බුදු දහමයි හොල්මන් අවතාරයි.
බුදු දහම සහ හොල්මන් අවතාර ගැන විවිධාකාර ලිපි පලවී ඇති ආකාරය මා දැක ඇත. ඒ ගොන්නට මගෙනුත් ලිපියක් එකතු කිරීමට මා සිතුවෙමි. කැමැති ඇත්තෝ කියවත්වා.
බුදු දහම වනාහී දෙලොව සැප පිණිස පවතින ධර්මයකි. එය දර්ශනයකි. දර්ශනයේ ස්වභාවය වන්නේ ඒ අනුව ජීවිතය හැඩ ගසා ගතහොත් ප්‍රතිඵල ලැබීමට හැකිවීමයි. මෙනිසා බුද්ධ ධර්මය අකාලික වේ.
හොල්මන් අවතාර ගැන කතා කරන්නේ ඒ අදහසින් නොවේ. හොල්මන් අවතාර නම ඇසූ පමණින් බිය වන්නෝ සිටිති. බියෙහි නොව බිය වන ආකාරයක් ලෙසින් හොල්මන් අවතාර හැඳින්විය හැක. ශිෂ්ට සම්පන්න වූ නොවූ ඕනෑම සමාජයක මේ හොල්මන් අවතාර දැකිය හැකි අතර හඳුන්වන නමේ පමණක් වෙනසක් ඇත. මෙනිසා හොල්මන් අවතාර පන්වන ඇත්තෝ නැත්නම් ඇදුරෝ, යකැදුරෝ ලොව පුරාම විවිධ නම් වලින් පෙනී සිටිති. ලංකාවේ නම් කට්ටිඩියා, ඇදුරා, යකැදුරා ආදී ලෙසින් මොවුන් හඳුන්වයි.
ඔබ මාධ්‍යය/සාහිත්‍යය පිළිබඳව සමීක්ෂණයක් කලහොත් දහමට වඩා කතා කරන්නේ මේ හොල්මන් අවතාර ගැන බව අනාවරණය වනු ඇත. එක් අතකට මේ අද වන විට හොඳ කණ්ට ශාස්ත්රයකි. යහමින් මුදල් ගැරීමට එය යොදා ගනී.
අද මේ හොල්මන් අවතාර සමඟ බුදු දහම සම්බන්ධ වන්නේ ඒවා පැන්නීමට යොදා ගන්නා ශාස්ත්රයේ කොටසක් වීම මගිනි. සංඝ සමාජය තුළ පවා අද වන විට යකැදුරන් සිටී. නමුත් ගුප්ත විද්‍යා වැඩ කටයුතු භික්ෂූන්වහන්සේලාට ගැලපෙන්නේ නැත.
බුදු දහමට අනුව සත්ව කොට්ඨාස විශාල ප්‍රමාණයක් වේ. එයින් පියවි ඇසට පෙනෙන්නේ කීප දෙනකු පමණි. ඇඟේ සිටන් ඉහ කන උකුණා පවා අපට පෙනෙන්නේ යම් මහන්සියක් දැරූ විට ය. පියවි ඇසට නොපෙනෙන සත්ව කොට්ඨාස විශාල ගණනකි. ඇසට පේන අයට වඩා ඒ ප්‍රමාණය වැඩිය.
බුදු දහම තුළ මාර පරාජය ගැන සඳහන් වේ. මාරයා තම සේනාව සමඟින් බෝසතාණන් හමුවට පැමිණ උන්වහන්සේව බිය ගැන්වූවත් ඵලක් නොවිනි. හොල්මන් අවතාර මනුස්සයාව බිය ගන්වනවා පමණක් නොව ඇඟට ඇතුල් වී නොයෙක් නොමනා කටයුතු ද සිදු කරයි. ත්‍රිපිටකයේ සඳහන් මාරතජ්ජනීය සූත්‍රයේදී මුගලන් මහරහතන්වහන්සේගේ ඇඟට රිංගා ගත් මාරයා ගැන සඳහන් වේ. එහි එසේම දුසී නම් මාරයා ඒ ආකාරයට කෙනෙකුගේ ඇඟට රිංගා සිදු කළ ක්‍රියාවන් සඳහන් වේ.
මෙයින් සනාථ වන දෙය නම් අපට නොපෙනෙන සත්වයින්ට අප තුළට ඇතුල්ව අපව පාලනය කල හැකි බවයි. ආටානාටිය සූත්‍රයේදී ද ඊට කරුණු දක්වා තිබේ.
තවදුරටත් බුදු දහමේ දී සියල්ලන්ගේ ම ඇසට නොපෙනෙන නමුත් යම් අයට පෙනෙන සත්ව කොට්ඨාස ගැනද දක්වා ඇත. සමහරක් දෙවියන් පෙනෙන්නේ ආලෝක පුංජයක් ලෙසින් පමණි. නමුත් බුදුරජාණන්වහන්සේට රහතන්වහන්සේලාට ඔවුන්ව හොඳින් පෙනේ. ඒ අනුව සනාථ වන්නේ සැමට නොපෙනෙන නමුත් යම් අයට පෙනෙන සත්ව කොට්ඨාස ද ඇති බවයි.
ඒවා හබ කළ හැකි කරුණු නොවේ. විද්‍යාව ඉදිරියට යද්දී මේ දේවල් "බොරු" "පුහු මනස්ගාත" බවට පත්වූව ද හැම සත්වයෙක් ම විද්‍යාවෙන් දැකීමට නොහැක.
මෙනිසා හොල්මන් අවතාර ගැන කතා කිරීමේ දී බුදු දහම ද සම්බන්ධ කරගන්නේනම් විචක්ෂණශීලීව කටයුතු කළ යුතු ය.
