පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ. වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ. ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ.
කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක් වන බැවින් අක්මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්රිය වන බැවිනි. නමුත් පැරසිටමෝල් අක්මාව තුල වියෝජනයට ලක්වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස් මගින් අක්මාවේ සෛල විනාශ කරනු ලැබේ. මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක් වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක් ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය.
හිසරදයකදී, ඇඟපත වේදනාවකදී වෛද්‍ය උපදෙස් නැතිවත් පැරසිටමෝල් පෙති දෙකක් ගිල දැමීමට කවුරුත් පුරුදුව සිටිති. පැරසිටමෝල් පෙති භාවිත කළ යුත්තේ පැය හයකට එක් වරක් වුවත් කාර්ය බහුලකම නිසා ඉක්මනින් සහනයක් ලබාගැනීමට පැය හයක් ගතවීමට කලින් තවත් පැරසිටමෝල් පෙති 2 ක් ගැනීමට පෙළඹෙන අය නැතුවා නොවේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පවසන්නේ පැරසිටමෝල් විෂවීම නමැති භයානක තත්ත්වයට මේ සුළු කාරණය වුව හේතුවක් විය හැකි බවය.
මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ පැරසිටමෝල් ඖෂධ නියමිත ප්‍රමාණයට වඩා භාවිත කර ඒ නිසා රෝගී වන්නන් රෝහලට පැමිණෙන විට ප්‍රතිකාර කර ඔවුන් සුවපත් කිරීමට ඇති ඉඩකඩ අඩුවීමයි. පැරසිටමෝල් නියමිත ප්‍රමාණයට වඩා භාවිත කිරීම නිසා හානිවන අක්මාව සුවපත් කිරීම දුෂ්කර කාර්යයක් වීම එයට හේතුවයි.
මෙයට වසර දහයකට පහළොවකට පමණ පෙර ඖෂධ වීෂවීම නිසා රෝගී වන්නන් අතර පැරසිටමෝල් අධි භාවිතය පැවතුණේ පහළ මට්ටමකිනි. නමුත් අද ඖෂධ විෂවීම නිසා වසරකට රෝහල්ගත වන්නන් ගෙන් සියයට හැත්තෑඅටක් පැරසිටමෝල් පමණ ඉක්මවා ගෙන රෝගී වූවෝ වෙති.
වර්තමානයේ දක්නට ලැබෙන මෙහි ඇති විශේෂත්වය නම් පැරසිටමෝල් අධි භාවිතය නිසා බොහෝ විට මියයන්නේ වුවමනාවෙන්ම ජීවිතය නැති කර ගැනීමට පැරසිටමෝල් අහුරු අහුරු ගිල දමන අය නොවේ. නොදැනුවත්කමින් පැරසිටමෝල් වැඩිපුර භාවිත කොට තම අක්මාවට හානි සිදුකර ගන්නන්ය. එයට හේතුව නොදැනුවත්කමින් පැරසිටමෝල් වැඩිපුර බී අසනීපව රෝහලට එන විටත් ඔවුන්ගේ අක්මාවට හානි සිදු වී අවසන් වීම නිසාය. පැරසිටමෝල් පමණ ඉක්මවා ගැනීමෙන් රෝගී වීම ක්ෂණිකව ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයක් වන්නේද මේ නිසාය. එහිදී ප්‍රතිකාර ලෙස සිදුකළ හැක්කේ පැරසිටමෝල් නිසා අක්මාවට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රියා කිරීම මිස හානි වූ අක්මාව පිළිසකර කිරීම නොවේ. හානි වූ අක්මාව ඖෂධ මගින් යළි පිළිසකර කළ නොහැකිය.
අපේ රටේ පැරසිටමෝල් ඉතාමත් පහසුවෙන් මිලදී ගත හැකි ඖෂධයක් වීම, මෙම ඖෂධය වැඩිපුර ලබගෙන රෝගී වන්නන්ගේ ප්‍රතිශතය ඉහළ යැමට එක් හේතුවක් බව කොළඹ මහ රෝහලේ විෂ තොරතුරු ඒකකයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසයි.
මෙයට දශකයකට පමණ පෙර පැරසිටමෝල් අධි භාවිතයෙන් රෝගී වන්නන් බහුලව සිටියේ ලෝකයේ දියුණු රටවලය. නමුත් අද එම රටවල් එය සාර්ථක ලෙස පාලනය කර තිබේ. වෛද්‍ය නිර්දේශ මත පමණක් පැරසිටමෝල් නිකුත් කිරීම, පෙති දහයකට වඩා එකවර ලබාගත නොහැකිවීම වැනි මෙම ඖෂධයට යම් යම් සීමාවන් පැනවීම තුළින් පැරසිටමෝල් පමණට වඩා භාවිත කිරීම සාර්ථක ලෙස සීමා කිරීමට එම රටවලට හැකි වී තිබේ.
