මගේ පවුල මට මගේ පවුල මට වඩා අවුරුදු 14ක් වැඩි&

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මගේ පවුල මට මගේ පවුල මට වඩා අවුරුදු 14ක් වැඩි&

මතකද මම කිව්ව දවසක් මම මගේ ජීවිතේ අඳුරු දවස් ගැන ලියනවා කියලා... ඉතා ඈත කාලයේ මගේ වයසේ ගැටව් 25කට වැඩි පිරිසකට පොලිසියේ රැඳෙන්න වුනා පැය හයකට ආසන්න කාලයක්... කූඩුවට යන්න වුනේ නෑ, මොකද එතකොටත් එහි සිර මැදිරිය පාසැල් දෙකක සිසුන්ගෙන් පිරිලා තිබ්බා... මහා ක්‍රිකට් තරඟය දවසේ පොලිසියේ රාජකාරී වලට බාධා කිරීම එහෙම නැත්නම් පොලිස් නිළධාරීන්ට අවමන් කිරීම, ඔවුනුත් සමඟ ගැටීම වගේ මහා ක්‍රිකට් තරගයක් සමයේ ඇතිවන සාමාන්‍ය චෝදනා තමයි අපිට එල්ල වෙලා තිබ්බේ.... නමුත් අද දවසේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතෙකුත් මේ කට්ටිය එක්ක හිටපු නිසා අපිට වැඩි වෙලාවක් මෙහි රැදෙන්න උවමනාවක් නෑ කියලා අපිට හිතුනා... මෙතන තිබ්බ හොඳම සිද්ධිය තමයි මෙතන අපිත් එක්ක සාමාන්‍ය වරදකාරයොත් රඳවලා තිබ්බා සිර මැදිරියේ ඉඩ නැති නිසා.. මීට අවුරුදු 11කට කලින් මුණ ගැහුණ ක්ලිෆර්ඩ් පෙරේරාගේ සංවේදී කතාව තමයි මම මේ කියන්න යන්නේ.... ක්ලිෆර්ඩ් එදා අපිත් එක්ක පොලීසියේ හිටියේ ඊට පහුවදා බෝගම්බර යන්න බලාගෙන...

මදුවිත නිසා ඇති වූ මත් ගතියත් තුරන් වෙලා තිබ්බ නිසාත්, පොලිස් නිළධාරීන් අපිට ආතල් ගන්න ඉඩ නොදුන්න නිසාත්, හැමෝම බලාගත්ත අත බලාගෙන අනන් මනන් කොදුර කොදුර හිටියා... මමත් බිම ඉඳගෙන ඔහේ බලාගෙන හිටියා... ගලවපු ෂර්ට් එක ඔලුවට තියාගෙන අවුරුදු පනහක විතර මනුස්සයෙක් මම ලඟ නිදාගෙන හිටියා... ටික වෙලාවකින් ඔහු මගේ පැත්තට ඔළුව හරවලා මෙහෙම ඇහුවා...

බොසා... ගිනි පෙට්ටියක් නැද්ද?

ඒ කාලේ කොයි වෙලේද ගිනි පෙට්ටියක් නැත්තේ.. මම සාක්කුවෙන් ගිනි පෙට්ටියක් අරන් දුන්නා...

බොසා.. මම මේක තියාගන්නවා.. මාව ඇතුලට දාද්දි මුන් මගේ ගිනි පෙට්ටියයි සිගරට් ටිකයි ඔක්කොම ගත්තා... බොසා... සිගරට් එකක් නැද්ද?

අපිව හෝල් සේල් ඇතුලට ගෙනාපු නිසා අපිව පරීක්ශා කලේ නෑ.. ඒ කාලේ තිබ්බා මැටහෝන් කියලා මෙන්තෝල් සිගරට් එකක්... ඒ පැකට් එකක් මගේ සාක්කුවේ තිබ්බා.. ආයේ සිගරට් එකක් බොන්න හිතක් තුන් සිතකවත් නොතිබ්බ නිසා මම ඒක පිටින්ම ඔහුට දුන්නා...

බොසා.... බොසා නම් දෙවියෙක්....

ඔහු මට එසේ කුළුපඟ වෙද්දි මට හිතුනා ඔහුත් එක්ක ටිකක් කතා කරන්න...

අයියා.. ටිකක් කතා කරමුද?

මොනාද...? ඔහුගේ ගැඹුරු හඬ මට අදටත් ඉතා පැහැදිලිව මතකයි...

කොහෙද ඉන්නේ....

එළුගලේ....

මොකෝ අද මෙහෙ එක්ක ආවේ...

වරෙන්තු...

මොකටද?

කසිප්පු තමයි ඉතින්...

අප්පට සිරි...

