අප යන්නට සූදානම් වූයේ අපූරැ ගමනකි. එහි අපූර්වත්වය රැදී ඇත්තේ එය චාරිකාවක් පමණක් නොවූ බැවිනි. දකුණෙ උපන්නවුවන් වූ අපට ශාපලත් යුද්ධය හේතුවෙන් පසුගිය කාළයේ උතුරට නැගෙනහිරට යාමට තිබුණේ සීමිත අවසථා කිහිපයකි. එහෙත් කුරිරැ යුද්ධයේ නිමාවත් සමග එහි යාමේ වරම් දැන් හිමිව තිබේ. අප යන්නට තීරණය කර තිබුණේ මඩකලපුව නගරයටයි. අපේ නඩයේ හුන් බොහෝ දෙනෙක් කෙදිනකවත් නැගෙනහිරට පා තබා තිබුණේ නැත. එබැවින් එය අපූරැ ගමනක් වනු ඇතැයි අපට පූර්ව නිගමනයක් ද විය.
චාරිකාව ආරම්භ වුයේ කොළඹ සිටය. මහ පාන්දර ගමනට එකතු වූ අපේ නඩයේ ගුරා වූයේ ශිවාය. යාපනයේ උපන් ශිවාට උතුර සේම නැගෙනහිර ප්‍රෙද්ශ පිළිබදවද තිබුණේ අසීමිත දැනුමකි. එමෙන්ම ඔහුට සිංහල බස මෙන්ම දෙමළ බසද මනාව හැසිර විය හැකිය. ඔහු පිළිබද විශ්වාස තබා අපි ගමනට එකතු වූවෙමු. උදෑසන නිසා දෝ හී ගඩු පිපෙන සීතලේ අපි වෑන් රියට නැග ගතිමු. පාන්දර හතර හමාරට පමණ කොළඹින් පිටත් වූ අපේ නඩයේ බොහෝ දෙනෙක් විනාඩි කිහිපයකින් නින්දට වැටුණෝය.
‘‘ නිදා ගන්න එපා සජිත්. මොකක්ද මේ වගේ වෙලාවකවත් ඇහැරලා හිටපන්කො.,,
‘‘ පිස්සුද තාම රෑනේ. ඇහැරලා හිටියට මේ කොළඹ මොනවා බලන්නද... අඩු තරමින් කුරැණැගලවත් පහු වෙන්න ඕන වට පිට බලන්න.‘‘ එසේ පැවසු සජිත් වහා දෑස පියා ගත්තේ නිදා ගන්න අමතක වේ යැයි බියෙන් මෙනි.
අවදියෙන් සිටියේ මාත් ශිවාත් පමණි. මේ යන්නේ කිරි කෝඩු ගමනක් වූ බැවින් මිනිතිතුවකටවත් දෑස් පියා ගන්නට මට සිතුණේ නැත. අපේ ගමන් සගයන් නැවත අවදි වූයේ උදෑසන ආහාර ගැනීමට අඹේපුස්සෙන් වාහනය නැවැත් වූ විටය. අඹේපුස්ස රජයේ අවන්හලෙන් ප්‍රණීත ආහාර වේලකින් සප්පායම් වූ අප පාන්දර හය හමාර වන විට නැවත ගමන් ඇරඹුවෙමු. කුරැණැගල පසුවී දඹුල්ලට ලගා වන විට වේලාව උදෑසන නමය පමණ වන්නට ඇත.
මේ වන විටත් නඩයේ කිහිප දෙනෙක් නැවතත් නිදි සුව විදීම ආරම්භ කර තිබුණි. දඹුල්ල පසුවන විට සියලු දෙනා සිටියේ අවදියෙනි.
‘‘ දැන් තමයි බලන්න දේවල් තියෙන්නෙ.‘‘ සජිත් මා දස බලා පැවසූවේ නෝක්කාඩුවටය.
‘‘ හරි හරි අපි නිදා ගන්න එපා කීවේ නෑනේ‘‘ සමන්ත පැවසූවේ සැම සිනා ගන්වමිනි. හබරණට ලසු වී මින්නේරිය ලගා වන විට පරිසරයේ උණුසුම වෑන් රියේ වුන් අපට පවා දැඩිව දැනණි. මින්නේරිය වැව අසල වෑන් රිය නතර කළේය. වැව් සිරිය නැරඹීමට අපි වෑන් රථයෙන් බැස ගතිමු.
