පේමතෝ ජායතී සෝකෝ

hpalpola

Well-known member
  • කටවහරෙට සිංහල බෞද්ධයො නිතර කියන ගාථා පාඨයක් තමයි පේමතෝ ජායතී සෝකෝ කියන්නෙ. මේ ගාථාව ධම්මපදයේ තියෙනවා. හැමෝම වගේ අහලා තියෙනවා. සරල තේරුම තමයි ප්‍රේමය ශෝකය ඇති කරනවා, ප්‍රේමය බය ඇති කරනවා. ප්‍රේමය නැති තැන ශෝකයක් බියක් කොයින් ද කියන එක.

    නිකමට හිතලා බලන්න ඔබේ ජීවිතය ගැන. ඔබටත් කා ගැන හරි නැත්නම් දෙයක් ගැන හරි එක්වතාවක්වත් ප්‍රේමයක් ඇති වෙලා ඇති. සමහරු පණ ඇති දේවල්වලට ප්‍රේම කරනවා. සමහරු පණ නැති දේවල්වලට ප්‍රේම කරනවා. ප්‍රේමය කියන්නෙ හැඟීමක්. මොකක් හෝ හේතුවක් නිසා ඇති වෙන එක්තරා හැඟීමක්. සමහරු කියනවා ප්‍රේමය හුළඟ වගේ කියලා. ඇයි ඒ, විඳින්න පුළුවන් වුනත් අල්ලන්න බැරි නිසා. හැබැයි ප්‍රේමය ලෝකය හැම තැනම තියෙනවා.

    සාමාන්‍ය මිනිස්සු දිහා බලද්දි හොඳින් පේන දෙයක් තමයි ප්‍රේමය ලැබෙද්දි මිනිස්සු සතුටු වෙනවා, හැබැයි නැති වෙද්දි දුක් වෙනවා කියන එක. ඒකට තියෙන ප්‍රධාන හේතුව තමයි හැඟීම්වල තියෙන ස්වාභාවික ස්වභාවය. ඒ කියන්නෙ හැඟීම්වල තියෙන ස්වභාවයම තමයි ඇති වී නැතිවී යාම, ඒ වගේම වෙනස් වෙන ස්වභාවය, ඒ වගේම ඒ ස්වභාවයන් දෙක හේතුවෙන් දුක් සහිත භාවය. නිකමට හිතන්න. ප්‍රේමය නිසා දුකක් දැනිලම නැද්ද කියලා.

    ප්‍රේමයේ තියෙනවා තැවෙන නැත්නම් පිච්චෙන ගතියක්. හැබැයි මේක පියවි ඇහැට පෙන්නෙ නැහැ. ඒකයි කියන්නෙ ආලය අන්ධයි කියලා. පිච්චෙනවා කියන කොටම අපිට තේරෙනවානෙ දුක් සහිත බවක් එතැන තියෙනවා කියලා.

    ඉතින් ප්‍රේමයෙන් ශෝකය, දුක උපදිනවා කියලා දැන ගත්තට අපිට පුළුවන් ද ප්‍රේම නොකර ඉන්න? බැහැ. ඒක ඉච්ඡානුගතව වගේම අනිච්ඡානුගතවත් ඇති වෙනවා. ඇයි එහෙමනම් මේ ඇති වෙන ප්‍රේමය නිසා දුක දැනෙන්නෙ. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අපි ප්‍රේම කරන කෙනා අපිට ප්‍රේම නොකිරීම. තවෙකක් තමයි අපි ප්‍රේම කරන කෙනා අපිට ඕන විදියට නොපැවතීම. තවෙකක් තමයි ප්‍රේම කරන කෙනා අපිටත් ප්‍රේම කලත් දවසක අපේ අකමැත්තෙන් ම අහිමි වෙන එක. තවත් හේතු තියෙනවා. මන් මෙතැන සඳහන් කලේ පහසුවෙන් ම පේන හේතු. මේ හේතු නිසා ඇති වෙන ශෝකය, දුක දරා ගන්න බැරිව පිස්සො වුන මිනිස්සු අපමණයි. සියදිවි නසා ගත්ත මිනිස්සු අපමණයි. ජීවිතය ඇතුලෙ විඳවන මිනිස්සු අපමණයි.

