බුවාලන්තයේ සිට

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    සුපිරි තරු පෙනි පෙනී බුවා අක්කට උණ ගැනී

    buwalanthaya.jpg


    දිනක් හවස් වරුවක බුවා අයියා මහත් කලබලයෙන් මා සොයා කාමරයට කඩාගෙන ආවේය.

    ”මල්ලි.. මල්ලි.. මාර වැඩේ.. අපි ඉවරයි..”

    අයියාගේ ඇස් බේස් ඩ්‍රම් සයිස් ය. නළලින් දාඩිය බිංදු බිංදු ලීක්වෙයි.

    අ..ඇයි.. අයියෙ.. මොකක්ද.. වෙලා තියෙන්නෙ..”

    ”අක්කට උණ. මල්ලි.. අක්කට උණ..”

    ”මළකෙළියයි. ඩෙංගිද .. බරවාද.. මැලේරියාද.. නැත්තං අර.. ඌරු..”

    ”නෑ.. නෑ.. එහෙම ..එකක් නෙමෙයි.. එහෙම එකක් නං ඔය..ප්‍රයිවෙට් හොස්පිටිතාලෙක ගිනිකාලා.. ඩොට්ටස් ලා චැලේන්ජ් කරලා සනිපකරගන්ඩ බැරියැ.. මේක එහෙම ලේසියෙං බහින උණක් නෙමේ... මේ අර.. ස්ටාර් පීවර් එක.. මල්ලි.. තරු උණ.. තරු උණ..

    ”මො.. මො.. මොනා.. තරු උණ.. අපේ රටවලනං අහන්නවත් නෑ..බුවාලන්තෙත් මාර කොමිටෙල් උණ ජාතිනෙ යැ තියෙන්නෙ..”

    ”මේක මල්ලි දැං.. රට පුරාම තියෙනවා.. TV එකෙං තමයි බෝවෙන්නේ... වර්ග ගණනාවක්ම තියනවානේ. ඔය... ගයන තරු, රඟන තරු, නටන තරු, හිනා තරු, පෙම් තරු, ඉතුරු කරන තරු, වියදං කරන තරු,

    ඇති..ඇති.. අයියෙ.. අහසෙ තරුවලටත් වඩා ලන්තෙ තරු තියෙනවනෙ.. දැං.. මොකක්ද ඔය අක්කාට වැළඳිලා තියෙන තරු උණය..?

    ”ලේසිපාසු එකක් නෙමේ මල්ලි.. ගයන තරු උණ..” අයියාගේ මූණ ඇණේ ඇනුණු රීබිල් ටයර් එකක් වගේය.

    ”දැං ඕක හැදුණාම මොකෝ වෙන්නෙ..”

    ”මොනාද ඉතිං.. සිංදුම කියන්න හිතෙනවා.. කියලා.. කියලා.. අන්තිමේ .. එක්කං යන්න වෙනවා...

    ”ඉස්පිරිතාලෙකට..?”

    ”නෑ..නෑ.. ඔය.. ටී.වී. රියැලිටි .. සායනයකට.. ඔය.. රියැලිටි ක්ලිනික් වට දෙකතුනක තැන් තැන්වල චාටර් වෙනකොටත් නිකංම වගේ උණ බැහැලා යනවා..අවසන් සීයට ආවොත් නං සන්නිපාත තත්ත්වයට වැඩේ බැරෑරුම් වෙනවා..

    ”එතකොට බෙහෙත්වලට බර ගාණක් යයිනෙ..”

    ”නෑ..නෑ.. ඕකට තියෙන එකම බේත එස්.එම්.එස්... කියලා එකක්.. ඒකට නං බර ගාණක් කෙළවෙනවා. සමහරවිට තදේටම නැගලා ගියොත් ඉඩකඩං රත්තරං බඩු ටිකටත් සුවිප් එක ඇදෙන්ඩ ඉඩ තියෙනවා... නැත්තං ... අන්තිම..

    අයියාට කතාව ඉවර කරන්නට ඉඩ නොලැබුණේ නිදන කාමරය පැත්තේ් ජනේලය අයිනෙං ඇසුණ හඬක් නිසාය.

    ”අයියෙ.. පූසෝ.. පොරකනවා.. නේද ඇහෙන්නෙ .. ඊයෙ රෑත් නිදාගන්ඩ නෑ.. ඉන්ඩ මං එකෙක්ගෙ කසේරුකාව බ්ලාස් කරලා එන්ඩ..

