බෞද්ධ අපේ අරමුණ තමයි මේ භවයේදීම නිර්වාණය අවබෝධ කර ගැනීම. මේ භවයේදී බැරිනම් මතු උපදින භවයකදි හෝ ඒ අරමුණ ඉටු කර ගන්නයි අපි උත්සහ කරන්නේ. නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගයේ යන අපිට බාධා කරන එක්තරා පුද්ගලයෙක් තමයි “පාපී මාරයා”. මාරයා කැමති නෑ අපි ඒ උත්තම නිර්වාණය අවබෝධ කරගන්නවාට.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීම වලක්වන්නත් පාපී මාරයා බොහෝම උත්සාහකල බව අපි අහලා තියෙනවා. දස බිම්බර මාර සේනාව සමග එදා උන්වහන්සේ අපි හැමෝම වෙනුවෙන් බුද්ධත්වයට පත් වෙන්න උත්සාහ කරද්දි මාරයා යුද්ධ කලා. නමුත් එදිනදි බුදුන්ගේ මහා පාරමිතා බලයත් පඥා බලයත් (අපේ වාසනාවත් නිසා) බුදුරජාණන් වහන්සේ ජය ගත්තා.
එදා පටන්ම බුදුන් සමග මාරයා වෛර බැඳ ගත්තා. බුදුන් සමග පමණක් නොවෙයි, බුද්ධ ධර්මය පිළිපදින අයටත් මාරයා වෛර කරනවා. ඒ ධර්මයේ ඵල ලබා ගත්ත අයටත් මාරයා වෛර කරනවා. ඔයාලා දන්නවා ඇතිනේ මුගලන් හාමුදුරුවන්ගේ ඔළුව පලන්න මාරයා උත්සාහ කල හැටි මේ වෛරය නිසා. ඒ එක පුංචි නිදර්ශණයක් විතරයි. මේ විදියට බෞද්ධ මාර්ගය පිළිපදින හැමෝටම මේ පාපී මාරයාගෙන් කරදර පැමිණෙනවා. ඔයාලා ප(pra)තිපත්තිමය විදියට ධර්මය පිළිපදිනවානම් මන් මේ කියන දේ තේරෙනවා ඇති. හොඳයි කොහොමද අපිට එයා බාධා කරන්නනේ?
අපි භාවනා කරන්න හදද්දි මොනම ආකාරයකින් හරි අඩුම තරමේ රේඩියෝ එකක ශබ්දය හරි ඒ හාවනාවට බාධාවක් වෙන්න පුළුවන් ආකාරයට කවුරු හරි මාර්ගයෙන් වැඩි කරවන්න මේ මාරයා කටයුතු කරනවා. භාවනා අරමුණු තියාගන්න බැරි වෙන ආකාරයට ලෙඩ දුක් කරදර ඇති කරනවා. මේ වගේ නොයෙක් ආකාරයෙන් අපිට මේ පාපී මාරයා බාධා කරනවා.
ඇයි අපිට මේ විදියට පාපී මාරයා බාධා කරන්නේ?
පැහැදිලිවම බුදුන් එක්ක තියෙන වෛරය නිසායි. බුද්ධ කාලේදී ම ඒ වෛරය නිසා ශාක්‍ය වංශයම විනාශ වෙන්න වැඩ සලස්සපු මාරයා ඒ විනාශය කරන්න යොදාගත්ත විඩූඩහ කුමාරයාවත් තමන්ගේ වසඟයට ගත්තා. බලන්න කෝසල, බිම්බිසාර, අජාසත්තු වගේ රජවරුන්ගේ ජීවිතය අවසන් වෙච්ච හැටි. අපි ධර්මය පිලිපැද්දොත් මාරයාට අපි යටත් නොවීම මේ හැම දේකටම මුල විදියට දකින්න පුළුවන්. බුදුන් එක්ක ඇති තරහා තමයි අපිට ඒ ධර්ම මාර්ගය ලබා දීම. එයාට ඕනේ අපි දිගින් දිගටම මේ සංසාරේ ඉපිද ඉපිද මැරි මැරි යනවා දකින්න. ඒත් බුද්ධ ධර්මය මගින් අපි සසර ගමන නවත්වලා නිර්වාණය අවබෝධ කර ගන්න එක එයාට දරාගන්න බෑ. ඒකයි එයා අපිට මේ විදියට බාධා කරන්නේ.
ඉතින් යාළුවනේ, හිතන්න දස බිම්බර මාර සේනාවත් එක්ක එකතු වෙලා බුදුන් සමග මාරයා කල සටනෙන් මාරයා පැරදුනා. බුදුරජාණන් වහන්සේ ජය ගත්තා. ඒ බුදුන් වහන්සේගේ කථාව. ඒ කථාව ආදර්ශයක් කර ගත්තු බොහෝ අයත් පාපී මාරයා එක්ක කල සටනෙන් ජය ගත්තා. ඒක ඒ අයගේ කථාව. අද මේ පාපී මාරයා තමන්ගේ දස බිම්බර මාර සේනාවත් එක්ක අපිත් එක්කත් සටන් කරනවා. අපේ කථාවෙදි කවුරු ජය ගනීවිද ?