    දැන් මේ කලින් කියපු හේතු දිහා බැලුවම පෙනේවි ඒවා බැඳිලා තියෙන්නෙ ප්‍රේමය කියන හැඟීමට වඩා ඒ ප්‍රේමය ඇති වෙන දේට කියලා. කෙනෙක් ප්‍රේම කරන කෙනා අපිට ප්‍රේම නොකිරීම කියන හේතුව ගන්නකො. දැන් මෙතැනදි දුක දැනෙන්නෙ ප්‍රේමයෙ වරදක් නිසා නෙමෙයි, ඒ ප්‍රේමයට ලක් වෙන කෙනා අකමැති නිසා. හැබැයි අපිට එක සැරේටම මොකක්ද ඔළුවට එන්නෙ? ප්‍රේමයේ අවුලක් කියන එකයි. ඕන කෙනෙක්ට ප්‍රේම කරන්න අපිට පුළුවන් වගේම අපේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරන්නත් කෙනෙක්ට පුළුවන්. එතකොට අවුල තියෙන්නෙ ප්‍රේමයේ නෙමෙයි කියලා තේරෙනවා ඇති.

    එහෙම බැලුවම කොතැනක හරි වරදක් වෙලා තියෙනවා නේද කියලා හිතෙන්නෙ නැද්ද? නිකමට හිතන්නකො මෙහෙම, කෙනෙක් ගැන ප්‍රේමයක් ඇති වෙනවා නමුත් ඒ කෙනා ඒ ගැන දක්වන ප්‍රතිචාරය අපි නොසලකා හරිනවා කියලා. ඒ කියන්නෙ ඒ ට බී ගැන ප්‍රේමයක් ඇති වෙනවා, හැබැයි බී විසින් ඒ ට ප්‍රේම කරනවද නැද්ද කියන එක ගණන් ගන්නෙ නැහැ. ඒ ගැන නොහිතා තමුන්ගේ ප්‍රේමය ඒ පවත්වාගෙන යනවා. මෙහෙම වුනොත් දුකක් ශෝකයක් දැනෙයි ද තවදුරටත්? නැහැ. ⁣ඒකට හේතුව තමයි ප්‍රේමයට ලක්වෙන කෙනාට අපි නොබැඳි ඉන්න නිසා බැඳීමක් ඇති නොවීම. ප්‍රේමය නිසා දුක ඇති වෙන්නෙ ඒ තුළින් ප්‍රේමයට ලක් වෙන කෙනා එක්ක ඇති කර ගන්න බැඳීම හේතුවෙන්. මෙන්න මේ බැඳීම නැත්නම් දුකකුත් නැහැ.

    බුදුරජාණන්වහන්සේ ප්‍රේමය දුක, ශෝකය ඇති කරනවා කියලා පෙන්වලා දුන්නෙ මේ නිසා. උන්වහන්සේ දේශනා කලේ නැහැ ප්‍රේම කරන එක අතාරින්න කියලා. උන්වහන්සේ ඉගැන්නුවේ ඒක දැනගෙන කරන්න කියන එකයි.

    දැන් තියෙනවා ඔයාලට වැඩක් කරන්න. කැමැති නම් උත්සාහ කරලා බලන්න. මේකයි ඒ. ප්‍රේමය නිසා (කුමනාකාරයේ හෝ වේවා) දුකක්, ශෝකයක් ඇති නොවුන කෙනෙක්ගෙ ගෙදරකින් අබ අහුරක් ගන්න පුළුවන් ද බලන්න.