    ”නෑ.. නෑ. මල්ලි .. නෑ.. ය..යන්ඩ එපා.. ඒ පැත්තට.. ඔය ඇහෙන්නෙ.. අක්කා ..වොයිස් පැස්ටිස් කරනවා..

    ”මළකෙළියයි.. කඩාගෙන ගිහිං.. ෂෝ.. ෂෝ.. ගාලා කෑගැහුවානං අක්කාගෙං ඉල්ලන් කනවා...

    ”අ.. අයියා ඔය නැගිට්ටෙ .. කලබලෙං කොහෙ යන්නද.. පොඩ්ඩක් ඔළුව දාලා බලමුද.. ප්‍රැක්ටිස් පාර..”

    ”මල්ලි.. ගිහිං.. බලාගන්ඩ.. මං.. යනවා..ඉස්සරහ ගේට්ටුව පැත්තට.. අහල පහළ කස්ටියට පේන්න ඉන්න ඕනෑ මේ.. වෙලාවට..”

    ”ඒ.. ඒ මොකෝ.. අයියෙ. ඒ..”

    ”නැත්නං.. ඔය සද්දෙට..උන් හිතනවා .. මං මේ ගෑනිගෙ බෙල්ල මිරිකනවා කියලා.. නිකං හරි පොලිසියට ගින්න දුන්නොත්.. දවස් දෙක තුනකට කූඩුවෙ පරිප්පුව අදින්නයි වෙන්නෙ...”

    අයියා මිදුල දෙසට දුවගියෙන්.. මම.. අක්කා සිටින කාමරය පැත්තට ගියෙමි.

    දොර රෙද්ද ඈත් කළ සැණින් සැර හඳුන්කූරු දුමාරයක් මුහුණට වැදුණි.

    හඳුන්කූරු දුම අතරින් දුටුවේ අක්කා බිම පැදුරක් මත හිඳගෙන ගීත පොත් වටකරගෙන සිටින අයුරුය.

    ඉදිරියේ සරස්වතී දේවිය ගේ පින්තූරයකි.

    ඒ ඉදිරිපිට තසිමක තැබූ පේර ගෙඩියක් හා අඹ ගෙඩි දෙකකි. පසෙකින් පහනක් ද දැල්වෙයි. අක්කා ඉඳගන්නට සන් කළෙන් මම ද පැදුරේ කොනකින් ඉඳගතිමි.

    පසෙක තසිමක ඉඟුරු, සූකිරි, වැල්මී.. කැබැලි කීපයකි. වැල්මී කෑල්ලක් හැපූ අක්කා මධුර ස්වරය අවදි කළාය.

    ...හා..හා..හ..ම්..හම්මේ..ඒ..එ... මා...ආ...ආ.. මා...නී...සා.. මානිසා... සා.. සාරී..රී..සාරි.. පා..ග .. පාග.... ආ.... මී.. ඊ..ඊ...ඊ..ඊ...ඊඊ..

    අක්කාගේ හීන් උච්ච සුවරයට පෙර කන වසාගන්ඩ හිතුවත් බැණුම් අසාගන්නට වෙන හෙයින් අතක් එසවිය නොහැක. වාසනාවට කං අගුල් වැටී ගියේය. දැං කිසිවකුත් පැහැදිලිව නෑසේ.. අක්කා.. තවත් දුරට ගායනා කළද මට හරිහැටි ඇසුණේ නැත.

    ”ඔන්න.. බලන්න.. මල්ලි.. ට.. ගීත රසඥතාවෙ තියෙනවා... සමවැදිලා වගේ අහගෙන හිටියනෙ.. බලන්න.. අපේ මනුස්සයට.. එක තප්පරයක් මගේ සිඟින් අහන් ඉන්න බැරි හැටි...

    ඔන්න.. මල්ලි.. පුල් සපෝට් එක ඕනෑ.. මේ පාර මං.. ස්ටාර් සිඟින් රේස් එකේ... අන්තිම දොළොස්දෙනා අතරට එනවා.. සුවර් .. ම සුවර්...

    බලන්න මල්ලි.. මියුසික් මුකුත් නැතුව අමුවට සින් කරන්න අමාරුයි... අපේ බාප්පලාගේ ගෙදර තිබුණා පරණ පුට්බැලෝ සර්පිනාවක්... මං හිතං ඉන්නෙ හෙට වැඩ ඇරිලා එනිං ගමන් ඒකත් අරං එන්න...

