බුදුදහම සිත මනස විඤ්ඤාණය යන වචන තුනෙන් නිරූපණය කරන, මානසික ක්‍රියාකාරීත්වය කිසි තැනක පදාර්ථයක් ලෙස, ආත්ම වශයෙන් ගත හැකි යමක් ලෙස අර්ථ දක්වා නොමැත. ‘චිත්ත’ යන්න බුදුදහම හඳුනාගනුයේ ප්‍රකෘතියෙන් ප්‍රභාෂ්වර වූවක් ලෙස ය. (පහස්සර මිදං භික්ඛවෙ චිත්තං තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං) මෙය කෙලෙසුන්ගෙන් කිළිටි වනුයේ, ඉන්ද්‍රිය මගින් බාහිර අරමුණු ගැනීම මගිනි. සිත පිළිබඳ ධම්මපදයේ චිත්ත වග්ගයේ සඳහන් වනුයේ, සෙලවෙන්නා වූ, චපල, රැකීමට අපහසු වූ අල්ලා ගැනීමට අපහසු වූ, වහ ඇතිවන හා නැති වන්නා වූ දෙයක් ලෙසයි. (එන්දනං චපලං චිත්තං) මනසේ ක්‍රියාකාරීත්වය විස්තර කිරීමේදී මනස යන වචනය ද යොදා ඇත. මනස, ශරීරස්ථ ඉන්ද්‍රියයක් වශයෙන් හැඳින්වෙන අතර, සියලු ඉන්ද්‍රියන්ට ගෝචරවන අරමුණු ද එය විසින් ග්‍රහණය කරගන්නා බව මහා වේදල්ල සූත්‍රයේ සඳහන් වෙයි. ඉන්ද්‍රියානං මනො පටිසරණා, මනො ච තෙසං විසයං පච්චනු හොති. ම.නි. මහා වේදල්ල සූත්‍රය ) මනසට සෘජුවම ගෝචර වන්නේ ධර්මය යි. ධම්ම යන්නෙන් මෙහි දැක්වෙන්නේ චිත්ත චෛතසිකයි. මනසත්, ධර්මත් ගැටීමෙන් මනෝ විඤ්ඤාණය පහළ වෙයි. මේ සඳහා කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව, මධුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙයි. ඒවා නම්,
1. නොබිඳුණු මනසක් තිබීම (අඣත්තිකො මනෝ, අපරිභින්නෙ හොති)
2. බාහිර ධර්ම පැමිණ තිබීම (බහිර ව ධම්මා ආපාතං ආගච්චන්ති)
3. අවධානය යොමුවීම (තජ්ජො ච සමන්නාහාරෝ හෝති)
‘මනෝ විඤ්ඤාණය’ යන්නෙහි සාමාන්‍ය අදහස මනසින් යම් අරමුණක් දැන හඳුනා ගැනීම යන්නයි. මනසේ මූලික මනසිකාරය හෙවත් මෙනෙහි කිරීම යි. සිදු නුවණින් මෙනෙහි කිරීම, යෝනිසෝමනසිකාරය වන අතර, එයින් තොර වීම අයෝනිසො මනසිකාරය යි. මේ අනුව, මනස යනු යම් හේතු ප්‍රත්‍ය එකතු වීමෙන් ගොඩනැගෙන ක්‍රියාකාරීත්වයකි.