අපේ රටේ ඩෙංගු වසංගත තත්ත්වයක් දිගින් දිගටම පැවතීමත්, පැරසිටමෝල් වැඩිපුර භාවිත වීමට එක් හේතුවකි. වෛරස් රෝග සඳහා වැඩිපුර පැරසිටමෝල් භාවිත කිරීම නිසා දරුවන් සහ වැඩිහිටියන් මරණයට පත් වූ අවස්ථා ද වාර්තා වී ඇත.
ඔබට උණ වැළඳුණු බොහෝ අවස්ථාවල වෛද්‍යවරයා පැරසිටමෝල් අඩංගු ඖෂධ ඔබට ලබාදෙයි. ඇතැම් විට ඔබ ඒ බව නොදැන වෛද්‍යවරයා දුන් ඖෂධත් සමග වෙළෙඳපොළේ ජනප්‍රිය නම්වලින් ඇති පැරසිටමෝල් වර්ගයේ ඖෂධ ලබාගැනීමට පෙළඹේ. ඉක්මනින් උණ හෝ ඇඟපත වේදනාව සුවකර ගැනීමට ඔබ තුළ ඇති මේ හදිස්සිය ඇතැම් විට ඔබට මාරාන්තික වන්නට පුළුවන. ඒ වෛද්‍යවරයා ලබාදුන් පැරසිටමෝල් සහ ඔබ හිතුමනාපයට ගත් පැරසිටමෝල් නිසා ඔබේ අක්මාවට හානි පැමිණිය හැකි නිසාය.
පැරසිටමෝල් යමෙකුට ලබාදිය යුතු මාත්‍රාව තීරණය කළ යුත්තේ ඔහුගේ වයස අනුව නොව බර අනුවය. මෙය අපේ රටේ ඇතැම් වෛද්‍යවරු පවා නිසි අයුරින් ක්‍රියාත්මක නොකරන නිසා නියමිත ප්‍රමාණයට වඩා පැරසිටමෝල් ගැනීමට රෝගීන්ට සිදුවන අවස්ථා ඇත. කිලෝග්‍රෑම් 20 ක් බරැති දරුවකුට වරකට එනම් පැය 6 කට වරක් ලබාදිය යුතු පැරසිටමෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 10-15 අතර ප්‍රමාණයක් බව වෛද්‍ය මතයයි. කවර හේතුවක් නිසා හෝ නැවත පැය හයකට පෙර පැරසිටමෝල් ලබා නොදිය යුතුය.
නොයෙක් වර්ණ ගැන්වූ පැරසිටමෝල් දියර වර්ගද අද වෙළෙඳපොළේ ඇති නිසා කුඩා දරුවන් සම්බන්ධයෙන් මෙය විශේෂ අවධානය යොමුකළ යුතු කාරණයකි. ඔබ ලබාගන්නා හෝ ඔබ ඔබේ දරුවන්ට ලබාදෙන ඖෂධ පිළිබඳ යම් තරමක් හෝ දැනුවත් වී සිටීම ඖෂධ විෂ වීමෙන් සිදුවන හානි වළක්වා ගැනීමට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. එයට හේතුව ඕනෑම ඖෂධයක් පමණට වඩා ලබා ගැනීම නිසා එම ඖෂධය ශරීරය තුළ විෂක් ලෙස ක්‍රියාත්මක වන බැවිනි.
ඖෂධ නිසා ඇතිවන විෂවීම් ඇතුළු සියලුම විෂවීම් පිළිබඳ මහජනතාවට මෙන්ම වෛද්‍යවරුන්ටත් අවශ්‍ය තොරතුරු සන්නිවේදනය කරන්නේ කොළඹ මහ රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයයි. අද ජාතික අවශ්‍යතාවක් බවට පත්ව ඇති මේ ව්‍යායාමයේ එහි වත්මන් අධ්යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය නියෑළෙන්නේ විවිධ දුෂ්කරතා මධ්‍යයේය. සියලු ආකාරයේ විෂවීම් සඳහා සිදුකළ හැකි ප්‍රතිකාර පිළිබඳ අපරදිග මෙන්ම පෙරදිග දැනුම එක්රැස් කර තබාගත හැකි පුස්තකාලයක් පිහිටුවීමේ ජාතික කර්තව්‍යයකට ද එම මධ්‍යස්ථානය දැන් සූදානම් වෙයි. එම මධ්‍යස්ථානයේ 0112686143 දුරකථනය ඇමතීමෙන් ඖෂධ විෂවීම් ඇතුළු සියලු විෂවීම් පිළිබඳ ඔබේ ගැටලුවලටද විසඳුම් ලබාගැනීමට පුළුවන්.
https://www.thetruth.lk/archives/26500
ධම්මික පැණියේ සාදික්කා වලට බය වෙලා නූල් දාන එවුන්ට මේවා පේන්නේ නැද්ද ?පැනඩෝල් මෙහෙමනම් අනිත් ඒවා ගැන හිතාගන්න පුලුවන්නේ ?