    මම වහා නැගිට ඒ සුබ ආරංචිය කියන්නට අයියා සොයා ගියෙමි. අයියා පේන්න නැත. ඈතින් අක්කාගේ සද්ද පුහුණුව ඇසේ.

    ”ගුම්.. ගුම්.. හ.. රා.. ර.. රාර... රා... ආ.. ගුම්... ඉස්සරහා ගෙදර ඇන්ටිගේ හඬ ගෙතුළින් ඇසුණි.

    ”දුවේ ... රෙදි ටික ගන්ඩ... ගොරවගෙන එනවා.. ඇහෙන් නැද්ද... මං යනවා.. දර ටික ගෙට ගන්ඩ..”

    බුවියක් දොර ඇරගෙන එළියට එනු පෙණුනෙන් මම වහා පඳුරකට මුවා වුණෙමි.

    ”අම්මට... පිස්සු... වැහි කළුවක් පේනතෙක් මානෙක නෑ.. මේ අගේට පායලා තියෙන්නෙ...

    ගොරෝනවා වගේ ඇහෙන්නෙ.. බුවාරත්න අංකල්ලාගේ ගෙවල් පැත්තෙං.... මං හිතන්නෙ ළිඳ ඉහින්න මෝටරයක් ගෙනැත් වෙන්නැති..

    මම වහාම වට පිට බැලුවේ අක්කා ළඟ පාතක ද කියාය. මේ අසල්වැසි විනිශ්චය ඇහුණා නම් ගාසා තීරයට මිසයිල් ගැහුවා වගේ වෙන එක සිකුරුය. අක්කා නොව මගේ දසුනට හසුවූයේ ලණු පොටකින් බලු දණ්ඩකු ගැට ගසාගෙන එන බුවා අයියාය.

    සදහටම බල්ලන් ඇලජික් අයියා බල්ලකු ගෙන ඒම අදහා ගත නොහැකි මම ඒ ගැන විමසුවෙමි.

    ”නෑ.. මල්ලි.. අහල පහළ උන් අහන ප්‍රශ්නවලිං ගැළවෙන්නත් එපායැ.. අක්කා උච්ච සුවර ප්‍රැක්ටිස් කරන වෙලාවට මුගෙ පිටින්දාලා බේරුණැහැකි. කියන විටම අක්කාගේ සුවර හඬ නැඟිණි.

    ”ස.. ස... ස... රි.. රි.... රි.. රි.. රි.. රි...”

    හඬ කන වැකුණු සැණින් අයියා ගෙනා බලුදණ්ඩා ද පෝම් විය. ඌට හිතුණේ තම බජාර් එකේ එකෙක් ගෙන් ලැබුණු සිග්නල් එකක් කියාය. හොම්බ උඩට හරවාගෙන රිප්ලයි එක දෙන්නට සෙට් විය.

    av0908162.jpg



    ”ඕ.. ඔඕ.. ඕ.. වු.. වු.. වු.. ඌ.. ඌ..”

    උතුරා ගලන කෝපයෙන් යුතු අක්කාගේ රුව සැනෙකින් ඉදිරි දොරෙන් මතුවිය.

    ”හනේ... ඇත්තටම.. කනගාව බල්ලෙක් උඩුබුරනවා.. කං පොට්ටවෙලාද.. ඇහෙන් නැද්ද මනුස්සයො..

    ”මල්ලි ගහන්ඩකො ඕකට ගලකිං.. ඉඳා කො.. කවුද මේ ලණුවකින් ගැටගහලා කණුවෙත් බැඳලා...”

    ”නෑ.. මේ.. මේ. . මං.. මේ.. ආරස්සාවට ..කියලා ගෙනාවේ.

    ”මේ.. ඇහුණද... බල්ලො.. නෙමෙයි.. තරගෙට මාත් එක්ක යන්න වෙන්නෙ.. ඔයාට... ඒකට පිළිවෙළක් වෙන්න..

    ”ඔව්.. ඉතිං.. මාත් දයාබර සැමියා විදිහට .. දුක විඳගෙන චාටරේ කන්න එපායැ..” අයියා ඇඬියාවක් දැම්මේය.