වරෙන්තු දෙකක් බොසා... මට ඒත් මතක එකයි... මුන් තමයි කියන්නේ වරෙන්තු දෙකක් කියලා...

කවුරුත් ආවද ගෙදරින්...

මම එන්න එපා කිව්වා බොසා... හෙට කෙළින්ම යනවා ඇතුලට... මාස හයක් විතර ඉඳලා එනවා ආපහු... මොහු නිකම් සාමාන්‍ය දෙයක් වගේ කියවනවා...

නම මොකක්ද අයියේ...? මම කථා කරන එක බාධාවක්ද?

බොසා... මගේ මල්ලිත් මට අයියේ කියන්නේ නෑ.. ඉතින් මට අයියේ කියපු මල්ලි කතා කරන එක මට අවුලක් නෑ.. අහන්න... දැන් අපේ වුනුත් වට වෙලා කථාව අහන්න...

නම?

ක්ලිෆර්ඩ්.. ක්ලිෆර්ඩ් පෙරේරා..

මෙහෙමද ගෙවල්..?

වත්තල... ගෑනි මෙහෙ...

දැන් කෝ..

රට ගියා...

ඒ මොකෝ...

එයා ගුරුවරියක්.. සයිප්‍රස් ගියා.. දෙපාරක් ආවා මට ටිකට් හදාගෙන.. මම යන්න බෑ කිව්වා බොසා... ඊට පස්සෙ ලමයිනුත් අරගෙන එයා ගියා...

ඇයි යන්න බෑ කිව්වේ..

එතකොට මම කුඩු ගහන්න ඇබ්බැහි වෙලා.. ගියොත් ඒක නැති වෙනවානේ...

එතකොට දැන් ඉන්නේ...

දෙවෙනි ගෑනිත් එක්ක...

අප්පට සිරි.. ඒක කොහෙන්ද සෙට් වුනේ...

කසිප්පු බොන්න ගිහින්....

ඒ කිව්වේ...

එයා තමයි කසිප්පු හැදුවේ... මම බොන්න ගිහින් උදව්වට ඉදලා අන්තිමේ එතනම නැවතුනා... මට නිකන් අවුල් වගේ මේවා අහලා.. අපේ වුන්ගේ ඇස් උඩ ගිහින් මේ වෙද්දි...

පොඩි කාලේ කොහෙද හිටියේ..

වත්තල..

ඉස්කෝලේ...

වත්තල ******* ( ඉස්කෝලේ නම අහපු අපිට නිකන් පිස්සු වගේ වුනා..)

අම්මයි තාත්තයි...

තාත්තා ඩොක්ටර්.. අම්මා නර්ස්... ආයෙත් තරු පැන්නා අපේ ඔළුවලින්.. දැන් මේක සාමාන්‍ය දෙයක් වුනාට ඒ කාලේ අපිට නිකන් ඔළුවට කුළු ගෙඩි පාරවල් වදිනවා වගේ..

දැන් අයියා හිරේ ගියාම කවුද බිස්නස් එක කරන්නේ...

මගේ පවුල කරයි... එයා දැන් අවුරුදු 31ක් මේ රස්සාවේ...

අයියට දැන් කීයද වයස....

48යි...

එතකොට පවුල අවුරුදු 17 ඉඳලා කසිප්පු පෙරනවද?

මගේ පවුල මට වඩා අවුරුදු 14ක් වැඩිමල් මහත්තයෝ...

ඈ..... *&*#@*&? තරු පොකුරු පොකුරු අපේ වුන්ට.... වෙරි හිදිලා ඔක්කොටම... දැන් හෙට මොකද කරන්නේ...

මුන් උසාවි දායි.. මම ඇතුලට යයි...

පොලීසියේ දුරකථනය නාද වුනා... පොලිස් සැරයන්ගේ උත්තරේ මෙහෙමයි...

ආ.. හරි සර්... මැච් එක ඉවර වෙච්ච ගමන් එලියට දාන්නම්.. ඔව් සර්.. රෑ වුනොත් මෙයාලට බසුත් නැති වෙනවනේ.. හරි සර්.. තව විනාඩි පහලොවකින් විතර දාන්නම් එලියට....

නිදහස් සුසුම් හෙලුවත් අපි එකෙකුටවත් ක්ලිෆර්ඩ් දාල යන්න හිත නෑ.. මැච් එක ඉවර උනාට පස්සේ අපිව පිටත් කරා.. එන්න ලැහැස්ති වෙලා මම අන්තිම ප්‍රශ්නේ ඇහුවා...

අතීතය මතක් වෙද්දි දුක නැද්ද අයියේ...?

මොකටද? මේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් කියවන ඔබ ලඟ තියෙනවද?


http://tikakhinawenna.blogspot.com
 
  • Like
Reactions: G-Man