ජ්‍යොතිෂයද ගුප්ත ශාන්ති කර්මද උපයෝගි කරගනිමින්
ලෙඩුන් සුවකරන රඹුක්වැල්ලේ සංඝානන්ද වෙද හාමුදුරුවෝ
වයිමන් හෙට්ටිආරච්චි
දක්ෂ වෙද හාමුදුරුනමක් ඉන්නවා. ගොහින් මුණගැසී මොකුත් පත්තරයට ලියමුද? මගේ හිතෛෂියෙකු වන ගාමිණී ජයවීර මහතාගෙන් ලැබුණු දුරකථන පණිවිඩයකින් එම යෝජනාව ඉදිරිපත් විය. ඒ අනුව කොළොන්නාව මීතොටමුල්ල සිල්වා ලේන් හි ශාන්ති විහාරය වෙත ගියෙමි. එහි යනවිටත් රෝගියෙකුට ප්‍රතිකාර කරමින් සිටි රඹුක්වැල්ලේ සංඝානන්ද හිමියෝ තරමක වෙහෙසකාරි තත්ත්වයකින් පසුවූහ.
ජයවීර මහතා කළ හැඳින්වීමකින් පසු හිමියන්ගෙන් මම විස්තර විචාරන්නට පටන් ගතිමි. පටන්ගත්තා පමණි. දෙපා වාරු නැති වේදනාවෙන් කෙදිරිගාමින් සිටි ලෙඩෙකු වත්තම් කරගත් අයෙකු එහි ඇතුළු විය. අපේ හාමුදුරුවනේ මම කිව්වෙ මේ ලෙඩා ගැනයි. කොහොම හරි මෙයාව නැගිට්ටවල දෙන්න ඕන. උන්වහන්සේ මගේ මුහුණ බැලූහ. මට ටිකක් ඉඩ දෙනවද? එම ඉල්ලීම එම මුහුණේ සටහන් වී තිබිණි. මම එකඟ වීමි. ලෑලි පෙට්ටියක් උඩ රෝගියා වාඩි කරවූ හාමුදුරුවන් වහන්සේ ඔහුගේ අත අල්ලා නාඩි පරීක්ෂා කරන්නට වූහ. දැන් ඇවිදින්න බැරිවෙලා සුමාන දෙකකට වැඩියි නේද? ඇඟ ගැහෙනවද? කැරකිල්ල තියෙනවද? කෑම අප්පිරියද? දිගටම ප්‍රශ්න වැලක් අසාගෙන ගියහ. රෝගියා හිස සලමින් සියල්ලට එහෙමයි යන සංඥාව දුන්නේය.
මොහොතින් දෙඇසටත්, නාසයටත්, දෙකනටත් බෙහෙත් හා තෙල් වර්ග එකින් එක ගැල්ලූහ. ලෙඩාගේ අතට සිලිසිලි බෑගයක් ලැබිණි. සෙම එනතරමක් ඔය බෑග් එකට දාන්න. වෙහෙස දැනෙනකොට මෙම ලෑලි ඇඳේ ඇලවෙන්න. දැන් ඔහු නොකඩවා සෙම පිට කරයි.
මම හරිබරි ගැහෙමින් යළි මගේ සාකච්ඡාව අරඹන්නට සූදානම් වූයෙමි. උන්වහන්සේ ද විස්තර සපයන්නට වූහ. මම මහණ වුනේ සෙල්ලකතරගම වඩුගුහාව පන්සලේදී. මම ඉබ්බාගල වෙද පරම්පරාවට අයත් කෙනෙක්.
උන්වහන්සේගේ දුරකථනය නාදවෙයි. අමාරු ලෙඩෙක් අරන් එනවලු. මොකද කරන්නෙ? ගතවූයේ මොහොතකි පෙර සේම කුදලාගත් රෝගියෙකු සමඟ තව කෙනෙකු එහි ඇතුළු වෙයි. හාමුදුරුවනේ මෙයාගේ කකුල් නවන්න බැහැ. හරිම වේදනාවෙන් පසුවෙන්නෙ. එම ඉල්ලීම ද ඉටුවෙයි. ඔහුව ද ඉන්දවීමට ලෑලි පෙට්ටියක් ලැබෙයි. පළමු රෝගියාට වාගේම ඔහුට ද උගුරට, කණට තෙල් නස්නය කෙරෙයි. සිලිසිලිබෑගය ද ලැබෙයි. එය ද සෙමවලින් පිරෙයි.
දැන් අර කලින් ලෙඩා ගේන්න. මොහොතකට පෙර තව කෙනකු විසින් ඔසවා ගෙන එන ලද රෝගියා කිසිවකුගේ ආධාරයකින් තොරව ඇවිදගෙන ස්වාමින් වහන්සේ ළඟට එයි. දැන් කොහොමද? ඔහුගේ පිළිතුර වූයේ ස්වාමින්වහන්සේට වැඳීමත් කඳුළු සලමින් හැඬීමත් පමණයි. ඇයි? අනේ හාමුදුරුවනේ දවස් ගණනකට පස්සෙ අද කකුල් දිග ඇරල නවල ඇවිදින්න පුළුවන්. ඔබ වහන්සේට පින්සිදු වෙනවා.
-----------------------------------------------------------------------------