    ”මේ.. මේ... ඔයා එහෙම එතනදි සැමියා කියලා නිකමටවත් කටහොල්ලන්නෙ නෑ.. තේරුණාද?”

    ”හෑ.. ඒ.. මොකද..

    ”මං බැඳලා බව රසිකයෝ දැන ගත්තාම මට එස්.එම්.එස් අඩුවෙනවා.. ඔයා අයියා විදිහට එන්න..”

    ”අයියා නෙමෙයි... බාප්පා... මහප්පා හැටියට හරි.. දෙන්නං කො රියල් ඇක්ටිං පාරක් ඔය TV ප්‍රොඩක්සන් ගැන්සියම කොරවෙන්න... හැබැයි.. මෙහෙම අමුවෙන්නං බෑ.. ළඟ තියෙන පොට් එකකට ගිහිං පිළිවෙළක් වෙලා...

    ”මේ.. මේ... එහෙම පිළිවෙළක් නෙමේ.. ඔය කොන්ඩෙ රැවුල් කපලා.. බඩ වැහෙන්ඩ ටී සර්ට් එකක් වත් දාලා ඩෙනිම් පලුවකට බැහැලා.. ඩෙක් සූස් දාලා පිළිවෙළක් වෙනවා මල්ලිත් ඔන්න ලස්සනට මොඩ් වෙලා එන්න ඕනෑ..

    ”අපි එළට පිළිවෙළක් වුණාම ඔයා අපේ අක්කා වගේ හිටීද දන්නෑ...” අයියා මවුත්බ්‍රේක් කතාවක් ඇදබෑවේය.

    ”හහ්.. ඒවා කොහෙද.. මං තාම පටන් ගත්තෙ නෑ.. මං.. බියුටි සැලොන් එකක් එක්ක කතා කරගෙනයි තියෙන්නෙ..... හෙයා කට්.. පේස්කට්.. බොඩිකට් ඔක්කොම චේන්ජ් කරලා. හිප් හැඩ කරලා ස්කින්, ලිප් නේල් පේන්ට් කරලා ස්ටාර් ලුක් එකක් ගන්න.. මේ.. තියෙන්නෙ ස්ටාර් බියුටි පැකේජ් එක...

    අක්කා දිග කඩදාසි පටියක් අයියා අතට දුන්නාය. මම ද ඊට ඇස් ගැසුවෙමි. අයියා කියවාගෙන යයි.

    කොණ්ඩය සැකසීම – ඩයි කිරීම, ටින්ට් කිරීම, හයිලයිට් කිරීම, ෂැම්පු කන්ඩිෂනර් කිරීම ඇහි බැම හැදීම, ත්‍රෙඩිං කිරීම, ෆර්ම් කිරීම, ස්ට්‍රේට් කිරීම, රිලැක්සින්, රිබොන්ඩින්, ස්මුතින්, ඔයිල් මසාජ්, ස්කින් ප්‍රින්ටිං, නිය පේන්ටින්, අනවශ්‍ය රෝම ඉවත් කිරීම් අවශ්‍ය රෝම සිටුවීම, ඉන්නන්, සුදු ලප කළු ලප ඉවත් කිරීම, කුරුලෑ මට්ට්ම් කිරීම, ඉන අඩු කිරීම, කකුල් ඇද ඇරීම, ඇස්වලට පාට වීදුරු දැමීම, සිනා පුහුණු කිරීම සහ පූස් ගමන ඉංග්‍රිසි වචන යොදමින් රුවිතොට වදන් තෙපලීම ආදී සියලුම ස්ටාර් බියුටි අයිටම් සඳහා සහන පැකේජය අසූනවදාස් නවසිය අසූනවයයි.

    ”ම..ම..මල්ලි... මට ඕඩිකොලෙං.. ටිකක් ගේන්න.. නළලට දාන්න...” කියූ අයියා එතැන තිබූ කණුවක් බදාගත්තේය. අක්කා රිසිට් කොළය උදුරාගෙන වේගයෙන් ගෙට ගියාය.

    ඉතිං ඊට පස්සෙ මොනාද වුණේ..?

    බුවී අක්කා ගයන තරුව වෙයිද නොවෙයිද?

    සුපිරි කතාවේ සුපර් කෑල්ල ලබන සතියේ කියවන්න.

