ට මෘග මායම් ඉගැන්නුව මැන වැයි කිවුය. මහාබෝධිසත්වයෝ යහපතැයි නැගණියන්ට ප්රතිවචනාදී යවා දරුව අසවල් වේලේ ඇවිත් උගනුවයි කීහ. ඒ මෘග පෝකයාද මයිලනුවන් විසින් නියමකොට කී වෙලා නොයික්මවා බෝධිසත්වයන් කරා එලඹ මෘග මායම් උගන්නේය. මෘගපෝතකයාද එක් දවසක් වනයෙහි ඇවිදිනේ මලෙක් හී බැඳුනේ තමා බැඳුනු නියාව කියා ඇඬුයේය. මෘගසමූහයාද පලාගොස් තොපගේ පුතනුවෝ මලෙක බැදූනෝ යයි ඒ මුවපැටවාගේ මෑනියන්ට කීහ. ඒ මෘගධෙනුවද බෑයන් සමීපයට ගොස් බෑයන් වහන්ස නුඹ වහන්සේගේ බැනණුවෝ මෘග මායම් උගත්තුදැයි විචාළිය. මහ බෝසතාණෝද තොපගේ පුතනුවන්ට කිසි සැකයක් තොපි නොකරවයි ඔහු විසින් යහපත් කොට මෘගමායම් උගන්නාලදැයි කිසිත් පීඩාවක් නැත. තොප සතුටු කර මින් දැන් එති කියන්නාවූ බෝධිසත්වයෝ මෙසේ කීවාහුය. එම්බා පින්වත තෘණ භක්ෂණයකොට සෙය්යාව කරන්නාවු අටකුහරයකින් යුක්තවූ මධ්‍යම රාත්‍රි වෙලෙහි පැන් බොන සුලුවූ මට බෑණාවූ මෘගපෝතකයාණන් නොයෙක් මෘග මායම් ඉගැන්විමි. එසේ හෙයින් නාසාවතයකින් සුලං රඳවා භූමියෙහි වැදහෙව ආස්වාසය කෙරෙමින් කලා සයකින් යුක්තවූ මෘග මායමින් වැද්දහු වඤචාකොට තොපගේ පුත්‍රයානෝ තොප සතුටු කෙරෙමින් නොබෝ කලකින් එන්නාහයි ඒ බෝධිසත්වයෝ කිවාහුය. මෙසේ මහබෝධිසත්වයෝ තමන්ගේ බෑනණුවන්ට මෘගමායම් යහපත් කොට ඉගැන්වූ බව දක්වන්නාහු නැගනියන්ට ශෝක නොකරවයි අස්වැසූහ. ඒ මුව පැටවාද මල බැඳුනු තැනැත්තෝ නොසෙල්විම භූමියෙහි හෙව ඉල ඇට පෙණෙන නියායෙන් කකුල් දික්කොට එක ඇලයකින් වැදහොත් තෙනට ආසන්නයෙහි කුර අගින් ගසා පස්ද තණද උපුල්වා මලමුත්‍ර පිටත් කොට ඉස එල්ලා දිව දික්කොට සකල ශරීරය කෙළින් කිළිටුකොට සුලන් ගැන්වීමෙන් බඩ උදුම්වාගෙණ ඇස පෙරලාගෙණ යටවූ නාසාපුටයෙන් වාතය සංවරණය කෙරෙමින් මතු නාසාපුටයෙන් පිටත නික්මෙන්නාවූ වාතය රඳවා සියලු ශරීරයෙහි තදබව ගන්වා මළා වූ ආකාරය දැක්වුයේය. නිලමැස්සෝද ඔහු වටකොටගත්හ. ඒ ඒ ස්ථානයෙහි කපුටෝත් සැඟව් උන්හ. මේ නියායෙන් වැදහොත්තෙනට මල ලූ වැදි අවුත් මුවාගේ බඩ අත ගසා උදැසනම බැඳූනේ වන කුණුව ගියේ යයි ඌ බැඳූනු වරපට මුදා මෙතනදීම මොහු මස් කොට ගෙණ යෙමි සැකයක් නැතිව කොළ අතු කඩන්ට පටන් ගත, මුවපැටවාද වැදහොත් තැනින් නැගී සතරපයින් ශරීරයේ සිට කිළිපොළා කර දික්කොට මගවාතයෙන් සිඳුනාවූ වලාකඩක් මෙන් යුහුව දුවගෙණ ගොස් මෑණියන් සමීපයට ගියේය. සර්වඥයන් වහන්සේද මහණෙනි, රාහුලයා දැන් මතු ශික්ෂාකාමී නොවෙයි, පූර්වයෙහිත් ශික්ෂා කාමී යයි වදාරා මේ ජතක ධර්මදේශනාව ගෙණ හැර දක්වා සන්ධි ගළපා තිප්පල්ලත්ථිමිග ජාතකය නිමවා වාදළසේකි.
එකල්හි බෑණාවු මුව පැටියානෝ නම් දැන් රාහුල ස්ථවිරයෝය, ඒ මුව පැටියානන්ගේ මැණියෝ නම් උපුල්වන් මහාස්ථිවරීය, මුවපැටියානන්ට මයිල්වූ මුවාණෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.