බල්ලා මළ ඇල්ල

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    බල්ලා මළ ඇල්ල - උඩ කරවිට (යතුරුපැදි චාරිකා)


    වනගත සොඳුරිය
    අදත් ඔන්න මම යතුරුපැදි චාරිකා සටහනක් අරගෙන ආවා. ඇත්තටම යතුරුපැදිය තරම් පරිසරය විඳිමින් පරිසරයට සමීපව ගමන් යන්න සුදුසු වෙනත් වාහනයක් නැති තරම්. නමුත් වෙනත් රථයකට සාපේක්ෂව ජීවිත අවදානම ඉහළ වාහනයක් බවත් මතක තියාගෙනම පරෙස්සමෙන් චාරිකා කළ යුතුයි.
    ඉතින් මගේ මෙවර ගමනාන්තය බොහෝ දෙනෙක් අසාවත් නැතුවා නිසැකයි. කොටින්ම මේ දිය ඇල්ල අවට ගම්වාසීන් පවා මේ ගැන එතරම් දැනුවත් නෑ. මේ වනගත අති සුන්දර දියඇල්ල හැඳින්වෙන්නේ 'බල්ලා මළ ඇල්ල' නමින්. පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ උඩකරවිට ගම් ප්‍රදේශයේ...මම මේ චාරිකාව ගියේ 2011 අවුරුද්දේ... මේ සටහන ලියන්න බොහෝ කාලයක් පෙරුම් පුරා ගෙන හ‍ිටියත් ඡායාරූප ටික අස්ථාන ගත වෙලා තිබුණු නිසා වැඩේ කෙරුණෙ නෑ. අන්තිමට යාන්තම් ලක්දසුන් වෙබ් එකට යවපු ට්‍රිප් රිපොර්ට් එකක් ඊමේල් අවුට්බොක්ස් එකේ තිබිල හම්බ වුණා.
    සුපුරුදු පරිදි අනිත් යතුරුපැදි චාරිකා වගේම මේ චාරිකාවත් ගියේ මගේ පාදපරිචාරිකාව එක්කමයි. සාමාන්‍යයෙන් අපි රත්නපුරේ යන්නේ කළුතරින් හැරිලා බණ්ඩාරගම හරහා. නමුත් බයික් එකේ යන නිසා අතුරු පාරවල් ඔස්සේ වඩාත් ගම්බද ප්‍රදේශ හරහා යන්න අපි තීරණය කළා.
    ඒ අනුව හික්කඩුවෙන් ගමන් ආරම්භ කළ අපි කහව, මීටියාගොඩ හරහා ඇල්පිටියට ආවා. ඇල්පිටියෙන් පිටිගලටත් එතැනින් පැලවත්තටත් ආපු අපි පහළ හෙවෙස්ස හරහා බදුරලිය දක්වා දිවෙන මාර්ගයට ප්‍රවිෂ්ට වුණා.
    නිසංසල මංපෙත...
    කළුගල ආරණ්‍ය සේනාසනය ආසන්නයෙන් දිවෙන මේ මාර්ගය අතිශය නිසංසල ඒවගේම සුන්දරත්වයෙන් අනූන එකක්. බයිසිකලයේ රිද්මික නාදය හැරුණාම අවටින් ඇසෙන්නේ කුරුලු කූජනයත් පාර අසලින්ම ගලා හැලෙන දියදහරා වල සිලිසිලියත් පමණයි. ගෙවල් දොරවල් අඩුවෙන් හා ඈතින් පිහිටා තිබුණු මේ මාර්ගයේ වාහනයක් මුණ ගැහුණෙත් ඉඳහිටයි.
    මේ සුන්දරත්වය උපරිමයෙන්ම විඳිමින් ඉතා සෙමින් ධාවනය කළ අපි කුඩා දියදහරක් අසල නැවතී විඩා නිවා ගන්නටත් අමතක කළේ නෑ.
    සීත දියදහරා....
    මෙසේ ගමන් කළ අපි කඹුරාවල හන්දියෙන් කලවාන මාර්ගයට ප්‍රවේශ වුණා. බදුරලිය නගරය ආසන්නයේ මදක් නතරවුණ අපි මගුරු ග‍ං ඉවුරේ හිඳ උදෑසන ආහාරය සප්පායම් වුණා....
    මගුරු ගං ඉවුර....