    ගයන්න පායන තරුව ගැන ලියමන

    තිස්ස කරුණාසේකර
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    සිඟින් තරුව පැෂන් තරුව වෙයි

    ගිය සතියේ ලියා එව්වේ තරු තරගෙට යන්න කලියෙන් තරු හැඩයක් ‘ස්ටාර් ලුක්’ එකක් ගන්න අක්කාට ඇතිවූ උවමනාව ගැනයි. ඒත් ස්ටාර් බියුටි පැකේජ් බිලේ ගාණ දැක්ක ගමන් අයියා කොරවිය.

    මල්ලි මේක නං ඉඩ කඩං ගෙවල් දොරවල් උකස්වෙන කේස් එකක් බැරිද.... අක්කත් එක්ක සාකච්ඡා වටයක් පවත්තලා මේ බියුටි වියායාමය ටිකක් සේප් කරගන්ඩ...”

    අයියාගේ ඉල්ලීම හමුවේ මම අක්කා හමුවුණෙමි. “මේකයි අක්කෙ වැඩේ. දැං අපේ රටවල නං... මේවගේ් තරගවලදි බලන්නේ හඬ ගැන හැඩ ගැන එච්චරම තකන්නේ නෑ... අපිනං අගය කරන්නේ සොබාවික රුව... නැචුරල් බියුටි එක.

    ”මේ මල්ලි.. ඒ මල්ලිලාගේ නොදියුණු රටවල්.. මේ බුවාලන්තෙ... හඬ විතරක් තිබ්බට මදි. හැඩත් ඕනෑ. නැතුව කොහොමදඊඍ විෂුවල්වලට ඉන්නෙ... විෂුවල් එකේ හැඩට හිටියොත් සමහරවිට ප්‍රොඩියුසර්ලා දැකලා ටෙලිඩ්‍රාමා, ඇඩ්වර්ටීස්මන්වලට, චිත්‍රපටිවලට එහෙමත් ගන්න චාංස් එක තියෙනවා.. ඒවාට ගියාම කොහොමද අත පිරෙන්න.. සල්ලි... ගේ පිරෙන්න තෑගි.. රටපිට ටුවර්...”

    ”දැං ඔය බියුටි කචල් පොට් තියෙන්නෙ එකසිය ගාණට.. ඔයිං .. එකකට ගිහිං.. ටිකක් ලාවට බියුටි ෂේප් එකක් දාගන්න බැරිද...?” අයියා ද හිමීට එතැනට එන්ටර් විය.

    ”ඔය කිව්වෙ... මේ පාර මාර තරගයක් තියෙන්නෙ.. එහෙම ලේසියෙන් කුණු පිරිත්තං කරලා ගොඩයන්ඩ පුළුවන් එකක් නෙමෙයි... මේ බලන්ඩකො මගෙ කොණ්ඩෙ හැටි...

    ”ඇයි අප්පච්චියෙ මක්වෙලාද.. ඔය තියෙන්නෙ කිතුල් රෑන වගේ් දිගට අපූරුවට.. අර මහගෙදරින් අම්මා දීපු නවසි තෙල් බෝතලේ ගෙනැත් ගාන්නද.

    ”නවසි තෙල් ගාගෙන මේවට යන්න බෑ මනුස්සයෝ... මගෙ කොණ්ඩෙ කිසි පිළිවෙළක් නෑ.. එහෙං.. නැමිලා මෙහෙං ඉස්සෙනවා.. එහෙන් කැරකිලා මෙහෙං කැරකිලා... එහෙම නෙමෙයි නිකං කඩා හැලෙන්න තියෙන්න ඕනෑ.. එතකොට තමයි.. කොණ්ඩෙ නිතරම මූණට වැටෙන්නෙ...

    ”මළ වදයක්නෙ කොණ්ඩෙ මූණට වැටෙන එක.. අයියාගේ කතාවට අක්කා දැම්මේ නෝන්ඩි සිනාවකි.

    ”මූණට වැටෙන කොණ්ඩේ අතින් මේම කරලා පිටිපස්සට කර කර කතාකරන එක, සිං කරන එක තමයි දැං ලේටස්ට්... කොහෙද එව්වා දැනගන්ඩ.. ටී.වී. එකේ.. ෆන් ප්‍රෝග්‍රෑම් එකක්වත් බලනවායැ.. ප්‍රොවුර්තියි.. කාලගුණෙයි.. මැචුයි... විතරයි...

    ”හරි එතකොට දැං මොකක්ද කොණ්ඩෙට කරන්නේ...