‘‘ අලි නැද්ද දන්නෙ නෑ‘‘ සුරේෂ් ඇසුවේ ශිවාගෙනි.
‘‘ මේ වෙලාවට නම් අලි නැතුව ඇති. දැන් වතුර නැති නිසා හවසට තමයි අලි එන්නෙ. මේ දවස් වලට හවසට එන අලි රංචුවක අලි හතළිහක් පනහක් විතර ඉන්නවා.‘‘ ශිවා පැවසුවේය.
පොළොන්නරැවට අප පැමිණෙන විට දහවල් එෙකාළහ පසුවී තිබුණි. පෙෙළාාන්නරැව නගරය පසුවී මඩකලපුව පොළොන්නරැව මාර්ගයේ මද දුරක් ගිය අපි වාහනය නැවැත් වූයේ තේ බොන්නටය. අව්රශ්මිය නිසා දැඩි උණුසුමක් දැන්නි.
‘‘ අම්මෝ මාර රස්නෙයි.‘‘ නිශාන් පැවසීය.
‘‘ මේ නුවරඑළිය නෙමෙයි යාලුවා.. සමන්ත පැවසූයේ නිශාන්ගේ ගම් ප්‍රදේශය වූයේ නුවරඑළිය නිසා වන්නට ඇත.
මනම්පිටියට ලගා වන විට වෙනදා එහි තිබු තදබදය දක්නට ලැබුණේ නැත. යුද්ධය අවසාන වීමත් සමග වාහන වෙනදා පරීක්ෂා කරන සේ වාහන පරීක්ෂාවක් නැති වීම ඊට හේතුවයි. සෙවණපිටිය, වැලිකන්ද ප්‍රදේශ පසුවීමෙන් අනතුරැව අපි නැගෙනහිරට පිවිසියෙමු.
පොළොන්නරැව මඩකලපුව මහා මාර්ගය කෙළින් පාරක් සේ දිස් වන්නට පටන් ගන්නේ අපූර්වතම දසුනක් මවා පාමිනි. ඉදිරි පසත් පසු පසත් බැලු විට පෙනෙන්නේ මහා මාර්ගය පමණි. දහවල් ආහාර ගැනීම සදහා වෑන් රිය පාරේ පසෙක නතර කළේය. ආහාර අප නිවෙස් වලින් රැගෙන විත් තිබුණි.
‘‘ දැනට මෙහෙම කන්නකො. මඩකලපුවට ගියහම හොදට ඉස්සො කන්න පුලුවන්.‘‘ ශිවා පවසයි. ශිවාගේ කටට නව පණක් ලැබී ඇති සේය.
අප නැවතත් ගමන් ආරම්භ කළෙමු.
‘‘ අන්න තොප්පිගල කන්ද බලා ගන්න.‘‘ ශිවා පැවසුවේය. අප සියල්ලෝම ඈතින් පෙනෙන තොප්පිගල කන්ද බලා ගත්තේ විස්මය රැදි නෙතිනි.
විටෙක වාලච්චේන මඩකලපුව රේල් පාර මහා මාර්ගය හා සමාන්තරව දිවෙයි. පූනාල වාකනේරි හා වාලච්චේන නගර පසුවී අපි ඕටමාවඩි නගරයට ඇතුල් වීමු. වාහනය නැවැත්වූයේ අපේ රියදුරැ මහතාට විවේකයක් ලබා දීම පිණිසය. නැගෙනහිර සමීපතමයන් අප හා ලෙන්ගතුව සිනාසුණහ. ශිවා ඔවුන් සමග කතා බහ කළේ හුරැ පුරැදු යහලුවන් හමුවු කළෙක මෙනි. නැගෙනහිර නෑදෑයන් හා කතා කරන්නට අපට වරම් නැති වූයේ, දෙමළ බස කතා කරන්නට නොහැකි වූ නිසාය.
‘‘ දැන් තමයි තේරෙන්නෙ දෙමළ දන්නෙ නැති එක කොයිතරමි පාඩුවක්ද කියලා. අරවින්ද කීවේ සැබෑ වේදනාවකිනි. ඒ පිළිබද අපි සැබෑවටම පසුතැවීමු. එසේ නොවන්නටනැගෙනහිර නෑදෑයන් සමග නිදහසේ කතා බහ කරන්නට අපට හැකියාව තිබිණි.