    උදෑසන ආහාරයෙන් පසු දිගටම ගමන් කළ අපි කලවාන හරහා කරවිට නගරයට පැමිණියා. මෙවිට යාන්තම් පොද වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත් නිසා කරවිට නගරයේ කඩපිලක මදක් රැඳී සිටින්නටත් අපට සිදු වුණා. කෙසේ නමුත් සොබාදම් මාතාව අපට කාරුණිකව සැලකූ නිසා මද වර්ෂාව වැඩි වෙලාවක් පැවතියේ නෑ. මෙදා ගමනේ අපේ මාර්ගෝපදේශකයා වුණේ මගේ කාර්යාල මිතුරෙක්. ඔහු ‍නිවිතිගල ගම්වැසියෙක් වුණත් මේ දිය ඇල්ල ගැන එතරම් අසා තිබුණේ නෑ. ඒ නිසා කරවිට කඩපොළේ උදවියගෙනුත් පාර අසා ගෙන අපි ගමන පිටත් වුණා.
    කරවිට හන්දියෙන් පරණවත්ත පාරට හැරී මීටර් කීපයක් ගම මැදින් යන විට කුඩා පාලමක් හමු වුණා. ඉන් එගොඩ වී කිලෝමීටරයක් පමණ ගමන් කරද්දී ඈත වනාන්තරය අතරින් රිදී ඉරක් සේ මේ සුන්දර දිය දහර පළමුවරට අපේ නෙත ගැටුණා.
    රිදී දිය දහර...(බොහෝ ඈතින්)
    පාර අයිනේ කඩපිලක බයිසිකල් නතර කල අපි ගන කැලෑව මැදින් යාන්තම් මතු වී ‍පෙනුන අඩිපාරක් දිගේ දියඇල්ල සොයා යන ගමන ඇරඹුවා. ගස් ගල් උඩින් පනිමින්, දියපාරවල් වලින් එතෙර වෙමින් ගිය මේ ගමන ඇත්තටම තරමක් දුෂ්කර එකක්.
    මග කටුකයි...
    මග දිගට එල්ලෙන්නට බලා සිටින දහස් සංඛ්‍යාත කූඩැල්ලන් අපේ ගමන වඩාත් දුෂ්කර කළා. නමුත් අවට පරිසරයේ සුන්දරත්වයත්, ළඟ ළඟම ඇහෙන දිය දහරේ හෝ හෝ නාදයත් අපේ වෙහෙස පළවා හැරියා. මගදිගට දක්නට ලැබුණු නොඉඳුල් දියදහරා වල සුන්දර මත්ස්‍ය වර්ග පිරී සිටියා. ඒ අතර බුලත් හපයා, හීත මස්සා, ගල් පාඬියා වැනි බහුතරයක් ආවේණික මත්ස්‍ය වර්ගයන්. රතු වල්ගයක් ඇති සුන්දර මත්ස්‍යයෙක් වන තල් කොස්සා ද මේ දිය දහරා වල දුටු සුවිශේෂ මත්ස්‍යයෙක්.
    දියඇල්ල ආරම්භ වන ස්ථානයට පිවිසීම අපේ අරමුණ වූ නිසා අපි දිය ඇල්ලට වටෙන් ඉහළ නැගීම ආරම්භ කලා. ගල් මුල් වල එල්ලෙමින් යන්නට සිදුවූ ඒ ගමන ඉතාම දුෂ්කර එකක්. කෙසේ නමුත් අතිදුෂ්කර ව්‍යායාමයක් අවසානයේ අපි මේ දිය ඇල්ලේ මුදුනට පිවිසියා.
    ඇල්ල මුදුනේ සිට
    මීටර් 32ක් උස මේ දිය ඇල්ල මුදුනේ සිට අවට බලන විට පහත වනාන්තරය ඉතා සුන්දරව දිස් වෙනවා.
    ඇල්ල මුදුනේ සිට
    මේ අවට තේ වගාවන් රාශියක් දක්නට ලැබෙනවා. මේ වතුයායන් හිමිව සිටි සුදු ජාතිකයාගේ බල්ලා මේ දියඇල්ල මුදුනින් වැටී මිය ගිය නිසා මේ දිය ඇල්ල "බල්ලා මළ ඇල්ල" නම් වූ බව ප්‍රදේශ වාසියෙක් පැවසුවා.
    දිය ඇල්ල මුදුනේ මද වේලාවක් රැඳී සිටි අපි ඉන් අනතුරුව දිය දහරාව ඔස්සේ පහතට බැසීම ආරම්භ කලා. මෙය ඉතා අසීරු මෙන්ම පරෙස්සමෙන් කළ යුතු දෙයක්. මදක් පය වැරදී ගියොත් බල්ලාට වෙච්චි දේම තමයි වෙන්නේ...
    දියඇල්ලේ මැද කොටස
    බල්ලා මළ ඇල්ල - In it's all glory...