    ”ස්ට්‍රේට් කරන්න ඕනෑ...ඇයි.. ළමයෝ අහල නැද්ද කොණ්ඩෙ කෙළින් කරන ස්ටයිල් එක ගැන... හපෝ.. ඔයා ගේ බියුටි දැනුම..!”

    ”කොණ්ඩෙ කෙළින් කරන්ඩ.. බලු වලිග ඇද අරිනවා වගේ උණ පුරුකක දානවා වත්ද.. නැත්ත.. ගලක් ගැටගහලා එල්ලං ඉන්නවාද?..

    ”ඒ ඉතිං .. ඔයා වගේ පිස්සො තමයි.. එහෙම නෙමෙයි. කරන්ට් එකෙං.. රත්කරලා.. කරන සිස්ටම්ස් තියෙනවා. බියුටි පාල..ස් ළඟ...

    දැං ඕකට කීයක් විතර කුඩු වෙනවද කියන්ඩ කෝ..

    ”මේ. මේ.. ඔය.. අයිල තැන්වලිං අඩුවට කරලා අගේට තියෙන කෙස්ටික විනාස කරගන්ඩ බෑ.. ටී.වී.එකේ දාන තැනිං.. ම.. තමයි කරගන්න ඕන.. ඕන්නං පහළොවක් විස්සක් යයි.

    ”පහළොවක්.. වි..වි.ස්සක්.. කිරිඅප්පේ... මාසයක් කන සල්ලි..”

    අයියාගේ ඇස් ගෙඩි කොස් ගෙඩි සයිස් විය.

    ”ඒ වගේද... මට පබ්ලිසිටි හම්බ වුණාම.. මං එක ඇඩ් එකකට හිටලා.. ඔය ගාණ මිනිත්තු දෙකෙං හොයන්නෙ..”

    බුවා අයියා පරාජය බාරගෙන කරබාගත් හෙයින් වාදය නිමාවිය.

    හවස් බාගයේ බුවා අයියා රෙදි මදින්නට වූ අතර මම පත්තරේ ගෙන කාමරයට වැදුණෙමි.

    මඳ වේලාවකින් බුවා අයියා කඩාගෙන කාමරේට පාත්විය.

    ”මල්ලි... එළ අයිඩියාවක් ආවා... අක්කගේ බියුටි බිල්ඩිංවලට යන ගාණත් ඉතුරු කරගන්න ක්‍රමයක්.. වැඩේ පිට් වුණොත් මං මහා පරිමාණෙං කරලා මාර ගාණක් හොයනවා...

    ”මොකක්ද.. අයියෙ... ක්‍රමේ...?”

    ”ඉන්ඩකො මල්ලි.. කරලා.. අත්හදාබලලාම පෙන්නන්නංකෝ.... කෝ මල්ලි අක්කා..?”

    ”ආ.. එහා කාමරේ නිදිද කොහෙද..”

    ”නිදි .. ද.. එහෙනං... එළ ටයිම...” කී අයියා ආ ස්පීඩ් එකෙංම ආපසු ගියේය.

    අයියා ගේ යෑම ගැන සැක හිතූ® මම වහාම ඇඳෙන් නැගිට එළියට ආවෙමි.

    රෙදි මදින තැන අයියා නැත. අයන් එකද පේන්න නැත.

    ඒ සමඟම මොනා දෝ පිළිස්සෙන කරගඳක් දැනුණි.

    ”හ..හපෝයි... බුදු අම්මෝ...

    මිනීමරනෝ.. ඕ..

    මහ විලාප හඬක් ද ඒ සමඟම නැඟී ආවෙන් වහා අක්කා නිදා සිටි කාමරය වෙත දිව ගියෙමි.

    av09082316-1.jpg


    අක්කා ඇඳ මත හිඳ දෑතින් කොණ්ඩය බදාගෙන විලාප දෙයි. කරගඳින් සහ පුලුටු දුමින් කාමරය පිරී ඇත.

    තොවිලයට ඇඹූ කිරිබත් බලිය මෙන් අයියා රත්වූ අයන් එක ද අතැතිව හිඳී. මුහුණෙන් ලෙදර් බෝල සයිස් දාඩිය බිංදු බේරෙයි.

    අක්කාගේ කේස කලාපයෙන් බාගයක් වෙන්වී ඇඳමතය.