කිරන් සන්තිවේලි නගර පසු කොට අපි චෙන්කලඩි නගරයට
ඇතුලු වුවෙමු. වේලාව සවස තුන පසුවී තිබිණි. නැගෙනහිර අහස නිල්වන්ය. වලාකුලු වලින් තොරය.
‘‘ මේ දවස් වල වැස්ස නැති නිසා මේ පැත්ත වෙනදටත් වඩා රස්නෙයි.‘‘ ශිවා පැවසුවේය. එය සැබෑවකි. ගහ කොළ පවා මැලවී ගොසිනි. පාරේ දෙපස තැනි තලා උලා කමින් හරක් රංචු පවා විඩාවට පත්ව ඇති සේය.
එල් ටී ටී ඊ පාලනය පැවති වකවානුවේ චෙන්කලඩි නගරය ඔවුන්ට වැදගත් මධ්‍යස්ථානයක් විය. ඒ බදුල්ල ඒ පහ මහා මාර්ගය ඇරඹෙන්නේ චෙන්කලඩි වල සිට වු බැවිනි. ඊ ලගට අප ලගා වූයේ ඒරාවූර් නගරයටය. හවස තේ පානය සදහා ඒරාවූර් නගරය තෝරාගැනිනි.
‘‘ මේ පැත්තේ ගොඩක් පිරිමි අය හවසට වැඩ කරලා රෑ වෙනකොට ටවුන් එකට එනවා. ඒ ඇවිත් මොනවා හරි කාලා සතුටින් යනවා. ඉස්සර නම් යුද්දේ නිසා එහෙම නිදහස් තත්ත්වයක් තිබුණේ නැහැ.‘‘ ශිවා අපට කීවේය.
ඒරාවුර් නගරයේ කෑම කඩ බොහොමයක් තිබුණි.
‘‘ මේ කෑම හදන්නේ ඔක්කොම මස් වර්ග එකට කළවම් කරලා තෙලට දාලා මයියොක්කා එකතු කරලා. ඒක ගොඩක් රසවත් කෑමක්.ටිකක් සැරයි.. බයිට් වගේ තමයි. ශිවා කඩයක මිදුලේ සිට හදන කෑමක් පෙන්වා අපට කීවේය.
‘‘ අනේ මටත් කන්න ඕනෑ...‘‘ නිශාන් රැපියල් විස්සක බයිට් ගත්ගේය. සැබැවින්ම එය රසවත් ආහාරයක් විය.
අප මඩකලපුව නගරයට ලගා වෙමින් සිටියෙමු.
ගී ගයන මාලුන්ගේ දේශයට සාදරයෙන් පිළිගනිමු යනුවෙන් නගරයේ පිවිසුම් දොරටුවේ ගසා තිබුණි. මඩකලපුව හදුන්වන්නේ ගී ගයන මාලුන්ගේ දේශය යනුවෙනි. කල්අඩි පාලම යට ගී ගයන මාලුන් සිටියේ යැයි ඒ ගීත රාත්‍රියට මුහුදු ගිය ධීවරයන් අසා සිටියේ යැයිද
පුරාවෘත්තයක් පවති. එහෙත් කුරිරැ යුද්ධයේ ශාපයෙන් මාලුන්ට ගී පද අමතක වි ඇතුවාට සැකයක් නැත. දැන් යුද්ධය අවසානය. එබැවින් ෙහ
ට අනිද්දාට කල්අඩි පාලම යට නැවතත් මාලුන් මිහිරි ගී ගයනු ඇත.
මඩකලපුව නගරයට පිවිසි අපගේ නවාතැන් පොළ වූයේ ලිවේරා සංචාරක නවාතැන් පොළයි. මුහුද අද්දරට වන්නට පිහිටි මේ නවාතැන් පොළ සුන්දරය. වෙහෙසට පත්ව සිටි අප නින්දට ගියේ මුහුදේ ගීතවත් නැලවිල්ලේ හඩ අසාගෙනය. හෙට උදේට මේ නුහුරැ අපූරැ දේශයේ අපි ඇවිද යන්නෙමු. එය අතිශය සොදුරැ සංචාරයක් වනු නිසැකය.