කර්මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින් කර්‍මය ඇතිවූයේ කෙසේ ද? මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්‍මය ද?
මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුවත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි. බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකී, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදුකර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.
බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.
“යම්කිසිවකු විසින් ලෝකයත් සත්ත්වයාත් මුලින් මවන ලද්දේ ය” යනු පිළිගත හැකි ද?
“දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේ ය” යන මතය ලෝකයේත් සත්ත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නො දැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇති කර ගත් හැඟීමක් මිස සත්‍යයක් නො වේ. සාදන වඩුවකු නැතිව ඉබේ ම පුටුවක් ඇති නො විය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්ත්වයාත් මවන කෙනකු නැතිව ඉබේ ඇතිවිය නො හැකි ය යි ඔවුහු ගත්හ. ඒ න්‍යායෙහි පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔවුහු දෘශ්‍යමාන නිර්මාපකයකු නො දැක, අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයකු ඔවුන් ගේ සිතින් මවා ගත්හ. ලෝකයත් සත්ත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නො සිතූහ. පුටුව පිළිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නො සිතූහ. ඒ ගැනත් සිතුවා නම්, පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, දේව පරම්පරාවේ මුල නො දැකිය හැකි බවත් පෙනී ඒ වාදය බිඳී යනවා ඇත. තවත් ක්‍රම කීපයකිනුත් නිර්මාණවාදය ඇති වූ බව බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.
බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.
------ Post added on Nov 11, 2021 at 5:32 PM