    ”හපෝ... ඕ... මේ .. මිනිහා.. මගෙ කොණ්ඩෙ කෑවා.... හයියෝ... මං.. විනාසයි... මොකද්ද මනුස්සයෝ මේ කරේ”

    ”ඇ.. ඇයි... ඔයාමනෙ.. කිව්වේ.. කොණ්ඩේ ස්ත්‍රික් කරගන්න ඕනෑ කියලා.. පිටට දා පාළොස්දාහක් නොදී මේකෙන් ස්ත්‍රීක් කරලා කොණ්ඩෙ කෙළිං කරන්නයි හැදුවේ... ෂෙහ්.. කරුමෙ..ටිකක් රත්වුණා වැඩියි. නැත්තං.. වැඩේ එළටම දෙන්න.. තිබුණා සල්ලිත් ඉතු...

    ”බලන්න මල්ලි.. මේ.. ගොං මිනිහා ස්ට්‍රේට් කරන්න හිතලා ස්ත්‍රීක් කරලා මගෙ කොණ්ඩෙ බ්ලාස් කළා.. හයියෝ.. දැං කොහොමද මං... සිඟින් රේස් එකට යන්නෙ...

    ”හෝව්.. පො.. පොඩ්ඩක්.. මේ පැත්ත බලන්ඩ.. අක්කෙ.. ඔය කොණ්ඩෙ පස්සට දාන්ඩ.. ම්.. ම්.. වැඩේ හොඳ අතට වගේ වෙලා තියෙන්නේ.. බලන්ඩකො දැං කණ්ණාඩියෙන් කොණ්ඩෙ ලේයර්ස් කපලා වගේ අක්කට මාර යං ලුක් එකක් ඇවිල්ලා වගේ නේ...

    ”ඒ.. ඒ.. ඒකනෙ .. මල්ලි..මේ..මාත් කි.. කියන්න හැදුවේ.”

    අයියා.. දෙස දත් සපා දයාබර බැලුමක් හෙළූ අක්කා කණ්ණාඩි මේසය ඉදිරිපිට ඉඳගෙන හිස හරවා බලන්නට විය. අයියා මගේ පිටට තට්ටුවක් දමාගෙන හිමින් ඇදී ගියේ ය.

    ”ෂාහ්.. අක්කා දැං.. සිඟින් තරුවට නෙමේ පැෂන් තරුවට නං.. නියමයි..” මම කීවෙමි.

    ”අනේ.. ඇත්තට.. මද .. මල්ලි.. මටත් හිතෙනවා.. මේ කට් එක මගේ පේෂ්කට් එකට මැච් කියලා... බැඳලා අවුරුදු දොළහටම ඔය මනුස්සයාගෙං මට කියලා ඔය හොඳක් වුණාමයි... ඒක නෙමේ මල්ලි.. මොකක්ද අර කීව පැෂන් තරුව...

    ”ආ.. මං.. යංතං දැක්කා... ටවුමේ බැනර්.. කටවුට් වගයක් පැෂන් තරුව මූලික තරගය හෙට හවස ටවුන් හෝල් එකේ කියලා....

    ”අනේ .. මල්ලි.. මටා.ත් මේ අලුත් හෙයා කට් එක ආවට පස්සෙ... නං.. යන්නම හිතෙනවා... අර තරගෙට මහපු ඇඳුමුත් තියෙනවා... ගියොත් නං මට ෂුවර් ප්ලේස්... අර මනුස්සයා නං එයිද දන්නෑ.. මල්ලි..ත් එන්නකො .. හෙට.. මාත් එක්ක යන්න.. මං දැං ගිහින් මේ කොණ්ඩෙ තව ටිකක් ෂේප් කරගෙන එන්නං...”

    දාර වලියක් ගොස් ගිනිවිජ්ජුම්බරයකින් අවසන් වෙන්නට තිබූ දෙයක් එසේ අවසන් වූයේ තවත් තරගයක ඇරඹුමෙනි.

    පසු දින අයියාත් මමත් අමුතු ඇඳුමක් ඇඳි අක්කාත් සමඟ නගරයේ ශාලාව වෙත ගියෙමු.

    අවාසනාවකට අප එහි යන විට තරගය ඉවර වෙන්න කිට්ටුය. එළියේදීම සංවිධායක බුවෙක් අප නවතාලූයේය.

