සියල්ල වෙනස් වෙන බව පරම සත්යක්. අවට ඇති දේ සහ අපේ සිතුවිලි පවා වෙනස් වෙනවා. මේ ලෝකයේ ස්වභාවය.
මේ වෙනස් වීමට හේතුව අපට ග්රහනය කර ගැනීමට අපහසියි. එයට හේතුව අපිත් මේ වෙනස්වීමේ කොටස් කාරයන් නිසා.
තවත් පැහැදිලි කලොත්, අප අපේ පැවැත්ම ලෙස අදුනා ගන්නේ නොනැවතී ගලා යන සිතුවිලි දහරාවයි. මෙය නැත්නම් අපි මිය ගිය අය. මේ සිතුවිලි අපේ සංවේදන අවයව නිසා ඇතිවෙනවා. මීට අමතරව මේ සිතුවිලක් ඊට කලින් ආ සිතුවිල්ලක් නිසා හට ගන්නත් පුලුවන්. ඉතින් මනසේ ක්රියාකාරිත්වය ඇතිවෙනවා (සිතුවිල්ලක් ඇතිවෙනවා), නැතිවෙනවා (සිතුවිල්ල නැතිවෙනවා). මෙය දිගටම සිදුවෙනවා. ඉතින් කලින් කියු සිතුවිලි දහරාව ඇත්තටම කැඩි කැඩි සිදුවන දෙයක්. මින් එහාට දෙයක් කරන්න අප කාටත් බෑ.
ඉතින් අප අවට ඇති දේ නිසැකවම පවතිනවාදැයි අප වටහා ගන්නේ කෙසේද? නොනැවතී සිදුවන සිතුවිලි ඇතිවීමත්, නැතිවීමත් නිසා අපට ඇත්තටම අපෙන් පිට ඇති දේ නොනැසී පවතිනවාදැයි තෝරාගන්න බැහැ. පුලුවන් උපරිමය තමයි සිතුවිලි දෙකක් එකම අරමුනක පවතිනවානම් ඒ ඒ සිතුවිලි දෙක ඇතිවන අවස්ථා වල අරමුන එකමයි ලෙස තෝරා ගැනීම. නමුත් අඩු තරමේ අතර මැද වෙනසක් සිදු උනාදැයිවත් තේරුම් ගන්න අපට හැකියාවක් නැහැ.
ඉතින් අපි කොහොමද වෙනස් වීමට හේතුව සොයන්නේ? මේ අවස්ථාවේදී අපට වෙනස් වීමක් වෙලාදැයි තෝරා ගන්නත් ක්රමයක් නැහැනේ!
අප අවට සිදුවන වෙනස් වීම් අපේ සංවේදන අවයව නිසා අපට වටහා ගන්න පුලුවන්. නමුත් ඒ වටහා ගැනීමත් තවත් සිතුවිල්ලක් පමණයි. ඉතින් අප ඇතිවෙනවා (සිතුවිල්ලක් ඇතිවෙනවා), නැතිවෙනවා (සිතුවිල්ල නැතිවෙනවා). අන් සියලු දේ නොවෙනස්ව පැවතුනත්, වෙනස් උනත් ඉන් කිසිම පලක් අපට නෑ. ඉපදුන මම ජීවත් වෙනවා යැයි කියන්නේ මේ වෙනස්වීම (සිතුවිලි ඇතිවීම, නැතිවීම) නොකඩවා සිදුවීමයි.
ඔබ අදහස් කලේ භෞතික ශරීරයේ වෙනස් වීම නම් ඒ වෙනස් වන සිතුවිලි නිසා සිදුවන ක්රියාකාරීත්වයක් පමනයි. උදාහරනයකට අප තුල ඇති ආශාව නිසා අති දීර්ඝ කාලයක් තුල ටිකෙන් ටික හැඩ ගැසුනු මේ ශරීරයේ බඩගින්න ඇතිවෙනවා (සංවේදනයක් නිසා සිතුවිල්ලක් ඇතිවනවා). මේ නිසා අප ආහාර ගන්නවා. මේ නිසා අපේ ශරීරය ඊට අනුරූපව වෙනස් වෙනවා. දීර්ඝ කාලයක් තුල සිදුවන මේ හැඩ ගැසීම (සිතුවිලි නිසාම) වැහැරීම සහ මිය යෑමත් ඒ අනුවම සිදුවනවා (සිතුවිලි නිසාම). බුදු දහමේ කියවෙනවා ආයු කාලය අපේ පරිහානියත් සමග අඩු වෙනවා කියලා. මතකද මකාදේව ජාතකය? වයස අවුරුදු අසූ හාර දාහේ කතාවක්. එහෙනම් ඉපදීමටත්, මිය යෑමටත්, අතර මැද සිදුවන භෞතික ශරීරයේ වෙනස් වීමටත් මූලික හේතුව සිත විය යුතුයි.
මම මේ ලියුවේ බුදු දහමින් මම ලැබූ අවබෝධය අනුසාරයෙනුයි. එනම් මේ ලියූ දේ වැරදි තියෙන්න පුලුවන්.