    දිය ඇල්ලේ පහළ කොටසට පැමිණ පරිස්සම් ඇති තැනකින් නාගත් අපි බොහෝ සුන්දර මතක හද රඳවා ගෙන ආපසු එන්නට ආවා.
    බොහෝ දෙනාගේ ඇහැට වහංව වනගතව පිහිටා තිබීම නිසා මේ ඇල්ල අවට පරිසරය තවමත් විනාශ වී නැහැ. තවමත් එය එසේම පවතිනවා ඇතැයි මා විශ්වාස මෙන්ම ප්‍රාර්ථනාද කරනවා...

    තවත් යතුරු පැදි චාරිකා සටහන් මෙතැනින්.. http://sobaroo.blogspot.com/2013/01/1.html
     
    Last edited:

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Machan Umba Hikkaduwe nan, Elpitiye thiyena Andahalena Ella ganath thread ekak daapan,
    Ekath me wage lassanayi
    තාම අඩාහැලෙන ඇල්ල බලන්න යන්න බැරිවුණා කියහංකෝ... විළිලැජ්ජාවෙ සංතෝසෙ බැරුවා...
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    අඩෝ කෝ බං ගිය වාහනේ පික් එකක් දාලා නෑනේ
    ප්ලැටිනා 100CC එකක බං ගියේ... මගේ බ්ලොග් එකේ ඇති පින්තූර ටිකක්...
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    බම්ප් කරපු, රෙප් දුන්නු, වචනයකින් හරි ධෛර්යය දුන්නු හැමෝටම පිං. උඹල දෙන ධෛර්යය නිසා තමයි දාහක් වැඩ අතරෙ හරි බ්ලොග් එක ලියන්න ගටක් එන්නේ... :love::love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good Post!!!
    බ්ලොග් එකේ තියෙන ඉතුරු ඒවත් පෝස්ට් කරමු මේකේ. රිපෝර්ට් එක හොඳට ලියලා තියෙනවා. ලක්දසුන් එකට දාන නිසා හොඳට ලියන්න පුළුවන් කම ඇති නේ. එකම අඩුපාඩුව මැප් එකක් නැති එකයි. ඒකත් කරලා දාන්න ඊලඟ සටහනේ ඉඳන්.
    ජය වේවා!
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ප්ලැටිනා 100CC එකක බං ගියේ... මගේ බ්ලොග් එකේ ඇති පින්තූර ටිකක්...

    මටත් ආසාවක් තියෙනවා බං :P
    මේ මාසේ නුවරඑලි යන්න හිතන් ඉන්නේ මංගල බයික් ගමන විදිහට :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පින්තූර ටික නම් මාර ලස්ස්නයි බන්..විස්තරේ නම් හිමින් කියවන්නම් :yes:
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මටත් ආසාවක් තියෙනවා බං :P
    මේ මාසේ නුවරඑලි යන්න හිතන් ඉන්නේ මංගල බයික් ගමන විදිහට :yes:
    පරිස්සමෙන් පැදපං සුදු පුතේ. නුවරඑළි ගමන යද්දී මං දෙපාරක් අනතුරුවලට ලක් වෙන්න ගියා.ගමන ගිහිං ඇවිත් විස්තරේ දාපං අපටත් බලන්න. ජයවේවා
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Good Post!!!
    බ්ලොග් එකේ තියෙන ඉතුරු ඒවත් පෝස්ට් කරමු මේකේ. රිපෝර්ට් එක හොඳට ලියලා තියෙනවා. ලක්දසුන් එකට දාන නිසා හොඳට ලියන්න පුළුවන් කම ඇති නේ. එකම අඩුපාඩුව මැප් එකක් නැති එකයි. ඒකත් කරලා දාන්න ඊලඟ සටහනේ ඉඳන්.
    ජය වේවා!
    අඩුපාඩුවක් පෙන්නලා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා... ඊළඟ ඒවට මැප් එකත් දාන්නම්