    ”හයියෝ... සොරි... මිස්.. අපි මේ තරගෙට කලින් ගම්වලට ගිහිල්ලා.. ඒ ගැන උනන්දුවක් දැනීමක් ඇති අයව තෝරලා තමයි ලියාපදිංචි කළේ... ඒ අය තමයි අද තරග වැදුණේ..

    ”හරි.. හරි.. කමක්.. නෑ.. අපි කොංදේසි ඔක්කොටම එකඟයි.. මෙයා.. හරිම උනන්දුයි.. ගෙදර හිටියත් මෙයාගෙ වැඩේ පැෂන්ම තමයි.. කොහොම හරි චාංස් එකක් දෙන්න..” අයියාගේ කන්නලව්ව ඇසූ සංවිධායක බුවා.. පෝරං කොළ මිටියක් අපට දුන්නේ..ය.

    ”ටක්ගාලා... රෙඩි වෙලා.... අනික් පැත්තෙන්.. එහෙනං ස්ටේජ් එකට එන්ඩ... මං .. අධ්‍යක්ෂතුමාට කියන්නං.. දැනට ඔය පෝරමේ නමයි අස්සනයි දාලා දෙන්ඩ...

    ”මල්ලි.. බලන්ඩ.. අනික් ඔක්කොම වගේ රෙද්ද හැට්ට නිකං ගවුං කොට ගහලා ගැමි ටයිප්. මට ගේමක් නෑ... අක්කා වේදිකාවට නඟින ගමන් රහසින් කීවේ සතුටින් ඉපිලෙමිනි.

    අයියාත් මමත් සභාවේ විනිසුරුන් පිටුපස ඇති ආසන පේළියක ඉඳගතිමු.

    අක්කාගේ නම කියැවුනෙන් ඇය හැඩ වැඩ දමා පැද්දෙමින් පූස් ගමනින් ඉදිරියට පැමිණ ආචාර කළාය.

    විනිශ්චය මඬුල්ලෙන් ප්‍රශ්න ඇසීම ඇරඹිණි.

    ”දැං ඔබ කොච්චර කල් වෙනවද පටන් අරං..”

    ”ම්.. ම්.. ගොඩා...ක් .. කල්.... මගෙ හිතේ ටූ ඉයස්වල ඉඳලම.. වගේ.. මං.. පැෂන්වලට.. ගොඩාක් ආසයි කියලා මමී කියනවා..

    ”කොච්චර ඉඩම් ප්‍රමාණයක ද ඔබ වගාකරලා තියෙන්නෙ...”

    ඒ පැනයෙන් අක්කා පමණක් නොව අයියාත් මාත් අන්දොස් වීමු.

    අක්කා ආයාසයෙන් හිනාවක් නඟා මයික් එක ළඟට මුව ලං කළාය.

    ”ස.. සමාවෙන්න.. මට.. හරියට තේරුණේ නෑ... ප්ලීස්.. ආයෙ අහනවද?”

    ”හොඳයි... කියන්න... ඔබ එක් කන්නයකදි ලබාගත් උපරිම අස්වැන්න ප්‍රමාණය කොපමණද?”

    එවර අක්කාගේ මූඩ් එක චේන්ජ් විය.

    අයියා මගේ කකුලට අනී. “යං.. යං.. මල්ලි.. යං..”

    ”මොකක් ද.. ඇහුවෙ..” අක්කා නැවත අසයි. එවර මේසය මතවූ මයිකය අතට ගත්තේ ප්‍රධාන විනිසුරු බුවාය.

    ”අපි අහන්නෙ... ප්ලාන්ට් රෝස් කම්පැනියේ පොහොර දාලා කන්නයකදි ලබාගත් වැඩිම වැල්දොඩම් අස්වැන්න ප්‍රමාණය. නැත්තං මේ.. මේ..

    කඩාපු පැෂන් ගෙඩි කිලෝ ගාන...

    දෙකට නැමී සීට් පේළි අතරිං ගොස් එළියට පනින අතරේ අයියා වේදිකාව පසුබිමේ ඇති විශාල වර්ණ බැනරය

    ”වැල් දොඩම් වගාව ජනප්‍රිය කිරීමේ අරමුණින් ප්ලාන්ට් රෝස්

    පොහොර සමාගම ඉදිරිපත් කරන

    ’පැෂන් ස්ටාර්’ පළමු වටය

    පොල් අකුරින් එහි විය.

    ලියා අඳින පැෂනය
    තිස්ස කරුණාසේකර